බේරුවලට ජනාධිපති එන විට වරායට බෝට්ටු ඒම තහනම් !
1 min read
මෙම 6 වැනිදා ජනාධිපති අනුර කුමාරගේ ප්‍රධානත්වයෙන් බේරුවල දී පැවැත්වෙන රැලියට හා ජනාධිපතිවරයාට ආරක්ෂාව සලසා දීම වෙනුවෙන්, එදින සවස 5.30 සිට රාත්‍රී 7.30 දක්වා කාලය තුල පිටත මුහුදේ සිට බේරුවල වරායට ඇතුළුවීමට පැමිණෙන සියළු ධීවර බෝට්ටු එම වරාය තුලට ඇතුළුවීම ආරක්ෂක අංශ විසින් තහනම් කර තිබේ.
ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් වෙත, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.ඒ. උදය කුමාර විසින් ලිඛිතව දන්වා ඇති නියෝගයකින් දැනුම් දී ඇත්තේ, එම කාලය තුල පැමිණෙන ධීවර බෝට්ටු වරායට ඇතුළු කර නොගෙන පිටත මුහුදේ රඳවා තබාගෙන සිටිය යුතු බවය.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය, කළුතර ලිපිනය සහිතව යොමු කර තිබෙන එම ලිඛිත දැනුම්දීමෙහි සඳහන්ව ඇත්තේ, එම කාලය තුල ධීවර බෝට්ටු බේරුවල වරාය තුලට පැමිණීම ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවය.
බේරුවල වෙරළ ක්‍රීඩාංගනයේ මෙම රැස්වීම පැවැත්වීමට, ජ.වි.පෙ. තීරණය කර ඇත්තේ, එයට, ගාල්ල මාතර, හම්බන්තොට ආදී ප්‍රදේශවලින් ද සිය අනුගාමිකයන් සම්බන්ධ කර ගැනීමේ පහසුව සලකා බලාය. එහෙත්, මෙය ධීවර කටයුතුවලට බලනොපාන වෙනත් ස්ථානයක පැවැත්වූයේනම් ධීවරයනට මෙම අසීරුතාවට මුහුණ දීමට සිදු නොවන බව බේරුවල ධීවර ප්‍රජාවගේ මතය වී තිබේ.
අදාළ නියෝගය සිදු කරන ලද ලිපිය මේ සමඟ දක්වා ඇත.
- දුමිදු ගලප්පත්ති

