ජනාධිපති අනුරගෙ දළදා පෙරහැර නැරඹීමෙ සරල රංග වින්‍යාසය සහ මහත්මා ගාන්ධි…!!
1 min read
රටක නායකයෙකුගෙ සරල කම මොන තරම් මිල අධිකදැයි ඔබ දන්නවාද…?
රටක නායකයෙකගෙ “සරලකම” යනු ලාභදායී දේශපාලන ආයෝජනයක් නොවේ..
එය අතිශය මිල අධික, සංවිධානාත්මක, සහ මැනවින් සැලසුම් කළ යුතු ප්‍රාසාංගික රංගනයකි.
ඉතිහාසය පුරාම ලෝකයේ පහළ වූ ශ්‍රේෂ්ඨතම දේශපාලන සන්නාමයන් සියල්ලම පාහේ නඩත්තු වූයේ මේ “සරලකම” නමැති මහා වියදම්කාරී වෙස්මුහුණ පිටුපසිනි.
මීට දශක කිහිපයකට පෙර, ඉන්දීය නිදහස් සටනේ ප්‍රමුඛතම නායිකාවක වූ සරෝජිනී නායිදු (Sarojini Naidu) මැතිණිය මහත්මා ගාන්ධි දෙස බලා අපූරු උපහාසාත්මක ප්‍රකාශයක් කළාය.
“බාපුව (ගාන්ධිව) සැබෑ දුප්පතෙකු ලෙස සමාජය ඉදිරියේ තබා ගැනීමට අපට මුළු මහත් ධනස්කන්ධයක් වියදම් කිරීමට සිදුවේ “
එම ප්‍රකාශය අදටත්, හෙටටත්, දේශපාලන ‘සරලකම’ මාර්කට් කරන ඕනෑම රටක, ඕනෑම නායකයෙකුට එක සේ අදාළය.
මහත්මා ගාන්ධිගේ ‘මිල අධික’ සරලකමේ ඇතුළාන්තය නම් ඔහු තමන් පෞද්ගලිකව භෞතික සම්පත් ප්‍රතික්ෂේප කළ මිනිසෙකු බව සැබෑය.
නමුත් ඔහු ජාතික නායකයෙකු ලෙස පොදු ජනයා ඉදිරියේ පෑ සරල ප්‍රතිරූපය නඩත්තු කිරීමට පසුපසින් ක්‍රියාත්මක වූ මූල්‍යමය සූත්‍රය අතිශය සංකීර්ණ විය.
ගාන්ධිතුමා නිතරම ගමන් කළේ සාමාන්‍ය ජනයා යන දුම්රියේ තුන්වන පන්තියේ (Third Class) ය. එය ඔහුගේ සරලකමේ සංකේතය විය.
නමුත් යථාර්ථය නම්, ඔහුගේ ආරක්ෂාව සහ ඔහු වටා රොක් වන දහස් සංඛ්‍යාත ජනකාය පාලනය කිරීම සඳහා සමහර අවස්ථාවලදී මුළු දුම්රියම කලින් මුදල් ගෙවා වෙන් කරවා ගැනීමට ඔහුගේ සහායකයින්ට සිදු විය.
ඇතැම් විට ඔහු වෙනුවෙන්ම මැදිරි කිහිපයකින් යුත් විශේෂ දුම්රිය පවා ලෑස්ති කෙරුණේ රාජ්‍ය මට්ටමේ පිරිවැයකිනි.
ඔහු දුප්පත් මිනිසුන් මෙන් මැටි ගෑ, පිදුරු සෙවිලි කළ පැල්පත්වල නවාතැන් ගැනීමට කැමැත්තක් දැක්වීය.
නමුත් ඔහු එහි පැමිණීමට සති කිහිපයකට පෙර සිට ආරක්ෂක සහ සන්නිවේදන අවශ්‍යතා සඳහා එම ස්ථානවලට විදුලිය සහ දුරකථන සබඳතා ලබා දීමටත්, ව්‍යුහය ශක්තිමත් කිරීමටත් මහා ධනස්කන්ධයක් වැය විය.
