October 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විජේවීර ඇතුළු ජවිපෙ සමාජිකයින් 3908කට ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිතුමා ජනාධිපති සමාව දුන්නා- එජාප සභාපති වජිර

1 min read

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (12) පැවැති ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී එහි කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස්

ස්වාමීන් වහන්සේට උසාවියෙන් පනවා තිබෙනවා අවුරුදු හයක සිරදඬුවමක්. එය රටේ නීතිය ක්‍රියාත්මක කරමින් උසාවිය විසින් පනපු දඬුවමක්. ස්වාමීන් වහන්සේගේ සිවුර ගැලවීම ඊට හාත්පසින් වෙනස් දෙයක්.

චීවරය ගැලවීම කිසිසේත් උසාවියට සම්බන්ධ කාර්යයක් නොවෙයි. එය කළ යුත්තේ බුද්ධ ධර්මයේ ගැබ්වෙලා තිබෙන විනය රීතිවලට අනුකූලවයි. භික්ෂුවකගේ සිවුර ඉවත් කිරීම සම්බන්ධයෙන් වන නීති සහ රීති පැහැදිලිව බුද්ධ ශාසනය තුළ දක්වා තිබෙනවා.

උපසම්පදාව ප්‍රතික්ෂේප කරනවා නම්, ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ස්වේච්ඡාවෙන් ප්‍රතික්ෂේප කරනවා නම්, සිවුර ගැලවෙනවා. නමුත් භික්ෂුවගේ කැමැත්තට පටහැනිව සිවුර ගලවන්න පුළුවන් වන්නේ පාරාජිකා තත්ත්වයට පත්වුණොත් පමණයි. පාරාජිකා හතරයි තියෙන්නේ.

කාම සේවයේ යෙදීම, සොරකම් කිරීම, මනුෂ්‍ය ඝාතනය හා තමන් තුළ නැති ගුණයක් හෝ සුදුසුකමක් ආරෝපණය කර ගැනීම. මේ මේ හතර තමයි පාරාජිකා තත්ත්වයට පත්වන්න බලපාන්නේ, මෙන්න මේවායින් එකකට වරදකරු වුණොත් පමණයි මේ භික්ෂුවගේ කැමැත්තට විරුද්ධව සිවුර ගැලවීමට පුළුවන් වන්නේ.

බුද්ධ ධර්මයේ සඳහන් වෙලා තිබෙනවා මේ පාරාජිකා හතරෙන් එකකට වරදකරු වුණොත් ඒ යම්කිසි උපමාවක් පාවිච්චි කර තිබෙනවා. උපමාව තමයි, තල් ගහක් කරටියෙන් කඩා දැමීම. ඒ හතරෙන් එකක් සිද්ධ වුණා නම් එය නැවත නිවැරදි කරන්න පුළුවන් දෙයක් නෙවෙයි, එය සදාකාලිකයි. එම නිසා ඒ චීවරය ගැලවීම උචිත වෙනවා.

ඉතාමත් බරපතල දෙයක් නිසා. නමුත් ඒ පිළිබඳ තීරණය අයත් වන්නේ අදාළ නිකායේ මහනායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සංඝ සභාවට යි. ඕනෑම භික්ෂුවක් යම් කිසි නිකායකට අයත් වෙනවා. ඒ නිකායේ මහනායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සංඝ සභාවට පමණයි සිවුර ගැලවීමේ අයිතිය තියෙන්නේ.

ඥාණසාර ස්වාමීන් වහන්සේ අයත්ව සිටියේ කෝට්ටේ පාර්ශ්වයේ. එබැවින් මේ පිළිබඳ තීරණය ගැනීමට තිබෙන්නේ කෝට්ටේ පාර්ශ්වයට. නමුත් ඥාණසාර ස්වාමීන් වහන්සේට විරුද්ධව පාරාජිකා උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් කිසිම චෝදනාවක් වාර්තා වෙලා නැහැ. පාරාජිකා උල්ලංඝනය කිරීම උන්වහන්සේට කිසිසේත් අදාළ වුණේ නැහැ.

උන්වහන්සේට වසර 6ක සිර දඬුවම් නියම කළේ උසාවියට අපහාස කිරීමක් සම්බන්ධවයි. එය අප ඉහත සඳහන් කළ පාරාජිකා හතරින් එකකට හෝ කිසිසේත් අදාළ වන්නේ නැහැ. මේ තීරණය ගත යුතුව තිබෙන්නේ වෙන කාටවත් නෙවෙයි, උසාවියට නොවෙයි, ආණ්ඩුවට නොවෙයි, බන්ධනාගාරයේ පාලකයන්ට නොවෙයි. මේ මේ තීරණය ගත යුත්තේ කෝට්ටේ පාර්ශ්වයේ මහනායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සංඝ සභාව යි.

එතැන මහනායක ස්වාමීන් වහන්සේ තමයි ඉත්තෑපානේ ධම්මාලංකාර මහනායක ස්වාමීන් වහන්සේ. ලේඛකාධිකාරී තමයි මහාචාර්ය කොටපිටියේ රාහුල ස්වාමීන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේලා පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා, කිසිම ආරාධනාවක් ලැබුණේ නැහැ මේ පිළිබඳ සාකච්ඡා කරන්න කියලා. මෙතෙක් දුරට මේ පිළිබඳ උන්වහන්සේලාගේ අදහස් විමසලා තිබුණේ නැහැ,

උන්වහන්සේලා දෙනම බොහොම සාමාන්‍ය ඉල්ලීමක් කර තිබෙනවා. මීට පසු ඥාණසාර ස්වාමීන් වහන්සේ උසාවියට කැඳවීමට පෙර කෝට්ටේ පාර්ශ්වයේ අදාළ සංඝ සභාවට මේක සාකච්ඡා කරලා මේ පිළිබඳ ගත යුතු උචිත තීරණය කුමක්ද කියන එක ගැන ඒ අදාළ පාර්ශ්වයේ, අදාළ නිකායේ නිර්දේශය, අදහස් ලබාගත යුතුයි කියලා. මෙතෙක් දුරට එය සිදුවෙලා නැහැ. ඇයි කියන එක පැහැදිලි නැහැ. මේ ප්‍රශ්නේ තියෙන්නේ ඒ නිකායට අදාළ කෝට්ටේ පාර්ශ්වයටයි. නමුත් මෙතෙක් දුරට තීරණ ගනු ලබන්නේ ඒ පාර්ශවය ඉවත් කරලයි.

අපේ උත්තරීතර නීතිය වන ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ සම්පූර්ණ කාරණයට බලපාන නීතිය ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා. එහි තුන් වැනි පරිච්ඡේදය, මානව හිමිකම් පිළිබඳ 16 වැනි වගන්තියේ පළවන උප වගන්තියේ මෙන්න මෙහෙම සඳහන් වනවා.

“පවත්නා ලිඛිත නීතිය හා ලිඛිත නොවූ නීති අතුරෙන් යම්කිසි ලිඛිත නීතියක් හෝ ලිඛිත නොවූ නීතියක් මේ පරිච්ඡේදය මෙයට ඉහතින් ඇති විධිවිධානවලට අනුකූල වූවද එකී සියලු පවත්නා ලිඛිත නීති හා ලිඛිත නොවූ නීති බලාත්මකව ක්‍රියාත්මක වන්නේය.”

ඒ කියන්නේ බුද්ධ ධර්මය බුද්ධ ශාසනයට අදාළ වන සම්ප්‍රදායන් ඒවා ලියවිලා නැහැ. ලිඛිත නොවන රීති. ඒවා තුන් වැනි පරිච්ඡේදයේ අඩංගු මානව හිමිකම්වලට පටහැනි වුණත් ඒ විදිහ අවස්ථාවකදී පවා ඒ දෙක අතර ගැටුමක් තියෙනවා. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මානව හිමිකම් හා බුද්ධ ධර්මයේ සම්ප්‍රදායන් පිළිබඳ ගැටුමක් තියෙන අවස්ථාවලදී පවා බුද්ධ ධර්මයේ සම්ප්‍රදායන් ඒ විදිහටම ක්‍රියාත්මක විය යුතුයි කියලා මේ රටේ ඉහළම නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා.

ඒ විතරක් නෙවෙයි. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වැනි වගන්තියේ කියනවා, “ශ්‍රී ලංකා ජන රජය බුද්ධාගමට ප්‍රමුඛ ස්ථානය පිරිනමන්නේය. බුද්ධ ශාසනය ආරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේය.” ඒ කියන්නේ රජයේ පරම යුතුකම බුද්ධ ශාසනය ආරක්ෂා කර පෝෂණය කිරීමයි යන්නය.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිර්මාතෘ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා එතුමාගේ පෑනෙන්ම මේ නව වැනි වගන්තියේ ඉස්සෙල්ලා තිබුණේ බුද්ධාගම කියන වචනය ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා එතුමාගේ පෑනෙන්ම බුද්ධාගම කියන එක කපලා ඒ වෙනුවට බුද්ධ ශාසනය කියන වචනය ඇතුළත් කළා.

ඒකට හේතුව තමයි බුද්ධ ශාසනය කියන එකට තියෙනවා බුද්ධාගමට වඩා පුළුල් අර්ථයක්. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේදී ඕන වුණා බුද්ධ ශාසනයට ඇතුළත් වෙලා තිබෙන අන්තර්ගත සියලුම සම්ප්‍රදායන් ඒ රීති ලිඛිත, ලියවලා නොතිබිච්ච නීති එතුමා ඉදිරිපත් කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සම්පූර්ණයෙන් සුරක්ෂිත කිරීමේ අභිලාෂය ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා තුළ තිබුණා. ඒ නිසා තමයි නව වැනි වගන්තිය මේ විදිහට සකස් කළේ.

