October 11, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

එල්-නිනෝ ලංකාවට කරන විනාශයේ තරම මෙන්න !

1 min read

එල්-නිනෝ (El Nino) දේශගුණික තත්ත්වය හේතුකොටගෙන ඔක්තෝබර් හා දෙසැම්බර් අතර කාලවල මහවැසි සහ අධික ගංවතුර ඇතිවීම හේතුකොටගෙන දේශීය ආහාර නිෂ්පාදනයට මෙන්ම සමස්ත ආර්ථිකයටම දැඩි, පියවිය නොහැකි අන්දමේ සෘණාත්මක බලපෑමක් එල්ල කරනු ඇති බව පාරිසර හා සමාජ විද්‍යාඥයින්ගේ මතය වී තිබේ.

ඔක්තෝබර් මස සිට දෙසැම්බර් දක්වා ඇති වනු ඇති අධික ලෙස වැසි ලැබීම සහ වගාබිම් ජලයෙන් යටවීම හේතුකොටගෙන මහ කන්නයේ වී නිෂ්පාදනය සහ මුලින්ම බිඳවැටිය හැකිය. ඒ, බීජ කුණුවීම සහ වගා ප්‍රමාදවීම හේතුකොටගෙන වී පමණක් නොව ධාන්‍ය බෝග, එළවළු සහ පොල් වැනි අත්‍යාවශ්‍ය බෝග වගාවන් යන සියල්ල ගංවතුරට ලක්වීමෙන් අස්වැන්න මහා පරිමාණයෙන් පහත වැටෙනු ඇතැයි ඔවුහු අවධාරණය කරති.

එමෙන්ම, ගංවතුර නිසා කිරි ගවයන් ඇතුළු සතුන්ගේ ආහාර සහ සෞඛ්‍යයට ද ගැටළු මතුවන අතර, සාගර උෂ්ණත්වය වෙනස්වීම හේතුකොටගෙන ධීවර අස්වැන්න 10% – 15% කින් පමණ පහත වැටෙනු ඇතැයි එම විශේෂඥයෝ අනතුරු හඟවති.

දේශීය කෘෂි නිෂ්පාදන හිඟවීම නිසා වෙළඳපොලේ ආහාර මිල ගණන් මෙතෙක් නොවිඳි අන්දමේ ඉහළ යාමකට ලක්වනු ඇත. එය මෙරට ජනතාවගේ ජීවන වියදම ඉහළ යාමට ඍජු ලෙසම ඉවහල් වේ.

ජනප්‍රිය පුවත්  සුරා බදු කොමසාරිස් ජනරාල්ට ලයන් බෘවරි වෙතින් සුපිරි වාහන පගාවක් ! ජනාධිපතිගේ ගජ මිතුරා පුනරු‍දයෙන් හැදෙන හැටි !

එමෙන්ම, බත් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟය පියවීමට සහල් සහ වෙනත් ද්‍රව්‍ය විදේශයන්ගෙන් ආනයනය කිරීමට සිදුවීම නිසා රට සතු සීමිත විදේශ විනිමය (ඩොලර්) ඒ සඳහා වැය කිරීමට සිදුවීමෙන් විදේශ විනිමය පීඩනයකට ද මෙරට ගොදුරු වනු ඇතැයි එම විශේෂඥයෝ අවධාරණය කරති.

ගංවතුර නිසා සිදුවන යටිතල පහසුකම් (මාර්ග, පාලම් ආදිය) හානි ප්‍රතිසංස්කරණයට රජයට අමතර පිරිවැයක් දැරීමට සිදු වනු ඇති අතර, කෘෂිකර්මාන්තය මත මෙරට ශ්‍රම බලකායෙන් 24% – 25% ක් පමණ යැපෙන බැවින්, මෙම ක්ෂේත්‍රයේ බිඳවැටීම ජාතික දේශීය නිෂ්පාදිතයේ (GDP) වර්ධන වේගය අඩාල කිරීමට හේතු වනු ඇත.

එමෙන්ම, එල්-නිනෝ දේශගුණික රටාව මෙරට විදුලි උත්පාදනයට සහ සමස්ත බලශක්ති ක්ෂේත්‍රයට සෘජු හා දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි වීම විශේෂඥයෝ අනතුරු හඟවති. සාමාන්‍යයෙන් එල්-නිනෝ තත්ත්වයක් සමග ඇතිවන අධික වර්ෂාපතනයෙන් පසු, ඊළඟ වසරේ මුල් භාගයේ දී (විශේෂයෙන්, ජනවාරි සිට අප්‍රේල් දක්වා) දැඩි වියලි කාලගුණයක් සහ නියගයක් නිර්මාණය වේ. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඒ පිළිබඳව සිදුකර ඇති පුරෝකථනයන් දැනටම ප්‍රසිද්ධියට පත් කර තිබේ.

