නීතිඥයෝ සටනේ… විපක්ෂය සැතපේ !
1 min read
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාල පෙත්සම් විභාගය ආරම්භ කෙරෙන සැප්තැම්බර් 5 හෝ ඊට ආසන්න දිනක රටපුරා සිටින නීතිඥයන් දහස් ගණනක් කොළඹට කැඳවා සාමකාමී පා ගමනකින් 22 පිළිබඳ සිය සංගමයේ නිහඬ විරෝධය දැක්වීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙ ප්‍රධානින් අතර සාකච්ඡා වී තිබේ. අධිකරණයේ ස්වාධීනත්වය බරපතල අයුරින් අනතුරට ඇදහෙලන මෙම “සූරසේන රී ලෝඩය” ට එරෙහි සිය ප්‍රජාවගේ මතය බලවත් ලෙස ප්‍රදර්ශනය කල යුතු බව එම යෝජනාවේ හරය වී තිබේ.
විපක්ෂයේ ප්‍රධාන පක්ෂ 22 ට එරෙහිව මත ඵල කිරීමෙන් ඔබ්බට ගොස් මහජනතාව ඊට එරෙහිව බලගන්වන උනන්දුවක් නොපෙන්වීම ද මෙහිලා නීතිඥ සංගමයේ අවධානයට යොමුව තිබේ.
ජනාධිපති නීතිඥ ලාල් විජේනායක ඇතුළු මාලිමාවට සම්බන්ධව කටයුතු කළ නීතිඥයන්ගේ මතය වී ඇත්තේ ද නීති ප්‍රජාව විසින් ආණ්ඩුවට ප්‍රබල බලපෑමක් එල්ල කෙරෙන පියවර කරා ගමන් කල යුතු බවයි.
යම් හෙයකින් මෙම පෙත්සම් විභාගයට, සදාචාර විරෝධීව අගවිනිසුරුවරයා වාඩිවුවහොත් ඊට එරෙහිව ගත යුතු පියවර ද මෙහිදී සාකච්ඡාවට බඳුන් වී ඇත. එසේ වුවහොත්, සාධාරණ විනිශ්චයක් අපේක්ෂා කල නොහැකි බැවින්, නඩු විභාගයට සහභාගි නොවී වර්ජනය කිරීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමුව තිබේ.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ඉහළ මණ්ඩලය නුදුරේදීම කැඳවා මේ පිළිබඳ අවසන් තීරණ ගැනීමට මෙහිදී තීරණය වී ඇත. 22 වැනි සංශෝධනය පිළිබඳ ජනාධිපතිවරයා සිටින උද්දච්ඡ ස්ථාවරය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කර තිබේ.
- රසික මුතුගල