දැන් බොහොම පැහැදිලිව අපේ රටේ නීති තිබෙනවා. වරදකරු කියලා උසාවියක් තීරණය කරලා සිරගත කළ බෞද්ධ භික්ෂුවක් හෝ ඕනෑම ආගමික පූජකයෙක්. සිරගේ තුළ සිටින විට අඳින ඇඳුම හා සිරගෙයින් ඉවත් වෙලා බැහැර වෙලා උසාවියකට යවන අවස්ථාවේදී භාවිතා කරන ඇඳුම පිළිබඳ බොහොම පැහැදිලි විධිවිධාන අදටත් අපේ නීතියේ අඩංගු වෙලා තියෙනවා. ඒ ගැන සැකයක් නැහැ.

බන්ධනාගාරයේ සිටින විට භික්ෂුවක් කොයි විදිහේ ඇඳුමක්ද පාවිච්චි කළ යුත්තේ. බන්ධනාගාරයෙන් එළියට උසාවියකට යවන කොට කොයි විදිහේ ඇඳුමක්ද පාවිච්චි කළ යුත්තේ කියන එක පිළිබඳ බොහොම පැහැදිලි විධිවිධාන අද අපේ නීතියේ අඩංගු වෙලා තිබෙනවා.

මම කතා කරා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට. එතුමා මට කිව්වා. ඥාණසාර ස්වාමීන් වහන්සේ මීට පෙර අවස්ථාවකදී බන්ධනාගාරයේ සිටින විට වෙසක් දවසේ, එතුමා රිම ගෙදරට ගියා කියලා, හාමුදුරුවෝ බැහැදැකීමට. සුරේන් රාඝවන් මැතිතුමාත් සමඟ.

සිරිසේන ජනාධිපතිතුමාට අද වගේ මතකයි කිව්වා ඥාණසාර ස්වාමීන් වහන්සේ සිවුරු පිටින් හිටියේ කියලා. ඒ කියන්නේ උන්වහන්සේ වෙනත් රැඳවියන් අඳින ඇඳුමින් නෙමෙයි සිටියේ චීවරය පිටින් කියලා එතුමා මට කිව්වා.

තවදුරටත් මම ඇහුවා එදා හිටපු අධිකරණ ඇමතිනි තලතා අතුකෝරාළ මැතිනියගෙන් මේ සම්බන්ධව, ඉතුමියත් එය සනාථ කළා.

ඒක තමයි එදා තිබුණු සම්ප්‍රදාය. ඥාණසාර ස්වාමීන් වහන්සේ බොහොම පැහැදිලිව කියනවා සිවුරු ගැලවීම නෙමෙයි, සිවුර ඇඳගෙන ඉන්න අවසර දුන්නා කියලා. හිටපු ජනාධිපතිතුමා ඒක සනාථ කරනවා, ඒ වගේම ඒ කාලේ හිටපු අධිකරණ ඇමතිනිය ඒක සනාථ කරනවා.

එසේනම් දැන් තත්ත්වය කුමක්ද? බන්ධනාගාරයෙන් එළියට යනවිට හාමුදුරුවෝ යවන්න ඕනේ උසාවියට. උසාවියට යැව්වාම ඒ සඳහා මොකක්ද අදාළ ඇඳුම. මෙන්න බලන්න මේකට කිසිම සැකයක් තියෙනවද කියලා හිතලා බලන්න.

බන්ධනාගාරවල නිති නියෝගවල 550 වන නිත්‍ය නියෝගයේ මෙහෙම පැහැදිලිව සඳහන් කර තියෙනවා. මෙන්න මම ඒ නියෝගය කියවන්නේ.

“බන්ධනාගාර වීමට ප්‍රථම සමාජයේ ජීවත් වන විට ඇඳීමට පුරුදු වී සිටි ඇඳුමට අනුකූල සිවිල් ඇඳුමක් හෝ අදාළ සංස්කෘතික ආගමික පසුබිමට ගැලපෙන වස්ත්‍රයක් ඇඳීමට ඔහුට අවසර දිය යුතු ය.”

මේ බන්ධනාගාරයේ රීතිය. තවත් බොහොම පැහැදිලිව ඒ 550 නිත්‍ය නියෝගවල මෙන්න මෙහෙම සඳහන් වෙනවා.

“යම් අධිකරණ නියෝගයක් මත හෝ වෙනත් නඩු කටයුත්තක් සඳහා අධිකරණයට ඉදිරිපත් කරනු ලබන වරදකරුවෙකු කරනු ලැබූ සිරකරුවෙකු හෝ බන්ධනාගාර නිල ඇඳුමින් සිරකරු ඇඳුමින් අධිකරණයට ඉදිරිපත් කළ නොකළ යුතුය.”

මීට වඩා පැහැදිලිව මේක සඳහන් කරන්න බැහැ. මේක උපරිම නිශ්චිතභාවය තියෙනවා. මේකේ අකුරෙන් අකුරට වචනයෙන් වචනයට කියනවා. හාමුදුරු නමක් බන්ධනාගාරයේ සිටින විට උසාවියකට යවන්න සිදුවනවා නම් උසාවියට යවන්න ඕනේ, බන්ධනාගාර නිල ඇඳුමෙන් නොවෙයි. බන්ධනාගාර ගතවීමට පෙර ඇඳීමට පුරුදු වී සිටි ඇඳුමෙන් සැරසිලා තමයි උසාවියට යවන්න ඕනේ කියලා.

මොකක්ද මේකේ තියෙන දෙගිඩියාව? මොකක්ද මේකේ තියෙන අපැහැදිලිතාවය. මේ බන්ධනාගාර නිලධාරීන් සියලු දෙනාම අනිවාර්යයෙන් අනුගමනය කළ යුතු බන්ධනාගාර නිත්‍ය නියෝගවල ඉතාමත් පැහැදිලිව කියනවා හාමුදුරුවෝ යවනවා නම් උසාවියට සිවුර දාලා යැවිය යුතුයි කියලා. බන්ධනාගාර ඇඳුමෙන් යවන්න බැහැ කියලා මේක ඉතාමත් පැහැදිලිව සඳහන් කරලා තියෙනවා.

එහෙනම් මොකක්ද මේ කතාව. බන්ධනාගාර කොමසාරිස්තුමාට කිසිසේත් දොස් පවරන්න බැහැ. එහෙමනේ කියන්නේ ආණ්ඩුව. එතුමා කළේ වෙන දෙයක් නෙවෙයි එතුමාගේ රාජකාරිය. එතුමාට අභිමතයක් තිබුණේ නැහැ. ඒ නිසා තමයි සිවුර ගලවලා. බන්ධනාගාරයේ ඇඳුම් වලින් සරසලා හාමුදුරුවෝ උසාවියට යැව්වේ වෙන කරන්න දෙයක් නෑ එතුමාට අභිමතයක් නැහැ අනිවාර්යයෙන් ඒක කළ යුතු නිසා තමයි බන්ධනාගාරයේ නිලධාරීන් ඒක කළේ එහෙම නිසා ඒක කවුරුත් බන්ධනාගාරයේ නිලධාරීන්ට වරද පවරන්න එපා කියනවා.

නමුත් බන්ධනාගාර නිලධාරීන් අනුගමනය කළ යුතු නීතිය ඊට හාත්පසින් වෙනස් නීතියක්. 100% ක් පටහැනි නීතියක්. එහෙම කරන්න බැහැ කියලා මේකේ සඳහන් කරලා තියෙනවා. සිවුර දාලා තමයි උසාවියට යවන්න ඕනේ.

අද වර්තමාන ආණ්ඩුව කියනවා මේ සම්බන්ධයෙන් තිබෙන නීති වෙනස් කරන්න ඕනේ කියලා. නීතිය වෙනස් කරාට පස්සේ සති දෙකකින් හාමුදුරුවන්ට අයිතිය ලැබෙනවාලු සිවුර ඇඳගෙන උසාවියට යන්න. මෙය සම්පූර්ණයෙන්ම වැරදියි.

මේ කමිටුවක් පත් කිරීමට කිසිම අවශ්‍යතාවයක් තියෙනවද. කමිටුවක් පත් කිරීමට අවශ්‍යතාවයක් නැහැ. කමිටුවක් පත් කරන්න ඕනේ නීතියේ අපැහැදිලි තැනක් තියෙනවා නම් පමණයි. විකල්ප ගණනාවක් තියෙනවා නම්. මොකක්ද හරි විකල්පය කියලා තෝරා ගැනීමේ අවශ්‍යතාවය තියෙනවා නම් පමණයි. එහෙම කිසිම අපැහැදිලිතාවයක් නැහැ. නීතිය ඉතාමත් පැහැදිලියි.

ඒ නිසා ඥාණසාර හාමුදුරුවෝ උසාවියට යවන්න තිබුණේ සිවුර ඇඳගෙන අද පවතින නීතිය අනුව. මේ කමිටුව කල්මැරීමක්. නිෂ්ඵල ව්‍යායාමයක්. ඒකට කිසිම හේතුවක් නැහැ.

දැන් අපි කියනවා. මේ සම්පූර්ණ ප්‍රශ්නය සිවුරට, චීවරයට සීමා කරන්න බැහැ. මෙය ඉන් එහාට ගිය ප්‍රශ්නයක්. බුද්ධ ධර්මය. බුද්ධ ශාසනයේ චිරස්ථිතිය. අපේ උරුමය. අපි ශතවර්ෂ ගණනාවක් බ්‍රිතාන්‍ය යුගයේ පවා හාමුදුරුවන්ට මෙහෙමයි සැලකුවේ. ඒ නිසා මේක චීවරයට කිසිසේත් සීමා කරන්න පුළුවන් ප්‍රශ්නයක් නොවෙයි.

