ඇමෙරිකා-ඉරාන සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වෙයි.. ඇමෙරිකාව යළිත් ඉරානයට ප්‍රහාර එල්ල කළහොත් මැදපෙරදිග කලාපය පුරා යුද්ධයක් ව්‍යාප්ත වීමේ අවදානමක්..
1 min read
ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පැවැති නවතම වක්‍ර සාකච්ඡා වටය කිසිදු එකඟතාවකින් තොරව අවසන් වී තිබේ. මේ හේතුවෙන් ඇමෙරිකාව යළිත් ඉරානයට ප්‍රහාර එල්ල කළහොත් මැදපෙරදිග කලාපය පුරා පුළුල් යුද්ධයක් ඇතිවිය හැකි බවට බියක් මතුව තිබේ.
පෙබරවාරි මස අගභාගයේදී ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව හමුදා මෙහෙයුමක් ආරම්භ කළ අතර, එමගින් මාස ගණනාවක් පුරා පැවැති සටන් හේතුවෙන් ගෝලීය බලශක්ති සැපයුම්වලට සහ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නාවික ප්‍රවාහනයට බාධා එල්ල විය. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් සටන් ආරම්භ කරන බවට අවස්ථා ගණනාවකදී තර්ජනය කර ඇති අතර, නොවැම්බර් 3 වැනිදා පැවැත්වෙන ඇමෙරිකානු මධ්‍යවාර මැතිවරණයෙන් පසුව වොෂින්ටනය යළි ප්‍රහාර ආරම්භ කළ හැකි බවට මාධ්‍ය වාර්තා පළ වී තිබේ.
කටාර් රාජ්‍යයේ මැදිහත්වීමෙන් පැවැති දින තුනක සාකච්ඡාවලින් පසුව ඉරාන සාකච්ඡා නියෝජිතයෝ ඉරිදා(01) දෝහා නුවරින් පිටත්ව ගියහ. කෙසේ වෙතත්, සාකච්ඡා තවදුරටත් පැවැත්වීමට ඉඩ ඇති බවත්, නියෝජිත පිරිස පිටත්ව යාමෙන් සාකච්ඡා බිඳවැටීමක් අදහස් නොවන බවත් ඉරාන නිලධාරියකු සඳුදා(02) රොයිටර් පුවත් සේවයට පවසා තිබේ.
මෙම සාකච්ඡාවලදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වී ඇත්තේ සැප්තැම්බර් මාසයේදී ටෙහෙරානය විසින් ඉදිරිපත් කරන ලද පියවර හතකින් සමන්විත සැලැස්මක් කෙරෙහිය. එම සැලැස්මට අනුව, හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සහ සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් ඇමෙරිකාව සිය නාවික අවහිරතාව ඉවත් කළ යුතු අතර, ඉරාන තෙල් අපනයනයට පනවා ඇති සීමා ලිහිල් කිරීම සහ අත්හිටුවා ඇති ඉරාන වත්කම් නිදහස් කිරීම ද සිදු කළ යුතුය.
එහෙත් ට්‍රම්ප් එම මූලික යෝජනාව ප්‍රතික්ෂේප කරමින් අවධාරණය කර ඇත්තේ ඕනෑම එකඟතාවකට ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධ කරුණු ද ඇතුළත් විය යුතු බවයි. මේ අතර, පුළුල් සාකච්ඡා ඉදිරියට ගෙන යාමට පෙර තම කොන්දේසි ඉටු කළ යුතු බව ටෙහෙරානයේ ස්ථාවරය වී තිබේ.
එකඟතාවකට පැමිණියහොත් දින හතක් වෙනුවට දින දෙකක් ඇතුළත හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කළ හැකි බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ප්‍රකාශ කර තිබේ. ලෙබනනය ඇතුළු අනෙකුත් යුද පෙරමුණුවල ද සතුරුකම් අවසන් කළ යුතු බව ඉරානය ඉල්ලා සිටී.
“දැන් පන්දුව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ පිටියේය” යනුවෙන් ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක එස්මයිල් බගායි සඳුදා(02) ප්‍රකාශ කරමින්, ටෙහෙරානය සිය ඉල්ලීම් පැහැදිලිව ඉදිරිපත් කර ඇති බව අවධාරණය කළේය.
“කෙසේ හෝ මෙම ගැටුම ඉක්මනින් අවසන් වනු ඇත” යනුවෙන් ට්‍රම්ප් ඉරිදා(01) ප්‍රකාශ කළේය. ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පැවසුවේ තවදුරටත් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙතෙක් තීරණයක් ගෙන නොමැති නමුත් රාජ්‍යතාන්ත්‍රික විසඳුමකට ඔහු වැඩි කැමැත්තක් දක්වන බවයි.
ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන, භූගත හමුදා මධ්‍යස්ථාන සහ පර්සියානු ගල්ෆ් කලාපයේ ප්‍රධාන තෙල් අපනයන මධ්‍යස්ථානයක් වන කාර්ග් දූපත ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව පිළිබඳව පෙන්ටගනය සලකා බලා ඇති බව වාර්තා වේ.
පසුගිය සතියේ පැවැති මැතිවරණයෙන් පාර්ලිමේන්තු බහුතරයක් දිනාගැනීමට අසමත් වූ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, සෙනසුරාදා(31) පැවැති දුරකථන සංවාදයකදී ට්‍රම්ප්ගෙන් ඉරානයට යළි ප්‍රහාර එල්ල කරන ලෙස ඉල්ලා සිටි බව ද වාර්තා වී තිබේ.
යළිත් ඇමෙරිකානු ප්‍රහාර ආරම්භ වුවහොත් ඉරානය විසින් තම බලශක්ති යටිතල පහසුකම්වලට පුළුල් ප්‍රහාර එල්ල කරනු ඇතැයි පර්සියානු ගල්ෆ් කලාපයේ රටවල් බිය පළ කරන බව බ්ලූම්බර්ග් වාර්තා කර තිබේ. මීට පෙර කලාපයේ පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරුවලට ඉරානය එල්ල කළ ප්‍රහාර හේතුවෙන් ඇමෙරිකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 15ක් දක්වා හානි සිදුව ඇති බව ද වාර්තා වේ.
“අප පැහැදිලිවම උත්සාහ කරන්නේ දේශපාලනික විසඳුමක් කරා යොමු වීමටයි” යනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති උපදේශක අන්වර් ගර්ගාෂ් ඉරිදා බහරේනයේ පැවැති ආරක්ෂක සමුළුවකදී ප්‍රකාශ කළේය. යළිත් සටන් ආරම්භ වුවහොත් අර්බුදය විසඳීමකින් තොරව තත්ත්වය තවදුරටත් විනාශකාරී වනු ඇතැයි ඊජිප්තු විදේශ අමාත්‍ය බද්ර් අබ්දෙලාටි අනතුරු ඇඟවීය.
ඉරාන උත්තරීතර නායක මොජ්තබා කමේනි, භූගෝලීය සීමාවන්ගෙන් තොරව ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සඳහා සූදානම් වන ලෙස හමුදාවට නියෝග කර ඇති බව වාර්තා වේ. එමගින් ඇමෙරිකානු සහ ඊශ්‍රායල ඉලක්ක වෙත එල්ල විය හැකි ප්‍රහාරවල භූගෝලීය පරාසය පුළුල් වීමේ අවදානමක් පවතී.
නාවික කටයුතු සම්බන්ධයෙන් පවතින ආතතිය ද තවමත් පහව ගොස් නැත. හෝමුස් සමුද්‍ර සන්ධියේදී හඳුනා නොගත් ප්‍රක්ෂේපණයකින් නෞකාවකට ප්‍රහාරයක් එල්ල වූ බව එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළෙඳ මෙහෙයුම් මධ්‍යස්ථානය (UKMTO) ඉරිදා වාර්තා කළේය. ඉන් දින දෙකකට පෙර කටාර් රාජ්‍යයට අයත් ගෑස් ප්‍රවාහන නෞකාවකට ද ප්‍රහාරයක් එල්ල වී තිබූ නමුත් එහිදී කිසිවකුටත් තුවාල සිදුවී නොමැත.
මේ අතර, රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් සඳහා රුසියාව නැවතත් ඉල්ලීමක් කර ඇති අතර, යෝජිත එකඟතාවක් යටතේ ඉරානය සතු ඉහළ මට්ටමකින් සරු කළ යුරේනියම් තොග භාර ගැනීමට ද ඉදිරිපත් වී තිබේ.
පසුගිය මාසයේ ශාන්ත පීටර්ස්බර්ග් නුවරදී ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් සමඟ පැවැති සාකච්ඡාවලදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ද මෙම අර්බුදයට විසඳුමක් සෙවීම සඳහා සහාය වීමට මොස්කව් පරිපාලනය සූදානම් බව යළිත් තහවුරු කළේ යැයි ක්‍රෙම්ලිනයේ සහායක යූරි උෂාකොව් ප්‍රකාශ කළේය.
