GSP+ අහිමි වීමේ ලොකු ඉඩක්.. – ජී.එල්. පීරිස්ගෙන් අනාවරණයක්
1 min read
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ‘සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත’ සහ ‘රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ හේතුවෙන්, ශ්‍රී ලංකාවට යුරෝපා සංගමය හරහා ලැබී ඇති ‘ජී.එස්.පී. ප්ලස්’ (GSP+) තීරුබදු සහනය අහිමිවීමේ දැඩි අවදානමක් මතුව ඇති බව හිටපු විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ මෙම පනත් කෙටුම්පත් ද්විත්වය එකිනෙකට සමීපව බැඳී පවතින බවයි. පවතින අන්තර්ගතයපරිදිම ඒවා සම්මත වුවහොත්, එය මෙරට ජාත්‍යන්තර කීර්තිනාමයට, විදේශ වෙළෙඳ සබඳතාවලට මෙන්ම සෘජු විදේශ ආයෝජනවලට ද දැඩි බලපෑමක් එල්ල කරනු ඇත.
මෙම කෙටුම්පත් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය, හියුමන් රයිට්ස් වොච් සහ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය දැනටමත් සිය බලවත් කනස්සල්ල පළ කර ඇත. මූලික ප්‍රජාතන්ත්‍රවාදී සංශෝධනවලින් තොරව මෙම පනත් සම්මත නොකරන ලෙස එම ආයතන රජයට අවධාරණය කර ඇති බවද හිටපු අමාත්‍යවරයා සිහිපත් කළේය.
මෙම යෝජිත පනත් මඟින් රට තුළ මානව හිමිකම් පුළුල් ලෙස උල්ලංඝනය වීමට ඉඩකඩ සැලසෙන අතර, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් එකඟ වී ඇති සම්මුතීන්ටද එය සෘජුවම පටහැනි වන බව ඔහු පවසයි.
අපනයන කර්මාන්ත සහ සේවා අංශය නඩත්තු කිරීම සඳහා GSP+ සහනය අතිශයින් තීරණාත්මක වන අතර, ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන් සුරැකීම මත එහි පැවැත්ම රඳා පවතී.
මේ නිසා, මෙම වෙළෙඳ සහනය අහිමි වීම දේශීය අපනයනකරුවන්ට මෙන්ම සමස්ත ජාතික ආර්ථිකයට ද දරාගත නොහැකි මූල්‍යමය පහරක් වනු ඇත.
ප්‍රජාතන්ත්‍රවාදී නිදහස, ජාත්‍යන්තර සබඳතා සහ ජාතික ආර්ථිකය ආරක්ෂා කර ගැනීම සඳහා, මෙම යෝජිත පනත් කෙටුම්පත් පිළිබඳව රජය විසින් දැඩි ලෙස පුනර්විචාරණය කළ යුතු බව මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