අපේ ස්ථාවරය මම පැහැදිලිව කියනවා. ඥාණසාර ස්වාමීන් වහන්සේට සම්පූර්ණ සමාව ලබා දිය යුතුයි. මේ සිවුර ඇඳගෙන උසාවියට යවනවාද නැද්ද කියන එක ද්විතීය ප්‍රශ්නයක්.

ජනප්‍රිය පුවත්  මහවැලි, කැලණි, කළු ගඟ ආශ්‍රිතව සැලකිය යුතු වර්ෂාපතනයක්

උන්වහන්සේට සමාව ලබා දුන්නා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. එතුමා ඒ පියවර ගත්තේ ත්‍රෛනිකායික මහනායක ස්වාමීන් වහන්සේලාගේ දැඩි ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින්. මහනායක හාමුදුරුවෝ තමයි ඉල්ලුවේ උන්වහන්සේට සමාව දෙන්න කියලා. ඒ නිසා තමයි සිරිසේන ජනාධිපතිතුමා ඥාණසාර හාමුදුරුවන්ට ඒ සමාව ලබා දුන්නේ.

ඊට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් තුන් දෙනෙක් තීරණය කළා ඒ සමාව දීමේ ක්‍රියාදාමය දෝෂ සහගතයි කියලා. එතැන තාක්ෂණික වැරැද්දක් සිදු වුණා කියලා උසාවිය තීරණය කරනවා නම් අපි ඒක පිළිගන්නවා.

නමුත් තාක්ෂණික දෝෂයක් වුණා නම් කොහොමද ඒ සමාව ලබපු පුද්ගලයා ඒකට වග කියන්නේ. සමාව ලබපු පුද්ගලයාගේ වරදක් නොවෙයිනේ. තාක්ෂණික දෝෂයක් තිබුණා නම් ඒ සමාව දීමේ ක්‍රමවේදය සම්බන්ධවයි.

එහෙනම් මොකක්ද දැන් කළ යුත්තේ? මොකක්ද නිවැරදි ක්‍රියාමාර්ගය. වර්තමාන ජනාධිපතිතුමාට සම්පූර්ණ බලය තිබෙනවා මේ සමාවදීමට. විධායක පරමාධිකාරයේ අන්තර්ගත කොටසක්. ඒ වගේම නායක ස්වාමීන්වහන්සේලා, මහනායක ස්වාමීන් වහන්සේලාගේ ස්ථාවරයේ කිසිම වෙනසක් නැහැ.

එදා මහනායක ස්වාමීන් වහන්සේලා ඥානසාර ස්වාමීන් වහන්සේට සමාව දිය යුතුයි යයි ප්‍රකාශ කළා සේම. උන්වහන්සේලා අදත් අඛණ්ඩව ඉන්නේ ඒ ස්ථාවරයේමයි කිසිම වෙනසක් නැහැ.

ඉතින් එහෙනම් අපේ ස්ථාවරය තමයි තාක්ෂණික දෝෂ වලින් බැහැර වෙලා. ඒ පටිපාටික දෝෂ නැවත නොකර, නිවැරදි ක්‍රියාදාමය අනුව ඥාණසාර ස්වාමීන් වහන්සේට සමාව දිය යුතුයි කියන එක.

මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ සභාපති, වජිර අබේවර්ධන මහතා

VIII වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඥාණසාර හිමියන්ට ලැබුණු අධිකරණ තීන්දුව සහ හෝමාගම මහේස්ත්‍රාත් උසාවියේදී සිදු වූ කාරණය සම්බන්ධයෙන් ඉතා පැහැදිලි ප්‍රකාශයක් කර තිබෙනවා.

ඥාණසාර ස්වාමීන් වහන්සේට අභියාචනාධිකරණයෙන් සිර දඬුවමක් දුන් විට ඒ සඳහා මේ ආකාරයට ක්‍රියා කරන්න කියා සංඝයා වහන්සේලා එවකට රනිල් වික්‍රමසිංහ අග්‍රමාත්‍යතුමාට මෙසේ සඳහන් කර තිබුණා

මෙවැනි දෙයක් සිදු වුණාම ඒ අදාළ සංඝයා වහන්සේ කැඳවා අවවාද කර අදාළ නිකාය, එහෙම නැතිනම් ඒ පාර්ශ්වයේ කාරක සභාවෙන් පසු භාවනා කරන්න අප කාලයක් දෙනවා. පාරාජිකා නොවන කාරණයකට සිවුර ඉවත් කළොත් එය විශාල ප්‍රශ්නයක් බවට පත් වෙනවා 9 වැනි වගන්තියට පටහැනියි බුද්ධාගම ආරක්ෂා කිරීම ලෙස තිබු වචනය ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා විසින් බුද්ධ ශාසනය ලෙස කපා සංශෝධනය කළා යයිද සංඝරත්නය වැඩිදුරටත් එතුමාට සිහිපත් කර සිටියා. ඒ අනුව එතුමා ජනාධිපති ධූරයට පත් වුණාමත් එම වගන්තිය ආරක්ෂා කිරීමට පියවර ගෙන තිබුණා

එදා ඥාණසාර හිමියන් සිරගත කරන විට සිවුර ඉවත් කළේ නැහැ. ඒ ප්‍රශ්නය ඇති වුණාම රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා සමඟ ස්වාමීන් වහන්සේලා කතා කළාම එතුමා ප්‍රකාශ කර තිබුණේ, මේ සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සමග සාකච්ඡා කරන්න මොකද මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන්න එතුමාට තමයි ජනාධිපති ලෙස වගකීම තිබෙන්නේ කියලායි.

ඒ අනුව උන්වහන්සේලා ජනාධිපතිතුමා සමග සාකච්ඡා කළා. කැබිනට් මණ්ඩලයෙත් මේ ගැන සාකච්ඡා වුණා. පසුව මහානායක හාමුදුරුවන්ගේ ඉල්ලීම සළකා බලා අවුරුද්දකට පසු හාමුදුරුවන්ට සමාව දී නිදහස් කළා.

ඒ සමාව දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තියට අනුකූලවයි. කෙසේ හෝ සමාව කියන වචනයට අප සංස්කෘතිය තුළත් ලෝකයේ සංස්කෘතියන් තුළත් දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා.

ප්‍රථමයෙන් සමාව දෙන්නේ මව්පියන්, දෙවනුව සමාව දෙන්නේ පාසල් ගුරුවර ගුරුවරියන් හා විදුහල්පතිවරුන්. ඉන් අනතුරුව සමාජයට ගියාම තමන් වැඩ කරන ආයතනවල ප්‍රධානීන් සමාව දෙනවා.

ඊටත් එහාට ගියොත් ඒ කියන්නේ අධිකරණ පද්ධතියට ගියොත්, මහේස්ත්‍රාත්තුමන් විසින් සමාව දෙනවා, දිසා විනිසුරුවරු සමාව දෙනවා. මහාධිකරණ විනිසුරු සමාව දෙනවා, අභියාචනාධිකරණ විනිසුරු සමාව දෙනවා, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සමාව දී අවවාද කර නිදහස් කරනවා.

ඒ අනුව තමයි ජනාධිපතිවරයාටත් සමාව දෙන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අවස්ථාව ලබාදී තිබෙන්නේ. මේ සමාව දෙන කාරණය ජාතික රාජ්‍ය සභාව තියෙන කාලේත්, ඒ වගේම අපේ රට යටත්විජිතයක් පැවැති කාලවලත්, රාජ්‍ය මන්ත්‍රණ සභාව පැවැති කාලවලත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තුළ අන්තර්ගත වී තිබෙනවා.

ජාතික රාජ්‍ය සභාව තිබෙන කාලයේ අවසාන වතාවට හිටපු විලියම් ගොපල්ලව ජනාධිපතිවරයාටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතර වැනි පරිච්ඡේදයේ 22 (1) යටතේ වර්තමානයේ තිබෙනවාටත් වඩා ශක්තිමත්ව බලය ලබාදී තිබුණා. ඒ කාලයේත් 1971 අප්‍රේල් කරැල්ල ආවාම නඩු විභාග කරන්නත් කලින්ම විශාල පිරිසකට කොන්දේසි සහිතව සමාව දීමට ජනාධිපතිවරයා අත්සන් කළා.

1818 සිට 1915 දක්වා බ්‍රිතාන්‍ය පාලන සමයේ බෞද්ධ දර්ශනයට විරුද්ධව මේ රට පාලනය කරපු අවස්ථාවේ එවකට විදේශීය ආණ්ඩුකාරවරු මේ බෞද්ධ රටේ මරණ දඬුවම ක්‍රියාත්මක කළා. එල්ලුම්ගහ ක්‍රියාත්මක වුනා. බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරු සමහර අය වෙඩි තබා ඝාතනය කලා. කැප්පෙටිපොළ දිසාවගේ හිස ගසා ඝාතනය කළා. මඩුගල්ල දිසාවේට මරණ දඬුවම දුන්නා.

1818 මුදලිහාමු සහ සිව්දෙනෙකු එල්ලා මරා දැමුවා. 1848 වීරපුරන් අප්පුට වෙඩි තබා ඝාතනය කළා. 1848 ගොන්ගාලේගොඩ බණ්ඩා එල්ලා මරා දැමුවා. 1848 සින්ඩරැල්ල කැරැල්ලේ දී ඇතැම් අයට සමාව දුන්නා. 1915 ජූලි හෙන්රි පේද්‍රිස් මරා දැමුවා. 1915 දී 83 දෙනෙකුට මරණ දණ්ඩනය දීලා 49 දෙනෙකුට දඬුවම ලිහිල් කර සමාව දුන්නා. මේ ආකාරයට බෞද්ධ විරෝධී පාලන කාලයේ, මේ රටේ එල්ලා මැරීම, වෙඩි තබා ඝාතනය කිරීම සිදුවන අවස්ථාවල පවා සමාවදීම සිදුකර තිබෙනවා.

