දිවයින පුරා විදුලිය බිඳවැටීමට හේතුව ගැන මූලික වාර්තාවෙන් අනාවරණයක්..
1 min read
ඔක්තෝබර් 17 වැනිදා දිවයින පුරා සිදුවූ විදුලි බිඳවැටීම ලක්විජය බලාගාරයේ පළමු ජනන යන්ත්රයේ විදුලි උත්පාදනය හදිසියේ පහත වැටීමත් සමග ආරම්භ වී ඇති බව ජාතික පද්ධති ක්රියාකරු සමාගම (National System Operator – NSO) නිකුත් කළ මූලික විමර්ශන වාර්තාවෙන් අනාවරණය වී තිබේ.
අදාළ විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව කළ ඉල්ලීමකට අනුව සකස් කළ මූලික වාර්තාව ඔක්තෝබර් 23 වැනිදායි එම කොමිෂන් සභාව වෙත යොමු කර ඇත්තේ.
ජාතික පද්ධති ක්රියාකරු සමාගමේ වැඩබලන ප්රධාන විධායක නිලධාරී ඉංජිනේරු එම්.බී.එස්. සමරසේකරගේ අත්සනින් එම වාර්තාව ඉදිරිපත් කර තිබේ.
වාර්තාවට අනුව ඔක්තෝබර් 17 වැනිදා පෙරවරු 11.43ට පමණ විදුලි පද්ධතියේ මෙම බිඳවැටීම ආරම්භ වී තිබුණි.
එහිදී ලක්විජය බලාගාරයේ පළමු ජනන යන්ත්රයෙන් ජාතික විදුලි පද්ධතියට සැපයූ මෙගාවොට් 187ක විදුලි ධාරිතාව මිලි තත්පර 450ක් ඇතුළත මෙගාවොට් 85කින් පහත වැටී ඇති බව වාර්තාවේ දැක්වේ.
ඒ සමග ජාතික විදුලි පද්ධතියේ සංඛ්යාතය වේගයෙන් පහත වැටී ඇති අතර, තත්පර දෙකක් ඇතුළත එය හර්ට්ස් 49.906 සිට හර්ට්ස් 48.75 දක්වා අඩු වී තිබේ.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා අඩු සංඛ්යාත තත්ත්වයකදී ස්වයංක්රීයව විදුලි සැපයුම විසන්ධි කරන ආරක්ෂක පද්ධතියේ අදියර පහම ක්රියාත්මක වී ඇති බව සඳහන්.
එසේ වුවද ජාතික විදුලි පද්ධතියේ බිඳවැටීම වළක්වා ගැනීමට නොහැකි වී තිබේ.
වාර්තාවට අනුව පෙරවරු 11.43යි තත්පර 59 වනවිට ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ සියලු විදුලි ජනන යන්ත්ර ක්රියා විරහිත වී ඇති බව සඳහන්.
විශේෂයෙන් ලක්විජය බලාගාරයේ විදුලි උත්පාදනය හදිසියේ පහත වැටීමට හේතුව පිළිබඳව මූලික වාර්තාවේ නිශ්චිත නිගමනයක් ඉදිරිපත් කර නොමැති අතර, එම අවස්ථාවේ ජනන යන්ත්රය ස්වයංක්රීයව විසන්ධි වූ බවට වාර්තා නොවීම හේතුවෙන් එය විදුලි පද්ධතියේ සංඛ්යාත වෙනස්වීමට දැක්වූ ප්රතිචාරයක් විය හැකි බවට සැක පළ කර තිබේ.
මේ අතර, විදුලි බිඳවැටීම සිදුවන අවස්ථාවේ ජාතික පද්ධතියේ සමස්ත විදුලි ඉල්ලුම මෙගාවොට් 1,135ක් ලෙස සටහන් වී තිබූ අතර, හදිසි අවස්ථාවකදී භාවිතයට ගත හැකි අතිරේක ජනන ධාරිතාව මෙගාවොට් 332.5ක් ලෙස පැවති බවද වාර්තාවේ දැක්වේ.
එමෙන්ම, විදුලි පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේ මෙහෙයුම් බිඳවැටීම සිදුවූ වහාම ආරම්භ කර තිබේ.
ඒ අනුව කොත්මලේ, වික්ටෝරියා සහ නව ලක්ෂපාන ඇතුළු ජල විදුලි බලාගාර පද්ධති ආශ්රිතව විදුලි සැපයුම නැවත ස්ථාපිත කිරීමේ කටයුතු සිදුකර ඇති බව සඳහන්.
පස්වරු 12.11ට කොත්මලේ බලාගාරයේ පළමු ජනන යන්ත්රය නැවත ජාතික පද්ධතියට සම්බන්ධ කර ඇති අතර, පස්වරු 4.58 වනවිට ප්රධාන විදුලි සම්ප්රේෂණ පද්ධතිය යථා තත්ත්වයට පත් කර තිබේ.
ඒ අනුව ප්රධාන සම්ප්රේෂණ පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමට පැය 5යි මිනිත්තු 15ක පමණ කාලයක් ගත වී තිබේ.
කෙසේ වෙතත්, ඇතැම් විදුලි බලාගාරවල තාක්ෂණික ගැටලු හේතුවෙන් ඒවා නැවත ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ කිරීමේදී ප්රමාදයන් සිදුව ඇති බවද මූලික වාර්තාව පෙන්වා දෙයි.
ලක්විජය බලාගාරයේ ජනන යන්ත්ර කිහිපයක් ඇතුළු තවත් බලාගාරවල ජනන යන්ත්ර යථා තත්ත්වයට පත් කිරීමේදී තාක්ෂණික බාධා ඇතිවූ බවද එහි සඳහන්.
මේ අතර, විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් සකස් කළ අතිරේක වාර්තාවට අනුව අඩු සංඛ්යාත ආරක්ෂණ ක්රමවේදය යටතේ මෙගාවොට් 449.2ක විදුලි ඉල්ලුමක් විසන්ධි කිරීමට සැලසුම් කර තිබූ අතර, එය එවකට පැවති සමස්ත විදුලි ජනන ප්රමාණයෙන් සියයට 39.6කට සමාන වේ.
