අලුත් දේශපාලනය ඇතුළේ සාම්ප්රදායික සන්ධාන හදාගෙන ජයග්රහණය කරන්න බෑ.. මමයි සජිතුයි එකතු වුනා කියල දිනන්න බෑ..- රනිල්
1 min read
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතු වූ පමණින් මැතිවරණ ජයග්රහණය කළ හැකි බවට ඇතැමුන් මත පළ කළ ද, පවතින නවීන දේශපාලන පරිසරය තුළ එවැනි සාම්ප්රදායික සන්ධාන ඔස්සේ ජයග්රහණ හිමිකරගත නොහැකි බව හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා අවධාරණය කරයි.
පිටකෝට්ටේ ‘සිරිකොත’ පක්ෂ මූලස්ථානයේදී පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්යාධිකාරී මණ්ඩල රැස්වීම අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
මෙරට දේශපාලන ක්රමවේදය මුළුමනින්ම පරිවර්තනයකට ලක්ව ඇති බව පෙන්වා දුන් වික්රමසිංහ මහතා, සාම්ප්රදායික රාමුවෙන් මිදී නව ඡන්දදායකයන් ආකර්ෂණය කරගැනීමට අපොහොසත් වන්නේ නම් කිසිදු දේශපාලන ව්යාපාරයකට ඉදිරි ගමනක් නොමැති බව පැවසීය. පැරණි සූත්ර සහ හුදු දේශපාලන එකමුතුකම් මත පමණක් යැපෙමින් යන ගමනකින් ජයග්රහණ අපේක්ෂා කළ නොහැකි බව ද හෙතෙම කියා සිටියේය.
නව පරපුර දේශපාලන නායකත්වයට රැගෙන ඒමේ අරමුණින් එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ප්රතිව්යුහගත කරමින් Millennium UNP (වයස අවුරුදු 35 ත් 40 ත් අතර කාණ්ඩයේ පිරිස්), Gen Z UNP (වර්ෂ 2000 න් පසුව උපත ලැබූ යොවුන් ප්රජාව) පරම්පරා දෙකක් නියෝජනය වන පරිදි නව අංශ දෙකක් නිල වශයෙන් ප්රකාශයට පත් කිරීම ද මෙම කෘත්යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සිදුවිය.
ශ්රී ලංකාවේ දේශපාලන පක්ෂයක් මෙලෙස පරම්පරා දෙකක් වෙන් වෙන් වශයෙන් ආවරණය වන පරිදි සාමාජිකත්වය ප්රවර්ධනය කළ ප්රථම අවස්ථාව මෙය බව පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මෙහිදී ප්රකාශ කළේය.