උදාහරණයක් හැටියට ගත්තොත්, 1971 කැරැල්ල පටන් ගන්නා විට ඇමරිකන් තානාපති කාර්යාලයට බෝම්බ ගැසුවා. ඒ අවස්ථාව මර්ධනයට පැමිණි කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයාව පිහියෙන් ඇනලා මරා දැමුවා. මේ අකාරයට 1971 දී ඇති වූ අප්‍රේල් කැරැල්ලෙන් විශාල පිරිසක් මරා දැමුවා. මේ අවස්ථාවට වැරදිකරුවන් වූ විශාල පිරිසකටද සමාව හිමිවුණා.

1971 අප්‍රේල් 05 වැනිදා පොලීසි 52 කට පහර දී පොලිසි 57ක් සම්පූර්ණයෙන්ම විනාශ කර දැමුවා. තවත් පොලිසි 05 ක් යටත් කරගෙන තිබුණා. එසේ පටන් ගත් ඉතිහාසයේ අංක 14 දරණ සාපරාධී අධිකරණ කොමිෂන් සභා පනත අනුව නඩු විභාග කරලා කොමිෂන් සභාවේ නඩු පරීක්ෂණ 140ක් පවත්වා චෝදනා ලැබූනක 3908 දෙනෙක් සිටි අතර ඉන් 2492 ක් අත්හිටවූ සිරදඩුවම් මත නිදහස් කළා. 390 දෙනෙකුට බරපතල සිරදඬුවම් නියම කර තිබුණා.

කොහොම නමුත් මේ කැරැල්ලෙන් පවා සිංහල බෞද්ධයින්ට තමයි විශාල තර්ජනයක් සිදුවුණේ. සිංහල බෞද්ධයින් විශාල පිරිසක් මේ කැරැල්ලේදී ජීවිතක්ෂයට පත්වුණා. ඒ විතරක් නොවෙයි, 1987 – 1988 කාලවල ඇති වූ කෝලහාලවලදීද වැඩිම ජීවිත ප්‍රමාණයකින් වන්දි ගෙවන්න සිදුවුණේ සිංහල බෞද්ධයින්ටයි.

1977 ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ජයග්‍රහණයෙන් පසු අග්‍රාමාත්‍යවරයා හැටියට රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ 3908 දෙනෙකට පූර්ණ සමාව එක ගැසට් පත්‍රයෙන් ලබා දුන්නා.

1974 දෙසැම්බර් 20 වැනිදා රෝහණ විජේවීර සහෝදරයව බරපතල වැඩ සහිතව ජීවිතාන්තය දක්වා සිරගත කරලයි තිබුණේ. ජේ. ආර් ජයවර්ධන මැතිතුමා අගමැතිවරයා හැටියට 1972 අංක 14 දරණ සාපරාධී අධිකරණ කොමිෂන් සභා පනත අහෝසි කරලා 76 සිට 77 දක්වා දේශපාලන හා මිනීමැරුම් හේතු මත හිටපු දහස් ගාණක් නිවෙස් වලට පිටත් කළා. ඒ අතරේ කැරැල්ලේ හිටපු ලයනල් බෝපගේට, තේමිස් උයන්ගොඩට, සුනන්ද දේශප්‍රියට, වික්ටර් අයිවන්ට, ලොකු අතුලට, සෝමසිරි කුමාරනායකට, ටී.ඩී සිල්වා, ජී.අයි.ඩී ධර්මසේකර වගේ බොහෝ දෙනෙක්ට එක ගැසට් නිවේදනයෙන් කොන්දේසි සහිතව සහ සමහර අයට කොන්දේසි රහිතව නිදහස ලබා දුන්නා. ලොකු අතුලනම් පසු කාලීනව නියෝජ්‍ය ඇමතිවරයෙක් පවා වුණා. මේ සමාව දීම මෙහෙම තමයි ලෝකයෙත්, ලංකාවෙත් ක්‍රියාත්මක වන්නේ.

ඒ විතරක් නොවෙයි මුත්තයියා, අබේසිංහ, අනුර වීරරත්න (තවම ජීවතුන් අතර), සිරිසේන කුරේ ඇතුළු පිරිසකට සිරිමාවෝ බණ්ඩාරනායක රජය සමයේදී එක්සත් ජාතික පක්ෂයට මුදල් සපයනවා යයි කියලා සැකපිට අත්අඩංගුවට ගෙන සිරදඬුවම් නියම කර තිබුණා. ඒ සියලු දෙනාට එක ගැසට් නිවේදනයෙන් ජේ. ආර් ජයවර්ධන මැතිතුමා සමාව දුන්නා.

1987, 1988, 1989 වකවානුව තුළ ජනතා විමුක්ති පෙරමුණ (දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය) විසින් දේශපාලන විරුද්ධවාදීන් මරා දැමුවා. ප්‍රචණ්ඩ කියා විශාල ප්‍රමාණයක් රට තුළ සිදු කළා. මේ කැරැල්ල අවසාන වන විට ජනතා විමුක්ති පෙරමුණ විසින් ඝාතනය කළ පුද්ගලයන් සංඛ්‍යාව 6661 ක් පමණ වෙලා තිබුණා.

1986 සිට 1990 දක්වා දෙවැනි සන්නද්ධ කැරැල්ල ජනතා විමුක්ති පෙරමුණ මෙහෙයෙව්වාම දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලය සමගත්, පාර්ලිමේන්තුවේත් සාකච්ඡා කරලා අත්අඩංගුවේ හිටපු තරුණයන් විශාල පිරිසකට කොන්දේසි සහිත සමාව සහ කොන්දේසි විරහිතව සමාව දී නිදහස් කර ගෙදර යැව්වා. මරණය දඬුවම නියම වෙන්න ඕන පිරිස් වලට එදා ආණ්ඩු ක්‍රියා කළේ මේ ආකාරයටයි. ඒ ඔවුන්ව වැරැද්දෙන් මුදාගෙන යළි නිවැරදි පුද්ගලයින් ලෙස සමාජගත කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරන්නයි.

මේ කැරලි දෙකේදීම සමාව දී නිදහස් කරපු විශාල පිරිසෙන්, අද ඇතැම් අය ආගමික නායකයෝ වෙලා, ඇතැම් අය රටේ විවිධ ඉහළ තනතුරු දරනවා. එහි වරදක් නැහැ. අද වරදක් කරන පුද්ගලයා හෙට වරදක් කරයි කියලා අපට ස්ථිරවම කියන්න බැහැ. ඕනෑම වැරදිකරුවෙක් 95%ක්ම නිවැරදිකරුවන් වෙන බව අප මතක තබා ගත යුතුයි.

බෞද්ධ රටේ වර්තමාන සමාජය සකස් වෙලා තිබෙන්නේ වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව සහ කුහකකම වපුරලා, අරයට තිබෙන්නේ මට නැති හන්දා කියන සංකල්පය ඇති කරන මහා වෛරී සමාජ පසුබිමකයි.

ඒ වෛරී සමාජයෙන් කොහොමද මේ බෞද්ධ රට ගොඩගන්නේ කියලා වෙනම කල්පනා කර බැලිය යුතුව තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අප වැඩ කරන්න තියෙනවා.

සමාජය නොමඟ යවලා බොරු කියන එක හොඳ නෑ. අලුත් නීති මුකුත් අවශ්‍ය නැහැ. බෞද්ධ දර්ශනය ආරක්ෂා කරන්න ඕන සියලු නීති රීති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැනටමත් සටහන් කර තිබෙනවා.

II වැනි පරිච්ඡේදය – බුද්ධාගම

  1. ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේ ය. එහෙයින් 10 වැනි ව්‍යවස්ථාවෙන් සහ 14 වැනි ව්‍යවස්ථාවේ (1) වැනි අනු ව්‍යවස්ථාවේ (ඉ) ඡේද‍යෙන් සියලු ම ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේ ය.

III වැනි පරිච්ඡේදය – මූලික අයිතිවාසිකම්

  1. සෑම තැනැත්තකුට ම තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ වැළඳ ගැනීමේ නිදහස ද, ලබ්ධියක් හෝ විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහස ද ඇතුළුව සිතීමේ නිදහසට, හෘදය සාක්ෂියේ නිදහසට සහ ආගමික නිදහසට හිමිකම් ඇත්තේය.
  2. (1) සෑම පුරවැසියකුට ම – (ඉ) එකලාව හෝ අන් අය හා සමග, ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව තම ආගම, ලබ්ධිය හෝ විශ්වාසය ඇදහීමෙන්, පිළිපැදීමෙන්, ප්‍රගුණ කිරීමෙන් සහ ඉගැන්වීමෙන් ප්‍රකාශ කිරීමේ නිදහසට;

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් උපුටා ගන්නා ලදී.

ජනප්‍රිය පුවත්  වයස අවුරුදු 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් - ප්‍රංශ පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබෙයි..

