බන්ධනාගාරයෙන් පිටතට ගෙන යන විට සිරගත කෙරුණු භික්ෂූන්ට සිවුර අඳින්න ඉඩ දෙන්න – යුරෝපයේ ශ්‍රී ලාංකික භික්ෂු සංගමය
1 min read
බන්ධනාගාරගතව සිටින භික්ෂූන් වහන්සේලා යම් කටයුත්තක් සඳහා බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යන අවස්ථාවලදී ගිහි ඇඳුම් වෙනුවට උන්වහන්සේලාගේ ශාසනික නිල ඇඳුම වන සිවුර පොරවාගෙන යාමට නීතිමය ඉඩක් සලසා දෙන ලෙස ඉල්ලමින් යුරෝපයේ ශ්‍රී ලාංකික භික්ෂු සංගමය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට ලිපියක් යොමුකර ඇත.
යුරෝපයේ ශ්‍රී ලාංකික භික්ෂු සංගමයේ මහා ලේඛකාධිකාරී, සයිප්‍රසයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මොරවක සෝරත නායක හිමි සහ එහි සභාපති, ජර්මනියේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය රත්මලේ පුඤ්ඤරතන නායක හිමි යන ස්වාමීන් වහන්සේලාගේ අත්සනින් යුතුව බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත මෙම විශේෂ ලිපිය යොමු කර ඇත.
රටක අධිකරණය සහ එහි තීන්දු තීරණ වෙත රටවැසියන් අවනත විය යුතු බව පිළිගන්නා බවත්, නෛතිකව වරදකරුවන් වී දඬුවම් විඳින භික්ෂූන් වහන්සේලාට බන්ධනාගාර නීතිරීතිවලට යටත්වීමට සිදුවීම සාමාන්‍ය දෙයක් බවත් එම සංගමය පෙන්වා දෙයි.
එහෙත්, බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යන අවස්ථාවලදී උන්වහන්සේලා ගිහි ඇඳුමින් සැරසී සිටීම ප්‍රධාන ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම හේතුවෙන් බෞද්ධ මෙන්ම අබෞද්ධ ජනතාව දැඩි කම්පනයට පත්වන බව ඔවුහු පෙන්වා දෙති.
දඬුවම් කාලය අවසන් වීමෙන් පසු නැවතත් උන්වහන්සේලා සමාජයේ ආගමික හා අධ්‍යාත්මික සේවාවන්හි නිරත විය යුතු බැවින්, දඬුවම පුනරුත්තාපන ලක්ෂණවලින් යුක්ත විය යුතු අතර පුද්ගල පෞරුෂයට හානි නොවන අයුරින් කටයුතු කළ යුතුය.
එබැවින්, බන්ධනාගාරයෙන් පිටතට කැඳවාගෙන යන අවස්ථාවල සිවුර පොරවාගෙන යාමට අවකාශ සලසා දීම පොදු මහජනතාවගේ සොම්නසට මෙන්ම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කීර්ති නාමයට ද වටිනාකමක් එක් කරනු ඇතැයි එම සංගමය විශ්වාසය පළ කරයි.
මෙම ඉල්ලීම ඇතුළත් ලිපියේ පිටපත් අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේලා වෙතද, ජනාධිපතිවරයා සහ විෂයභාර අමාත්‍යවරයා වෙතද යොමු කර තිබේ.
