විදුලි බිල වැඩි කරන්න යළි ඉල්ලීමක්
1 min read
මෙම වසරේ සිව්වැනි කාර්තුව එනම් ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලයට අදාළව 2.88% කින් විදුලි ගාස්තු ඉහළ දැමීමක් සිදුකරන ලෙස ජාතික පද්ධති ක්රියාකරු සමාගම (NSO) විසින් මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබේ.
සිව්වැනි කාර්තුව සඳහා විදුලි ගාස්තු සමාලෝචනය ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් මේ වන විට ප්රකාශයට පත්කර තිබේ. මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ වෙබ් අඩවියේ මෙම ගාස්තු සමාලෝචනය සම්බන්ධ ලේඛනය ප්රකාශයට පත්කර ඇත.
එහි සඳහන්ව තිබුණෛ් ජාතික පද්ධති ක්රියාකරු සමාගම විසින් මුලින් 2.88% ක ගාස්තු වැඩිවීමක් සිදුකරන ලෙස මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් ඉල්ලා තිබුණද කොමිෂන් සභාව විසින් සිදුකරන ලද මූලික සමාලෝචනයකින් අනතුරුව එම ගාස්තු වැඩිවීමේ ප්රතිශතය 1.46% ක් දක්වා අඩුකිරීමට හැකියාව තිබෙන බව හඳුනාගත් බවය.
මේ සම්බන්ධයෙන් ‘සති අග අරුණ’ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහගෙන් විමසීමක් කිරීමේදී ඔහු පවසා සිටියේ ජාතික පද්ධති ක්රියාකරු සමාගමෙ සිව්වැනි කාර්තුව සඳහා විදුලි ගාස්තු ඉහළ දැමීමකට අවසර ඉල්ලා ඇති බවත් මේ වන විට ඒ සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම ආරම්භ කර තිබෙන බවත් ය.
මෙම යෝජිත ගාස්තු සමාලෝචනය සම්බන්ධයෙන් සියලුම පාර්ශ්වකරුවන්ට අදහස් ඉදිරිපත් කිරීමට එළැඹෙන නොවැම්බර් මස 05 වැනිදා තෙක් අවස්ථාව ලැබෙන බව ඔහු ප්රකාශ කළේය.
ඒ අනුව මෙම යෝජිත ගාස්තු සමාලෝචනය සම්බන්ධයෙන් සියලුම පාර්ශ්වකරුවන්ට අදහස් හා යෝජනා විද්යුත් තැපෑලෙන්, ෆැක්ස් මගින් හෝ තැපෑලෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත යොමු කිරීමට අවස්ථාව සලසා දී ඇති බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත් සිව්වැනි කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණය ගනු ලබන්නේ ලිඛිත මහජන අදහස් විමසීමෙන් අනතුරුව පළාත් මට්ටමෙන් වාචිකව සිදුකරන අදහස් විමසීමෙන් ද නැවත වරක් ඒ සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම සිදුකරන සමාලෝචනයෙන් අනතුරුවය.
මේ අතර පසුගියදා දිවුලපිටියේදි පැවැති මාධ්ය හමුවකදී විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික පෙන්වා දුන්නේ විදුලිබල අමාත්යවරයා සහ අදාළ ආයතන මෙවර විදුලි බිල වැඩි කරන්නේ නැත යැයි පවසමින් ජනතාව අතර ජනප්රිය ප්රකාශ සිදු කළද විදුලි බිල වැඩි කිරීමේ සූදානමක් ඇති බවය.
කාලගුණ අංශ පුරෝකථන කර ඇති ආකාරයට ඉදිරි මාස තුන තුළ ජලපෝෂක ප්රදේශවලට ලැබෙන අධික වර්ෂාපතනය නිසා ජල විදුලි උත්පාදනය මුළු උත්පාදනයෙන් ඉහළ යනු ඇති බවත්, ඒ අනුව සමස්ත 50%ක විදුලි බිල් අඩු කිරීමක් පාරිභෝගිකයාට වහාම ලබාදීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් හෙතම වැඩිදුරටත් මෙහිදී අවධාරණය කළේය.