ඉහත සඳහන් කාරණය අනුව බෞද්ධ දර්ශනය ආරක්ෂා කිරීමට රජය බැඳී සිටිනවා. ඒක රජයේ වගකීමක්. එවැනි කාරණා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර තිබෙන්නේ, භික්ෂූන් වහන්සේලා, විහාරස්ථාන, බෞද්ධ දර්ශනය ආරක්ෂා කිරීම සඳහා යි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 113 වැනි පිටුව – XV පරිච්ඡේදය අධිකරණය (වගන්තිය) සිට ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය, දිසා අධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණය 144 වැනි පිටුව දක්වා තිබෙන්නේ අධිකරණයේ ස්වාධීනත්වය ඔස්සේ පුරවැසියාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිළිබඳවයි.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ගත්තම ශ්‍රේෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණයට සුදුසු යයි සැලකෙන පරිදි බන්ධනාගාරගත කිරීමෙන් හෝ දඩයකින් හෝ එසේත් නැතිනම් බන්ධනාගාරගත කිරීම හා දඩය යන මේ දෙයාකාරයෙන්ම හෝ දඬුවම් කිරීමේ බලය ඒ අධිකරණයන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ලබා දී තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණය යටතේ සඳහන් වන පිටුවල සහ අධිකරණ පරිච්ඡේදයේ 105 (4)

“භික්ෂූන් වහන්සේලාගේ විනය හා සම්බන්ධ කාරණා හෝ භික්ෂූන් වහන්සේලා අතර ඇති යම් ආරවුලක් හෝ විහාස්ථානවල හෝ විහාරස්ථානවලට අදාළ සේවාවන් ඉටු කිරිම හා සම්බන්ධ වෙනත් යම් ආරවුලක් හෝ විනිශ්චය කොට සමථයකට පත් කිරීම සඳහා අධිකරණ, විනිශ්චය අධිකාර හෝ ආයතන ඇති කොට පිහිටුවීමට පාර්ලිමේන්තුව විසින් නීතියෙන් විධිවිධාන සැලැස්විය හැක්කේ ය. මේ පරිච්ඡේදයේ හෝ XVI වන පරිච්ඡේදයේ හෝ පටහැනිව කවර විධිවිධානයක් තිබුණ ද ___

(අ) ජනාධිපතිවරයා විසින් හෝ ඒ නීතියෙන් විධිවිධාන සලස්වනු ලබන වෙනත් යම් තැනැත්තකු හෝ පුද්ගල මණ්ඩලයක් විසින් හෝ ඒ අධිකරණවල විනිශ්චය අධිකාරවල හෝ ආයතනවල සාමාජිකයා හෝ සාමාජිකයන් පත් කිරීම, මාරු කිරීම, ඉවත් කිරීම සහ ඔවුන්ගේ විනය පාලනය සම්බන්ධයෙන් ද,

(ආ) එවැනි කාරණා හා අරවුල්, මේ ව්‍යවස්ථාවේ (1) වන අනුව්‍යවස්ථාවේ සඳහන් වෙනත් යම් ආයතනයක අධිකරණ බලයෙන් ඉවත් කිරීම සඳහා ද,

ඒ නීතියෙන් විධිවිධාන සැලැස්විය හැක්කේ ය.

මේ අනුව්‍යවස්ථාවේ “භික්ෂූන් වහන්සේ” සහ “විහාරස්ථානය” යන යෙදුම්වල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීම ආරම්භ වන අවස්ථාවේ බෞද්ධ විහාරගම් හා දේවාලගම් ආඥාපනතේ ඒ යෙදුම්වල තිබූ අර්ථය ම ඇත්තේය.“

උපුටා ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්.

දැන් ඉහතින් සඳහන් කාරණාව අනුව අධිකරණයේ විනිශ්චයාධිකාරී ආයතන පිහිටුවන තෙක් 1931 අංක 19 දරන විහාර දේවාලගම් ආඥා පනත අනුව කටයුතු කිරීම මැනවී යයි අධිකරණ පිටුවල පවා සඳහන් වී තිබෙනවා. මෙසේ සඳහන් කර ඇත්තේ වෙනත් හේතුවක් උදෙසා නොව, බෞද්ධ දර්ශනය ආරක්ෂා කිරීම සඳහායි.

ශ්‍රී ලංකාවේ භික්ෂූන් වහන්සේලාට බෞද්ධ විනය පිටකයන් අනුව සමහර අයිතිවාසිකම් අහිමි වෙනවා. ඔවුන් විශ්වවිද්‍යාල උපාධියක් ගත්තාම ඔවුන්ගේ සිවුරට උඩින් කළු ලෝගුව පළඳවන්න බෑ. විහාරස්ථානවලට යානවාහන තිබුණාට උන්වහන්සේලාට ලයිසන් ගන්න බැහැ. භික්ෂූන් වහන්සේලා නීති උපාධිය හැදෑරුවාට කළු ලෝගුවක් ඇඳගෙන අධිකරණවල පෙනී සිටින්න බෑ.

භික්ෂූන් වහන්සේලාට අනෙකුත් ආගම්වල නායකයින්ට තිබෙන නිදහස බෞද්ධ ත්‍රිපිටකය තුළ සඳහන් කාරණා අනුව අහිමි වෙනවා. ඒ කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් යටතේ ඇතැම් කරුණු භික්ෂූන් වහන්සේලාට අකැපයි.

ඒ අනුව භික්ෂූන් වහන්සේලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් සියල්ල භුක්ති විඳිය නොහැකි පුරවැසියෙකු ලෙස ඇතැම් කරුණු භුක්ති විඳිය නොහැකියි.

නීතිය සියලු දෙනාට සමාන වෙන්නේ නැහැ.

නීතිය විවිධයි. නීතිය විවිධාංගීකරණයකින් යුතුව සකස් වී තිබෙනවා. යාපනයේ ඉඩම් නීතිය ගත්තම ශ්‍රී ලංකාවේ ඉඩම් නීතිය තුළ කුමක් සඳහන් කර තිබුණද යාපනයේ ක්‍රියාත්මක වන්නේ “චේසවලයාම්” නීතිය යි. උඩරටට යනකොට දික්කසාද නීතිය වෙනස්. උඩරටට ක්‍රියාත්මක වන්නේ සාමාන්‍ය නීතියම නොවෙයි. මුස්ලිම් භක්තිකයින්ගේ විවාහ නීති සංස්කෘතීකන් වෙනස්. නීතිය සමාන වෙන්නේ නැහැ. නීතිය විවිධත්වයෙන් සකස් කර තිබෙන්නේ ඇතැම් අවස්ථාවල ඒ ඒ ආගම් සහ සංස්කෘතීන්ට පළමු තැන දීලයි. සංස්කෘතීන් නැති කරන්න කාටවත් බැහැ.

කතෝලික ප්‍රජාවේත් සමාව දීමේ ක්‍රමය වෙනම හඳුන්වා දී තිබෙනවා. ඉරිදාට පල්ලියට ගිහිල්ලා පව් සමා කරගන්න පුළුවන්. විවිධ සංස්කෘතීන් අනුව නීති රීතිත් වෙනස්.

අලුතින් කිසිම නීතියක් අවශ්‍ය කරන්නේ නැහැ. බෞද්ධ දර්ශනයත්, භික්ෂුවත්, විහාරස්ථානත් ආරක්ෂා කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබාදී තිබෙන ප්‍රතිපාදනවලට ඉහළින් කිසිම චක්‍රලේඛනයක් තියෙන්න බැහැ. කිසිම චක්‍රලේඛනයක් හදන්නත් බැහැ. එහෙම හැදුවත් ඒක නීති විරෝධීයි.

ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට කළ යුතු දේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තියෙත්, අධිකරණ පිටුවලත්, විහාර දේවාලගම් පනතෙත්, බෞද්ධ දර්ශනයේ ත්‍රිපිටකයෙත් සඳහන් වෙලා තියෙනවා. මීට පිටතින් නීති නැති බව සියල්ලෝම මතක තබා ගත යුතුව තිබෙනවා.

පාලනය නොදත් පිරිස් පාලනය කරනවිට ආගම් යුද්ධ ඇතිවීමට පාර කපනවා.

සමස්ත ලෝක බෞද්ධවාසීන් කම්පනයට පත්වෙන ක්‍රියාවක් සිදු වුණා. සිවුරක් ඉවත් කරන්න, ඒ අදාළ නිකායේ මහානායක හාමුදුරුවෝ ඉන්නවා, අනුනායක හාමුදුරුවෝ ඉන්නවා, ලේඛකාධිකාරී හාමුදුරුවෝ ඉන්නවා, උන්වහන්සේලා තමා මේ සම්බන්ධ තීරණ ගන්නේ. බුදුහාමුදුරුවන්ගේ කාලයේ ඉඳන් එන විනය ක්‍රමවේදයක් තිබෙනවා. විනය පිටකය අනුව තමයි භික්ෂුත්වය තීරණය වන්නේ. ඒ අනුව ආචාරධර්ම පද්ධතියක් තිබෙනවා. සතර පාරාජිකාවලට හසු වුණොත් තමා භික්ෂුභාවය අහිමි වෙන්නේ.

එනම්,

මෛථුන ධර්ම පටිසේවනය (මෛථුනය)
අදින්නාදානය (සොරකම)
මනුස්ස විග්ගහය (මිනිස් ඝාතනය)
උත්තරීමනුස්ස ධම්මය (නොලැබූ මගපල ප්‍රකාශ කිරීම)
ඉහත කරුණු හතර කඩ කළහොත් උපසම්පදාව අහිමි වෙනවා.

උපසම්පදාව අහිමි වීම: පාරාජිකාපත්තියකට පත්වූ භික්ෂුවකට නැවත එම භික්ෂුභාවය ලබාගත නොහැකි අතර, ඔහු වහාම සංඝ සමාජයෙන් බැහැර විය යුතුය.
උපසම්පදාවේ හිස බඳු වීම: කඳින් වෙන් වූ හිසක් යළි එකතු කළ නොහැකි වන්නා සේ, පාරාජිකා වූ භික්ෂුවකගේ පැවිදි ජීවිතය එතෙකින් අවසන් වේ.
එසේ පැහැදිලිව විනය පිටකයේ සඳහන් කොට තිබියදී එයට අත ගැසීමට කිසිම ජගතෙකුට පාලනය තුළ හෝ පාලනයෙන් පිටත හෝ කිසිඳු චක්‍රලේඛනයකට නොහැකි බව සියලු රාජ්‍ය නිලධාරීන් සිතේ තබා ගත යුතුයි.

