මාලිමාවේ පාර්ලිමේන්තු අපේක්ෂකයෙක් සමාව ඉල්ලා ඉවත් වෙයි !
1 min read
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කය වෙනුවෙන් තරඟ කළ ජ්‍යෙෂ්ඨ වැවිලි විධායක නිලධාරියකු වූ රවීන්ද්‍ර කුමාර සේනාරත්න අද (10) සිය මුහුණු පොතේ සටහනක් තබා ශ්‍රී ලාංකිකයන් වෙතින් සමාව ඉල්ලා තිබේ.
ඔහු පසුගිය මැතිවරණ සමයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතුකරයේ වෙසෙන ජනතාව අතරට යන දෙමළ ප්‍රචාරණ ගීතයක් සහිත වීඩියෝ පටය සමඟ ඉංග්‍රිසියෙන් සටහන් තබා ඇත්තේ, “They used us for get power, requesting forgiveness for this crime from Sri Lanka” (“ඔවුන් බලය ලබා ගැනීම සඳහා අපව යොදා ගත්හ, මෙම අපරාධය සම්බන්ධයෙන් සියලු ශ්‍රී ලාංකිකයන් වෙතින් සමාව අයැද සිටමි”) යනුවෙනි.
රවීන්ද්‍ර කුමාර සේනාරත්න එක්සත් රාජධානියේ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙකි. ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ නුවරඑළිය දිස්ත්‍රික් කලාපයේ සභාපති ධූරය මෙන්ම කඳුරට කලාපයේ සභාපති ධූරය ද ඔහු විසින් දරා තිබේ. එමෙන්ම, දකුණු ආසියානු කරාතේදෝ සංගමයේ විනිසුරු හා උපදේශකවරයකු ලෙස ද ඔහු කටයුතු කරයි.
ඔහු ජාතික ජන බලවේගය හරහා පසුගිය පාර්ලිමේන්තු මහා මැතිවරණයට ඉදිරිපත්ව ඇත්තේ නුවරඑළිය – මස්කෙලිය ආසනය නියෝජනය කරමිණි.
ජනාධිපතිවරණයෙන් පසුව පැවැති මෙම මහා මැතිවරණයට තරඟ කළද, සෑම දිස්ත්‍රික්කයකම ජ.වි.පෙ. ප්‍රධානින් විසින් දිසාපතිවරයා වෙත තම පක්‍ෂයෙන් (මාලිමාවෙන්) ජයග්‍රහණය කළ යුතු අපේක්ෂකයන්ගේ අනුපිළිවෙල දැක්වෙන ලයිස්තුවක් ලබාදී තිබේ.
මේ බව දැනගත්, පසුගිය මහා මැතිවරණයට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් “මාලිමාව” අංක 09 යටතේ තරඟ වැදුණු නොයෙල් ජෙනස්ටර් විසින් සිය මනාප වල නැවත ගණන් කිරීමක් ඉල්ලා සිටින බව තමා අසල සිටි අයට ඇසෙන ලෙස පවසා ඇත. එහිදී, ඒ වන විට ජ.වි.පෙ. නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් සරත් නැමැත්තා පවසා ඇත්තේ, මනාපවල නැවත ගණන්කිරීමක් ඉල්ලා සිටින්නේනම් ඊට පෙර ජාතික ජන බලවේගයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ලබාදිය යුතු බවය. ඒ අනුව, නොයෙල් ජෙනස්ටර් විසින් මනාප සඳහා නැවත ගණනය කිරීමක් ඉල්ලා සිටීමෙන් වැලකී තිබේ.
එම මැතිවරණයට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අංක 09 යටතේ ඉදිරිපත් වූ රවීන්ද්‍ර කුමාර සේනාරත්න තම මුහුණුපොතේ තබා ඇති ඉහත සටහන සමඟ එම දිස්ත්‍රික්කය තුළ මාලිමා ඉහලපෙළේ සහ හිතවාදින්ගේ බලවත් දෙදරීමක් හටගෙන ඇතැයි අපගේ ආරංචි මාර්ග පවසයි.
- කපිල ජීවන් මුදලිගේ



