රිය අනතුරකින් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පති ජීවිතක්ෂයට
1 min read
දඹුල්ල – හබරණ ප්‍රධාන මාර්ගයේ පැල්වෙහෙර ප්‍රදේශයේදී සිදු වූ දරුණු රිය අනතුරකින් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිවරයා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද (18) මධ්‍යම රාත්‍රියේ දී මෙම අනතුර සිදුව ඇත්තේ ත්‍රිකුණාමලයේ සිට කොළඹ දෙසට ධාවනය වූ අධි සුඛෝපභෝගී බස් රථයක් සහ මෝටර් රථ දෙකක් එකිනෙක ගැටීමෙනි.
.මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිවරයා ලෙස සේවය කළ 38 හැවිරිදි ජානක විජේසිංහ මහතා බව අප වාර්තාකරු තහවුරු කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු දක්වන පොලීසිය සඳහන් කරන්නේ, දඹුල්ල දෙස සිට හබරණ දෙසට විදුහල්පතිවරයා පදවාගෙන ආ මෝටර් රථයේ ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථය මුහුණට මුහුණ ගැටී ඇති බවයි. බස් රථයේ වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයේ අනෙක් පසට ධාවනය වීම අනතුරට හේතුවන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.
ගැටීමෙන් අනතුරුව විදුහල්පතිවරයාගේ මෝටර් රථය පාරෙන් ඉවතට විසිවී ගොස් ඇති අතර, ඉදිරියට ඇදී ගිය බස් රථය සංචාරක හෝටලයක් අසල නවත්වා තිබූ වෙනත් මෝටර් රථයක ද ගැටී අසල වූ අවන්හලක් තුළට කඩා වැදී ඇත. මෙම අනතුර හේතුවෙන් බස් රථයේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු ද තුවාල ලබා තිබේ.
අනතුර සිදුවූ අවස්ථාවේදී මෝටර් රථය තුළ සිරවී සිටි විදුහල්පතිවරයාව පිටතට ගැනීමට ප්‍රදේශවාසීන් විනාඩි 45කට ආසන්න වේලාවක් දැඩි වෙහෙසක් ගෙන ඇත. කෙසේ වෙතත්, බරපතළ තුවාල ලබා සිටි විදුහල්පතිවරයා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සුගත් විජේසිංහ මහතා ප්‍රකාශ කළේය.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, දඹුල්ල පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.