ශ්‍රී ලංකාව ලෝකෙට විහිළුවක් බවට පත් වෙලා.

ශ්‍රී ලංකාව තුළ මිනීමරු ත්‍රස්තවාදීන් වන LTTE සංවිධානයේ විශාල පිරිස්වලට සමාව දී තිබෙනවා. අවශ්‍ය නම් ලැයිස්තුව අපට මහජනතාවගේ දැනගැනීම සඳහා දෙන්න පුළුවන්.

ශ්‍රී ලංකාව තුළත් මිනී මැරීමේ චෝදනාව තිබුණු අයට, වෙනත් චෝදනා තිබුණු අයට සමාව දී තියෙනවා. සමාව කියන්නේ මහා ශ්‍රේෂ්ඨ වචනයක්. ඒක තේරුම් ගන්න බැරි සමාජයක්, ආණ්ඩුවක් බිහිවෙලා තියෙනවා නම් එය ජාතියේ අවාසනාවක්.

මේ බලය දෙන්නේ සමාජය සුවපත් කරන්න මිසක්, සමාජයේ වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, කුහකකම ඇති කරන්න නෙමෙයි. ඒකයි මම ඉස්සෙල්ලා කිව්වේ ඉස්සෙල්ලාම සමාව දෙන්නේ ගෙදර අම්මා තාත්තා කියලා. උදාහරණයක් ලෙස පියෙකු ලෙස ජෝ බයිඩන් මහතා සිය පුත් හන්ටර් බයිඩන්ට 2024 දී සම්පූර්ණ සමාව දෙනවා. අපේ රටේ වැරදිලාවත් ජනාධිපතිවරයෙක් තමන්ගේ පුතාට සමාව දුන්නා නම් පෝස්ටර් ගහලා හූ කියලා කෑ ගසයි.

පියෙකු ලෙස ජනාධිපතිවරයා හැටියට ජෝ බයිඩන් තමන්ගේ පුතාට සමාව දුන්නා.

අද වැරදිකරුවෙකු හෙට වැරදිකරුවෙකු නොවෙයි. මුළු ලෝකයේම පාලකයන් තමන්ගේ පුරවැසියන් වැරදි කළාම නිවැරදි කර සමාජගත කරනවා.

මිනිස්සු මරන්න බැහැ, මිනිසුන්ට වෙඩි තියන්න බැහැ, එල්ලුම් ගස් යවන්න බැහැ. මේ බෞද්ධ රට, ඒ නිසා තමයි හිටපු අපේ සෑම ජනාධිපතිවරයෙක්ම යටත් විජිත කාලයේ ඉඳලම සමාව දීම සිදුකර තියෙන්නේ. ලෝක ඉතිහාසයේ ඇමරිකාවේ ජනාධිපතිවරු ජෝන් එෆ්. කෙනඩි 1962 දී විශාල පිරිසකට සමාව දෙනවා. දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලා විසින් දේශපාලන සිරකරුවන් සහ ප්‍රතිවාදීන්ට 1994 දී සමාව දෙනවා. ජිමී කාටර් විසින් වියට්නාම යුද්ධ සේවයෙන් බැහැරව සිටි අයට 1977 දී සමාව දෙනවා. බරක් ඔබාමා සිරදඬුවම් ලිහිල් කර සමාව දෙනවා.

ඕනෑම වැරද්දක් කරන පුරවැසියන්ගෙන් 99.9%ක් නිවැරදි වීම ලෝකයේ වාර්තා වෙලා තියෙනවා. වර්තමාන ශ්‍රී ලංකාවේ අපේ පාලනය යන්ත්‍රයේ සිටින බොහෝ දෙනා නිවැරදි වෙලා තියෙනවා. ඒක හොඳයි. ජෝර්ජ් වොෂිංටන් විසින් විස්කි කැරලිකරුවන්ට සමාව දීම 1795 දී වාර්තා වෙනවා. ලෝකයේ වැඩියෙන්ම නඩු අහලා දීපු තීන්දු වලට වැඩියෙන්ම ලැබිලා තියෙන්නේ සමාව.

උදාහරණයක් හැටියට ශ්‍රී ලංකාවේ පෙබරවාරි 04 වෙනිදාට සමාව දෙනවා, සිංහල අවුරුද්දට සමාව දෙනවා, වෙසක් එකට, පොසොන් එකට සමාව දෙනවා. නත්තලට සමාව දෙනවා, හජ්ජි දවසට සමාව දෙනවා, හින්දු දවසට සමාව දෙනවා. සමාව කියන්නේ මහා ශ්‍රේෂ්ඨ වචනයක් බව ශ්‍රී ලංකාවේ පාලකයන් සහ පුරවැසියන් සියලු දෙනාම සිහියේ තබා ගත යුතුයි.

අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් වෙලා තියෙන්නේ කොහොමද කියලා ඉස්සෙල්ලාම හිතේ තබා ගත යුතුයි. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවසාන කරන්නේ මෙසේය.

“දේවෝ වස්සතු කාලේන – සස්ස සම්පත්ති හෝතු ච

පීතෝ භවතු ලෝකෝ ච – රාජා භවතු ධම්මිකෝ”

තේරුම:

දේවෝ වස්සතු කාලේන: නිසි කලට වැසි වසීවා!
සස්ස සම්පත්ති හෝතු ච: කෙත්වතු අස්වැන්නෙන් සාර වේවා!
පීතෝ භවතු ලෝකෝ ච: ලෝකයා (ජනතාව) සතුටට පත් වේවා!
රාජා භවතු ධම්මිකෝ: රජු (පාලකයා) ධාර්මික වේවා!
මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජන රජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා

පසුගියදා ගලගොඩඅත්තේ ඥාණසාර ස්වාමීන් වහන්සේගේ සිද්ධිය සම්බන්ධයෙන්, අනුර කුමාර දිසානායක මැතිතුමා, එතුමාට මේ සම්බන්ධයෙන් අදහස් පළ කිරීමට කැමතියි යයි හැඟෙන ත්‍රෛනිකායික භික්ෂූන් වහන්සේලා පිරිසක් කැඳවලා කරුණු කීපයක් ප්‍රසිද්ධියට පත් කළා.

ඒ පළවෙනි කරුණ තමයි, පවතින නීතියට පටහැනිව තමන් කිසිවක් නොකරන බව. පවතින නීතියේ තත්ත්වය, පවතින ව්‍යවස්ථාවේ තත්ත්වය, නම වැනි වගන්තිය පිළිබඳව, 16 වැනි වගන්තිය පිළිබඳව, ඒ වගේම සිරගෙවල්වල සිරකරුවන්ගේ රීති පිළිබඳව එතුමා ප්‍රකාශයක් කළා.

ඒ වගේම අතීත පූර්වාදර්ශයන් පිළිබඳව, උඩකැන්දවල සරණංකර හිමිගේ සිට හේනපිටගෙදර ඥාණසීය හිමිගේ සිට, ගලගොඩඅත්තේ ඤානසාර හිමි දක්වා පවතින සම්ප්‍රදායන් පිළිබඳව මේ රටේ අපි සියලු දෙනාම දන්නවා. ඒ නිසා මේ නීතියට අනුකූලවයි මම ක්‍රියා කරන්නේ කියන කාරණය එතුමා ප්‍රකාශ කළා. නමුත් ඒ කාරණය වැරදියි. එතුමා නීතියට අනුකූලව නොවෙයි ක්‍රියාත්මක වෙන්නේ.

එදෙවනුව, එතුමා කිව්වා මට මේ පිළිබඳව නව නීති හදන්න, මේ පුද්ගලයින් ඉලක්ක කරගත් නව නීති මම හදන්න යන්නේ නෑ කියලා. අපි කවුරුත් දන්නවා, 22 වැනි සංශෝධනය ඇතුළු බොහෝ දෑ එතුමා මේ පසුගිය කාලවකවානුවේ, වැඩිය ඕනෑ නෑ අර අල්ලස් දූෂණ පනතට සංශෝධන ගෙනාවේම පුද්ගලයින් ඉලක්ක කරගෙන. එක පැත්තකින් තමන්ට හිතෛශිවන්ති විමර්ශන නිලධාරීන්ට හිතුමතේ වැඩ කරන්න බලය ලබා දෙන්න, අනික් පැත්තෙන් තමන්ගේ පුද්ගලයින්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ හෙළිදරව් වෙන්න එක වළක්වන්න. ඒ වගේම නව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගිනුත් එතුමා කරන්න බලාපොරොත්තු වෙන්නේ එම දේමයි. ඒ නිසා අපට ඉතාමත්ම පැහැදිලියි, එතුමා ඔය කියන කතා වලට අනුකූලව රට පාලනය කරන ජනාධිපති කෙනෙක් නොවන බව.

ඒ වගේම එතුමා කිව්වා එතුමාටත් මහා ප්‍රකම්පනයක් ඇති වුණා, එතුමාගේ දැන් මැති ඇමතිවරුත් ඒක කියනවා, මේ භික්ෂූන් වහන්සේ නමක් ගිහි ඇඳුමින් සැරසිලා, මාංචු දාලා, පාර දිගේ ඇවිද්දගෙන යන දර්ශනය දැක්කාම එතුමාටත් ප්‍රකම්පනයක් ඇති වුණා, බෞද්ධයින්ටත් ප්‍රකම්පනයක් ඇති වෙලා තියෙන බව එතුමාට හැඟී යන බව. ඒ කියන්නේ එතුමන්ලා මේ රටේ සංස්කෘතියට එතරම්ම ගෞරවයක් තියෙන පිරිසක් බව තමයි එතුමාගේ ඇඟවීම වුණේ.