ඒ අනුව, මෙම එල්-නිනෝ බලපෑම හේතුවෙන් 2027 වසරේ මුල් කාර්තුව වන විට ජලාශවල ජල මට්ටම සීග්‍රයෙන් පහළ වැටෙනු ඇති අතර, එමඟින් ජල විදුලි උත්පාදනය මහා පරිමාණයෙන් අඩු කිරීමට සිදුවනු ඇත. බලශක්ති අමාත්‍යාංශයේ තක්සේරුකිරීම් වලට අනුව, එල්-නිනෝ බලපෑම නිසා ජාතික පද්ධතියට ලැබෙන විදුලි ප්‍රමාණය ගිගාවොට් පැය 127 කින් (127 Gwh) පමණ අඩු විය හැකි යැයි පැවසේ.

ජනප්‍රිය පුවත්  දළදා හාමුදුරුවන්ගේ ඉපැරණි කරඩුව අතුරුදන් ! බෞද්ධයිනි අවදිවව් !!

මීට සමගාමීව, පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක 35 ඉක්මවායමින් රට පුරා දැඩි උණුසුම් කාලගුණයක් නිර්මාණය වීම මත, නිවාස සහ කාර්යාල තුළ වායුසමීකරණ සහ විදුලි පංකා භාවිතය ඉහළ යන බැවින්, ජාතික විදුලි ඉල්ලුම ඉතා ඉහළ මට්ටමකට පත්වනු ඇත. එම තත්ත්වය තුළ ගල් අගුරු සහ ඩීසල් වැනි වියදම් අධික තාප විදුලි බලාගාර උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක කිරීමට රජයට සිදු වේ. එය ලංකා විදුලි බල මණ්ඩලයට දැඩි මූල්‍ය පීඩනයකට ගොදුරු කිරීමට හේතුවනු ඇතැයි පැවසේ. මේ හේතුව මත, ඉල්ලුම අධික ලෙස ඉහළ යාමට සාපේක්ෂව පද්ධතියේ ජනන ධාරිතාව මදි වුවහොත්, විදුලි සැපයුම සීමා කිරීමට හෝ සැලසුම්ගත විදුලි කප්පාදු සිදු කිරීමට සිදුවන බවට මහජන උපයෝගිතා කොමිෂන් සභාව දැනටම අනතුරු අගවා තිබේ.

මෙම එල්-නිනෝ තත්ත්වය නිසා දිගුකාලීනව උෂ්ණත්වය ඉහළයාම සහ පසෙහි තෙතමනය අඩුවීම මත, සති කිහිපයක් ඇතුළත පහතරට තේ අස්වැන්න කැපී පෙනෙන ලෙස පහත වැටෙනු ඇතැයි පැවසේ. රාත්‍රී කාලයේ උෂ්ණත්වය ක්‍රමයෙන් ඉහළ යාම සහ මෝසම් වැසි රටා වෙනස්වීම නිසා උඩරට තේ වගාවන් හි ද දැළු ලෑමේ වේගය අඩාල වනු ඇතැයි විශේෂඥයෝ පෙන්වා දෙති. වියලි කාලගුණය දිගු වුවහොත් පසෙහි තෙතමනය සඳහා වල් පැලෑටි සහ තේ පැල අතර තරඟයක් නිර්මාණය වන අතර, තරුණ තේ පැල වේලී විනාශ වීමේ අවධානමක් ද එමගින් ඇති කෙරේ. මීට පෙර පැමිණි ප්‍රබල එල්-නිනෝ වසර වලදී (1983 සහ 1992 වැනි) මෙරට තේ වතු ක්ෂේත්‍රයට දරුණු නියඟ හානි සිදුව තිබේ.

ජනප්‍රිය පුවත්  විපක්‍ෂ නායක සිටී...! ස.ජ.බ. නිවේදනය කරයි !

මීට අමතරව, ගම්මිරිස් සහ කරදමුංගු වැනි වගාවන් මෙන්ම කුරුඳු වැනි නිෂ්පාදන ද මෙම හේතුව මත බිඳ වැටීමේ ඉහළ අවධානමක් තිබේ. එමගින් මෙරට ආපනයන ආදායම ඩොලර් මිලියන ගණනින් පහත වැටීම මෙන්ම, වෙළඳපොළ කොටස් අහිමිවීමට ද සිදුවනු ඇතැයි විෂය ප්‍රවීණයෝ අනතුරු හඟවති.

  • ප්‍රභාත් සමරතුංග
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x