සරලවම කිවහොත්, ඒ පැල්පත් සාමාන්‍ය මිනිසාගේ පැල්පත් නොව, ප්‍රභූ පහසුකම් සහිත “VIP පැල්පත්” විය.
හොඳම දේ ඔහු නික්ම ගිය පසු ඒ පැල්පත් නැවතත් පෙර තත්වයටම පත් වීමට…
ගාන්ධිතුමා එළකිරි ප්‍රතික්ෂේප කර තමන් එළු කිරි පමණක් බොන බවට ප්‍රතිඥා දී තිබුණි.
මේ නිසා ඔහු සංචාරය කරන සෑම තැනකදීම පිරිසිදු එළු කිරි ලබා දීම සඳහා, විශේෂයෙන් නාවා පිරිසිදු කළ, ඉහළ පෝෂණීය ආහාර ලබා දුන් එළුවන් සහ ඔවුන් බලා ගැනීමට වෙනම සේවකයින් පිරිසක් ඔහු පිටුපසින්ම ගමන් කළහ.
ගාන්ධිතුමාගේ මෙම “මිල අධික සරල බව” සහ ඔහුගේ ආශ්‍රම නඩත්තු කිරීම පිටුපස සිටියේ සාමාන්‍ය දුප්පත් මිනිසුන් නොවේ. එවකට ඉන්දියාවේ සිටි බිර්ලා (Birla) සහ බජාජ් (Bajaj) වැනි මහා පරිමාණ දේශීය කර්මාන්තකරුවන් සහ ධනපතියන්ය.
එම නිසා එම ධනපතියන්ගෙ අභිලාෂයන් සාක්ෂාත් කිරීම උදෙසා ඔවුන් වෙනුවෙන් රාජ්‍ය ප්‍රතිපත්ති අණ පනත් පවා වෙනස් කරන්නට සිදු විය..
මහනුවර පෙරහැර බැලීමට ආ අනුර කුමාරගේ ‘සරල’ සම්ප්‍රාප්තියඉතිහාසයේ ගාන්ධි පෙන්වූ ඒ සන්නාමකරණයමය..
මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ Branding කියලා..
ජනාධිපතිවරයා පෙරහැර බලන්නට ආවේ මාලිගාවේ ප්‍රභූ මැදිරියට නොව, සාමාන්‍ය ජනතාව සිටින වීදියටය.
ඔහු පදික වේදිකාවේ අසුනක් තබා වාඩි වී, සාමාන්‍ය මිනිසුන් සමඟ එකට හිඳ පෙරහැර නැරඹුවේය. ඔබ සිතුවෙ එහෙමද…?
ෆේස්බුක්, ටික්ටොක් පිටු පුරා “අහෝ! අපේ සරල ජනාධිපතිතුමා” යනුවෙන් ස්තෝත්‍ර කවි ගී ගායනා ලියැවුණි. ඩෝබිලා තෙත් විය..
නමුත් අපි මොහොතකට අපේ දෘෂ්ටියෙන් බැහැරව රාමුවෙන් එපිට ඇති යථාර්තය දෙස බලමු…
අනුර ඇත්තටම පෙරහැර බැලුවෙ සාමාන්‍ය ජනතාව අතර ඉඳගෙනද…?
ඔහු අවට සිටින සාමාන්‍ය මිනිසුන් ලෙස පෙනී සිටින්නේ කවුද..?
ඔවුන්ගෙන් බහුතරය සිවිල් ඇඳුමින් සැරසුණු ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් (MSD) සහ බුද්ධි අංශ නිලධාරීන්ය.
ජනාධිපතිවරයා පදික වේදිකාවේ වාඩි කරවීම සඳහා, එම කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමට දින කිහිපයකට පෙර සිට දියත් කළ මෙහෙයුම්වල පිරිවැය සුළුපටු නොවේ.
නායකයෙකු සරලව වීදියේ වාඩි වී සිටින දර්ශනය නිවැරදි කෝණයෙන් (Angles), නිවැරදි ආලෝකකරණයෙන් (Lighting) යුතුව ලබාගෙන, එය ක්ෂණිකව සමාජ මාධ්‍ය පුරා රැගෙන යාමට ක්‍රියාත්මක වන මාධ්‍ය බලඇණියේ වැටුප් සහ තාක්ෂණික පිරිවැය දරන්නේ මහජන බදු මුදලිනි.