ජනප්‍රිය පුවත්  නාමල්ට එරෙහි සාක්ෂි ගැන සැකයි.. – සාගර කියයි

මම එතුමාට මතක් කරන්න කැමතියි, අනුර කුමාර දිසානායක මැතිතුමා, ටිල්වින් සිල්වා මැතිතුමා, විජිත හේරත් මැතිතුමා, ඒ වගේම එතුමාගේ පක්ෂයේ තවත් විශාල පිරිසක් 87, 89 කැරැල්ලට සම්බන්ධ වෙලා අනීතිකව කටයුතු කළා සහ කටයුතු කළ බව ඔවුන්ම පිළිගන්නවා. එතකොට නීතියට පටහැනිව ක්‍රියා කළ ඒ අයට දේශපාලනයට එන්න කවුද ඉඩකඩ සකස් කරලා දුන්නේ?

හිටපු ජනාධිපති ඩී. බී. විජේතුංග. එතුමාට මම මතක් කරනවා, ආර්ය බුලේගොඩ මහත්තයාත් එක්ක ගිහිල්ලා මේ රටේ සුප්‍රකට ව්‍යාපාරිකයෙක් එක්ක හම්බවෙලා, චන්ද්‍රිකා මැතිණියගේ වමේ ඡන්ද කඩන්න අපට අවස්ථාව දෙන්න කියලා, ඔවුන් මංකොල්ල කෑමෙන් සොයාගත් ධනය ඇතුළු සියලු දෑ මල් පෝච්චියෙන් ඡන්ද ඉල්ලන ජනතා විමුක්ති පෙරමුණට ලබා ගන්න අනීතිකව කටයුතු කරපු ආකාරය. ඒ නිසා ඒ කැරැල්ලට සම්බන්ධ වූ අනුර කුමාර දිසානායක මහත්මයා ඇතුළු බොහෝ දෙනෙක් අද සිටිය යුත්තේ සිරගෙදර. ඔවුන්ව සිරගෙදරින් ගලවගෙන එතැනට පැමිණියේ ජනාධිපතිවරයෙක්, ඔවුන්ට නීතිය නමලා වැඩ කටයුතු කරන්න ඉඩ දීපු නිසයි. ඒ නිසා අනෙක් අයට ඇපපිට, සැකපිට කතා මමින් ඉදිරියට පවත්වන්නේ එපා ජනාධිපතිතුමනි, ඔබතුමන්ලා අතීතයේ කළ දෑ පිළිබඳව මීට වඩා විධිමත් හා වැදගත් විදිහේ හෙළිදරව් වීම් ඉදිරියේදී වෙයි. ඒ සඳහා ඔබතුමා පාර විවෘත කර දීම ගැන මම ස්තුතිවන්ත වෙනවා.

ඒ වගේම එතුමාගේ තියෙනවා ද්විත්ව රංගනයක්. ඩබල් පොකට් වගේම එතුමාගේ ඩබල් ඇක්ටින් පාරක් තියෙනවා. ඒ කියන්නේ ඉදිරියේදී මම බොහෝම උසස් සංස්කෘතියක් තියෙන කෙනෙක්, මම බොහෝම සීලාචාර කෙනෙක්, මගේ අවංකභාවය, මා විශ්වාස කරන්න වගේ ලස්සන, සුන්දර, වදන් අර FM නාලිකාවක ඉන්න තරුණ නිවේදකයෙක් වගේ එතුමා භික්ෂූන් වහන්සේ ඉදිරියේ, නීතිඥයින් ඉදිරියේ, වෛද්‍යවරුන් ඉදිරියේ, රටේ ජනතාව ඉදිරියේ ප්‍රකාශ කරනවා.

ඒ අතරතුරේ ජනාධිපති කාර්යාලයෙන් ගල්අඟුරු වංචාවෙන් හොයාගන්නා ලද ධනය පාවිච්චි කරලා, ඩීසල් වංචාවෙන් හොයාගන්නා ලද ධනය පාවිච්චි කරලා, ඒ වගේම භාණ්ඩාගාරයෙන් අතුරුදහන් වූ සල්ලි භාවිතා කරලා, ඒ වගේම අර කන්ටේනර් 323ට වෙච්ච දෙයක් නැහැ, ඒ ධනය පාවිච්චි කරලා, ඉතාම අසීලාචාර, ත්‍රාඩ, පාදඩ ආකාරයේ මාධ්‍ය ප්‍රචාරණයක් දියත් වෙනවා.

දැන් මේ ඤානසාර හිමිකගේ කතාව බලන්නකෝ, උන්වහන්සේට දඬුවම් නියම කළා පමණයි, මාධ්‍ය ඉදිරියට ඇවිද වෙලා බන්ධනාගාර නිලධාරී අපි කවුරුවත් ඇහුවේ නැහැ, ඥාණසාර හිමි මොකක්ද ඇඳලා ඉන්න ඇඳුම කියලා. ජම්පරය ඇන්දා කියලා බොහොම උජාරුවෙන් කිව්වා, අපි කවුරුවත් අහන්නේ නැතුව.

ඊළඟට උන්වහන්සේට ගිහි ඇඳුම් අන්දලා පාරේ ඇවිද්දගෙන ආවා මාංචු දාලා. ඒක තමයි එතුමාගේ අර අනෙක් චරිතය. ඊටපස්සේ අපිට පේනවා ඔහුගෙන් නඩත්තු වෙන, ආණ්ඩුවේ දැන්වීම් වලින් නඩත්තු වෙන ඇතැම් නාලිකා, ඇතැම් යූටියුබ් කරුවන්, ඇතැම් ප්‍රකාශකයින් ඉතාම අශීලාචාර සහ ත්‍රාඩ ආකාරයේ ප්‍රහාරයක් දියත් කරලා තිබෙනවා.

මොකක්ද කියන්නේ, පාතාල භික්ෂූන්ලු, මේ භික්ෂුව අරහෙමලු, මෙහෙමලු, මත්කුඩු ජාවාරමේ හිටියලු, ස්ත්‍රී දූෂණයේ හිටියලු, ළමා අපචාරයේ හිටියලු, භික්ෂූන් පැහැදිලිවම නිශ්චිතව ඉලක්ක කරලා, විශේෂයෙන්ම ඔය පාගමනෙන් එන භික්ෂූන් වහන්සේ ඉලක්ක කරලා කියනවා.

V8 සංඝයලා, ලොකු වාහන වල යන සංඝයලා, ඔය V8 කතාව 2024 සැප්තැම්බර් 21 ට කලින් බොහොම ජනප්‍රිය කතාවක්, පස්ස තියාගෙන යන ලක්ෂ 700 වාහන. දැන් ජනාධිපතිතුමා පස්ස තියාගෙන යන වාහනට වඩා ගොඩක් ගණන්. මම එදත් කිව්වා මෙතැන එතුමාගේ පක්ෂ කාඩර් වලට පස්ස තියාගෙන යන ලක්ෂ 250 වාහන 1000 ක් ගෙන්වන්න, දැන් එතුමා කටයුතු කරගෙන යනවා ඒක වෙනම කතාවක්, අද එතුමාලා පස්ස තියාගෙන යන හෙලිකොප්ටර්, එතුමාලා පස්ස තියාගෙන යන BMW, එතුමාලා පස්ස තියාගෙන යන මර්සිඩීස් බෙන්ස් ඒවා එහෙමයි, දැන් මේ භික්ෂුවටත් පටන් අරන් මේ V8 භික්ෂුව කියලා.

ඊළඟට ලොකුම කතාව සංඝ තගාලාව අපි වට්ටනවා, මට අඳුරන හිතවත් වෛද්‍යවරයෙක් කිව්වා ජනතා විමුක්තිපෙරමුණේ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයෙක් කතා කරලා කිව්වා කියලා, යහපාලනය යට වුණා වගේ සංඝ තගාලාවට අපි යට වෙන්නේ නෑ, GMO දන ගැස්සුවා, BSL එක දන ගැස්සුවා වගේ මේකත් අපි දනගස්සනවා කියලා, සංඝ තගාලාව දනගස්සනවා කියලා.

මේ තමයි එතුමාගේ මාධ්‍ය හා අනිකුත් අය යටින් හිමින් යන වැඩේ. ඊළඟට අනෙක් එක තමයි දේශපාලන භික්ෂුව, භික්ෂුව මේ දානමාන කරගෙන, පාන්සකූල දාන ටික දාලා, පන්සල් වල ඉන්නේ නැතුව මේ දේශපාලනය කරනවා කියලා මේ දේශපාලන භික්ෂුව කියලා, එතුමන්ලා කතා පවත්වනවා.

මම කැමතියි එතුමා කවුද කියලා කියන්න, මේ තියෙන්නේ එතුමන්ලාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය, 1994 ඒ අය දේශපාලනයට ආවට පස්සේ, ජනාධිපතිවරණය මහා මැතිවරණය 94 කළා, 99 ජනාධිපතිවරණය කළා, 2000 මහා මැතිවරණය කළා, පක්ෂයේ මහා සමුළුව කැඳවලා මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය එතුමාලා අනුමත කළා, අද වෙනකන් ජනතා විමුක්ති පෙරමුණේ මහා සමුළුවක මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය නොවෙයි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අපේ අලුත් ප්‍රතිපත්ති ප්‍රකාශනය මොකද්ද කියලා එතුමාලා කියලා නෑ, ඒ වගේම මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉතාමත්ම වැදගත් විදිහට කියනවා ජනතා විමුක්ති පෙරමුණ විවිධ ආණ්ඩුවලට එකතු වුණත්, විවිධ මැතිවරණ ප්‍රකාශන එකතු වුණත්, ඒවා කිසිසේත්ම මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පිට යන ඒවා නම් නොවෙයි කියලා.

