රේණුක පෙරේරා මගේ මාමණ්ඩි නොවේ.. ගවයන් සේ හැසිරෙන්න එපා..- ලසිත් මාලිංග
1 min read
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් ධාවන බලපත්‍ර නිකුත් කිරීමේදී සිදුවූ බව කියන දූෂණ චෝදනාවක් මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපති රේණුක පෙරේරා මහතා සිය මාමණ්ඩිය බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තා අසත්‍ය බව හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග අවධාරණය කරයි.
රේණුක පෙරේරා මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමත් සමඟ, ඔහු ලසිත් මාලිංගගේ බිරිඳගේ පියා බවට සමාජ මාධ්‍ය ජාලාවල දැඩි කතාබහක් නිර්මාණය විය.
ඊට සිය නිල ෆේස්බුක් ගිණුම හරහා ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රතිචාර දැක්වූ ලසිත් මාලිංග සඳහන් කර ඇත්තේ, රේණුක පෙරේරා මහතාට සිටින්නේ පිරිමි දරුවන් දෙදෙනෙකු පමණක් බවයි.
තම නම අදාළ සිදුවීමට ඈඳාගනිමින් කටයුතු කරන පිරිස් විවේචනය කරමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, තම මාමණ්ඩිය මේ වන විට ඇමෙරිකා එක්සත් ජනපදයේ ජීවත් වන බවත්, අසත්‍ය කරුණු පදනම් කරගනිමින් මෙවැනි ප්‍රචාර සිදුකිරීමෙන් වළකින ලෙසත්ය.