රාජ්‍ය තාන්ත්‍රික ප්‍රොටොකෝලය (Protocol) අනුව එතන අනුර නොව ඕනෑම රාජ්‍ය නායකයෙක් සිටියත් තත්වය එලෙසමය..
විධායක ජනාධිපතිවරයෙකු සාමාන්‍ය තැනක වාඩි වී සිටියද, ඔහුගේ ආරක්ෂාව සඳහා පසුපසින් සූදානම් කර තිබිය යුතු සන්නද්ධ රථ පෙළ, වෛද්‍ය කණ්ඩායම් සහ හදිසි ගුවන් ගමන් පහසුකම් (Standby) කිසිසේත් සරල නැත.
ඒවා සාමාන්‍ය පරිදිම ක්‍රියාත්මකය.
මෙලෙස ජනතාව අතර වාඩි කරවා, අනෙක් පසින් කළු දැල් සහ සිවිල් ඇඳුමින් සැරසුණු ආරක්ෂක වළලු මඟින් ආරක්ෂාව සැපයීම වර්තමාන දේශපාලන සන්නාමකරණයේ (Political Branding) උපායමාර්ගික ස්වරූපයයි.
ඇසළ පෙරහැර මංගල්‍යය පැවැත්වෙන අවස්ථාවේදී මීට පෙර නුදුටු කළු පැහැති දැලක් ජනාධිපතිවරයා සිටි වේදිකාවට ඉදිරියෙන් වලාකුළු බැම්ම දිගටම ගසා තිබෙනවා ඔබ දුටුවාද..?
එය ටීවි එකේ බලන ඔබට නොපෙනෙන අයුරින් එහෙත් පෙරහැර එතන සිට බලපු අය සාක්ෂිය..
එය නිකන් දැලක් නොවේ..
එය ජනාධිපතිවරයා පදික වේදිකාවේ වාඩි වී සිටි කලාපයට ඉදිරියෙන් වූ නුවර වැව පැත්තෙන් එල්ල විය හැකි ස්නයිපර් (Sniper) ප්‍රහාර හෝ වෙනත් දුරස්ථ ප්‍රහාර වළක්වාලීම සඳහා එලූ විශාල කළු පැහැති ආරක්ෂිත දැලක් (Security Net / Screen) එකකි..
මේවා රටක නායකයෙක් ආරක්ෂා කිරීමට අතවශ්‍ය දෑය.. ඒ ගැන තර්කයක් නැත….
දේශපාලඥයන් සරල වීම හෝ සරල බව රංගනයක යෙදීම වරදක් නොවේ.
මන්ද, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජනතාව ආකර්ෂණය කර ගැනීමට නම් ජනතාවට සමීප ප්‍රතිරූපයක් (Relatable Image) නිර්මාණය කරගත යුතුය.
ගාන්ධි එදා කළේද, අනුර කුමාර අද කරන්නේද එම දේශපාලන උපක්‍රමයමය.
නමුත් පුරවැසියන් ලෙස අප වටහා ගත යුතු සත්‍යය නම් දේශපාලනඥයෙකු පෙන්වන සරලකම පිටුපස සැමවිටම “විශාල මිලක්” ඇත යන්නයි.
එය මහින්දද.., සිරිසේනද.., රනිල්ද.., අනුරද කියා අදාල නැත..
වෙනස නම් මහින්ද සහි රනිල්.. සිරිසේන සහ අනුර තරම් සරල කමේ රංගනයේදි අසමත් වීමයි…
නායකයෙකු වීදියේ වාඩි වූ පමණින් රාජ්‍ය තන්ත්‍රය හෝ එහි වියදම් සරල වන්නේ නැත. නායකයා සරල ඇඳුමින් සැරසුණද, ඔහු රාජ්‍ය නායකයාමය.. ඔහු වටා ඇති රාජ්‍ය පිරිවැයද එලෙසමය..
- නිලන්ත සත්සර ගමගේ ✍️