මෙන්න මෙහෙම කියනවා, එම මැතිවරණ ප්‍රකාශනයට පටහැනි වන කිසිදු පියවරක් ක්‍රියාත්මක කරන්නට ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවකට නොහැකියි, ජනතා විමුක්ති පෙරමුණේ එසේ නොකරන බවටද සහතික වේ, අනෙක් පක්ෂවලට තිබුණේ මැතිවරණ ප්‍රකාශ, අපට තියෙනවා ලෙයින්, කඳුලින්, දහඩියෙන් ගොඩනගපු ප්‍රතිපත්ති ප්‍රකාශනයක් කියලා කියනවා, මේකෙ මොකක්ද ආගම ගැන කියන්නේ? රාජ්‍යයේ ලෞකික ස්වභාවය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරනවා කියලා. රාජ්‍යයේ ලෞකික ස්වභාවය කියන්නේ මොකක්ද? නිරාගමික රාජ්‍යයක්, නිරාගමික රාජ්‍යයක් හදනවා, ඒක තමයි 39 වෙනි වගන්තියේ තියෙන්නේ, ඊළඟට 39.2 තියෙන්නේ රාජ්‍යයේ හා රටේ දේශපාලන ජීවිතයේ කටයුතු වලට ආගමික ආයතනයන්ගේ මැදිහත් වීම තහනම් කරනු ඇත. මම කැමතියි ඒ කියන්නේ ඔය අනෙක් ආගමික කණ්ඩායම් වලටත් ඔබේ වාරයත් ළඟදිම එනවා, ඔබේ වාරයත් මේ භික්ෂු සංස්ථාවට අත තිබ්බට පස්සේ පූජක ක්ෂේත්‍ර වලටත් මේ අත තියන්න, මවුලවි ක්ෂේත්‍ර වලටත්, කෝවිල් භාරකරුවන්ටත් අත තියන්න එනවා, ඒක පැහැදිලි ඒක මතක තියාගන්න.

අපි බොහොම ආඩම්බරයෙන් කියනවා මේ රටේ බ්‍රිතාන්‍යයන් මේ රට යටත් කරගත්තට පස්සේ, ඔය කියන දේශපාලන පක්ෂ නොවෙයි ජාතික අරගලයේ නියැලුනේ, ජාතික නිදහස් සටනේ නියැලුනේ මේ රටේ බෞද්ධ භික්ෂුව, භික්ෂුවගේ උරුමය ඒකයි. ඒ වගේම භික්ෂුව තමයි, බෞද්ධ හඬ තමයි අනගාරික ධර්මපාලතුමාගෙන් නැගිලා, ඒක අධිරාජ්‍ය විරෝධී අරගලයක් වුණේ, ඒ වගේම භික්ෂුව තමයි මේ රටේ නිදහස් අධ්‍යාපනය ඕන කියලා නිදහස් අධ්‍යාපන පනත හදන්න කන්නන්ගර මහත්තයා පිටුපස සිටි මහා බලවේගය. භික්ෂුව තමයි 1952 නිදහස් සෞඛ්‍ය සේවය ගෙන එන්න ඒ ආණ්ඩුවට බලපැම් කරන්න හිටපු ප්‍රධානම බලවේගය. පාසල් ජනසතු කරලා ඒකීය පාසල් ක්‍රමයක් ඇති කරන්න හිටපු බලවේගය. භාෂා අයිතිය දිනාදෙන්න මේ රටේ ස්වදේශික ජනතාවට මුහුණ දීපු බලවේගය. ඒ භික්ෂුවට දේශපාලන භික්ෂුව කිව්වම ඒකට පැහැදිලි උත්තරයක් වල්පොල රාහුල හාමුදුරුවෝ දුන්නා විද්‍යාලංකාර ප්‍රකාශනයෙන්.

ඒ දේශපාලන භික්ෂු කතාවට. ඒවා ගැන අපි අතීතය කියමුකෝ, කවුද මේගොල්ලෝ? මතක තියාගන්න, මේ රටේ අපිත් පිළිගන්නවා දසසිල්වලට පටහැනිව ජීවත් වන පුද්ගලික භික්ෂූන් වහන්සේලා ඉන්නවා.

ඒ අයට නීතිය ක්‍රියාත්මක කිරීම ගැන භික්ෂු නීතිය ක්‍රියාත්මක කිරීම ගැනත්, රටේ නීතිය ක්‍රියාත්මක කිරීම ගැනත් අපේ කිසිම වරදක් නෑ. කවුරුහරි ආයුධ දරලා තියෙනවා නම්, කවුරුහරි ස්ත්‍රී දූෂණ කරලා තියෙනවා නම්, කවුරුහරි සොරුකම් කරලා තියෙනවා නම්, කවුරුහරි පාතාල වැඩ කරලා තියෙනවා නම්, කවුරුහරි ගල්අඟුරු වංචාවේ සල්ලි අරන් ගිහින් පක්ෂ කාර්යාලවලට දීලා තියෙනවා නම්, ඒවාට නීතිය ක්‍රියාත්මක කිරීමේ කිසිම වරදක් නෑ සිවුර ඇඳගෙන හිටියට.

අපි ඒකට එකඟයි, බුද්ධ නීතියත් ඒකයි. විනය පිටකයේ බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ, රාජනීතියට යටත්ය. ඒකෙ කිසිම ප්‍රශ්නයක් අපිට නැහැ. නමුත් මේ පාතාල භික්ෂුව කියන්නේ කවුද? කවුද මේ රටේ පාතාල භික්ෂු සංවිධානයක් හැදුවේ? මේ රටේ පාතාල භික්ෂු සංවිධානයක් හදපු පළවෙනි දේශපාලන පක්ෂය අනුර කුමාර දිසානායකගේ ජනතා විමුක්ති පෙරමුණ. මතක තියාගන්න, මොකක්ද ඒ භික්ෂු සංවිධානය? කුඩාපොල රාහුල බලකාය. මොකක්ද ඒ කුඩාපොල රාහුල බලකාය? කලවල්ලාගොඩ චන්ද්‍රාලෝක හාමුදුරුවෝ ඔය භික්ෂු අයිතිය කතා කරන ගමන් කුඩාපොල රාහුල බලකාය ගැනත් මේ රට දැනුවත් කරනවා නම් බොහොම හොඳයි. මොකකටද ඒක හැදුවේ? අන් භික්ෂූන් වහන්සේ ඝාතනය කරන්න. තුවක්කු අරගෙන අඳන කඩය අස්සේ ගහගෙන සිවුරට මුවාවෙලා ගිහිල්ලා භික්ෂූන් ඝාතනය කරන්න. 41 නමක් 87, 89 ඝාතනය කළා. මතක තියාගන්න, සමහර භික්ෂූන් වහන්සේලාට ඇඳිරි නීතිය පනවපු වෙලාවේ දහම් පාසල් කැඳෙව්වායි කියලා වෙඩි තැබුවා. සමහර භික්ෂූන් වහන්සේලාට ප්‍රේමදාස මහත්තයාගේ ගම් උදාවට ගියා කියලා වෙඩි තැබුවා. සමහර භික්ෂූන් වහන්සේලා ගුරු වෘත්තියේ නියැලුනාය කියලා වෙඩි තැබුවා. 41 නමක් ඝාතනය කළා. ඒ විතරක් නොවෙයි, මේගොල්ලන්ගේ මේ අමනෝඥ දේශපාලනයට එකතු වෙලා භික්ෂූත්වය පාවාදීලා ගිහිල්ලා 681 කට, එක් නමකට ජීවිත අහිමි වුණා.

තුන් නමක් ඝාතනය කළේ පිදුරුතලාගල ඒ රූපවාහිනී සේවාවේ කුළුණ කපන්න ගිහිල්ලා සිවුරු ඇඳගෙන. මාදුළුවාවේ සෝභිත හිමි ඝාතනය කරන්න උන්වහන්සේගේම ගෝල නමක් තුවක්කු අරගෙන එනකොට අහුවෙලා වැඩි කාල මලා. මේ විදිහට තමයි භික්ෂු සංස්ථාවට කළේ. භික්ෂුන් 41 මරලා 681 දෙනෙකුට මියයන්න සළස්වපු පක්ෂයක්. පාතාලා භික්ෂු කතාවක් කතා කරන එක මොනතරම් විහිලුවක්ද ? මේ රටේ සංවිධානාත්මක අපරාධකාමී භික්ෂු සංස්ථාවක් බිහි කළා නම් ඒ ජනතා විමුක්ති පෙරමුණයි.

අනුර කුමාර දිසානායක මේවාට උත්තර දිය යුතුයි. ටිල්වින් සිල්වා මේවාට උත්තර දිය යුතුයි. ඒ නිසා මේ සාකච්ඡාවේදී අපිටත් රටේ බෞද්ධ ජනතාවටත්, මේ අයගේ මේ බොරු චරිත ශෝධනය, මේ අයගේ ව්‍යාජ සිලවත්කම සහ මේ අයගේ සංස්කෘතිය දැන් ප්‍රශ්න කරන්න කාලය ඇවිල්ලා.

මේ මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් එහි උපසභාපති සුරේන් රාඝවන්, නව ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් එහි භාණ්ඩාගාරික ශිරාස් යුනුස් යන මහත්වරුද අදහස් දැක්වූහ.

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය

2026 ඔක්තෝබර් 12

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x