කටේනායකට එරෙහිව චෝදනා 46ක විශ්වාසභංගයක් ! මීළඟ පාර්ලිමේන්තු සතිය තීරණාත්මකයි !
1 min read
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව චෝදනා 46ක් ඇතුළත් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒම සඳහා විපක්ෂය සූදානම් වෙමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
විශ්වාසභංග යෝජනාවේ කෙටුම්පත විශේෂඥ කණ්ඩායමක් විසින් මේ වනවිට සකස් කර ඇති බවත්, එහි විශේෂත්වය වන්නේ කතානායකවරයාගේ නිල කටයුතු, රාජ්‍ය දේපළ සහ සම්පත් භාවිතය, නිල නිවාස, වාහන, ඉන්ධන සහ කාර්ය මණ්ඩල පරිපාලනය සම්බන්ධයෙන් චෝදනා 46ක් ඇතුළත් කර තිබීම බවත් වාර්තා වේ.
ආරංචි මාර්ග සඳහන් කරන්නේ වැඩිම චෝදනා ඇතුළත් කෙරෙන මෙරට පළමු විශ්වාසභංග යෝජනාව මෙය බවයි.
විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ඒමේ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා විසිනි. ඒ සඳහා විපක්ෂයේ සෙසු පක්ෂවල සහායද ලැබී ඇති බව ජයසේකර මහතා පවසයි.
රාජ්‍ය මුදල් සහ දේපළ භාවිතය ගැන ප්‍රශ්න!
යෝජනාවට ඇතුළත් කර ඇති බව කියන ප්‍රධාන කරුණක් වන්නේ කතානායකවරයාට හිමි නිල නිවස භාවිත කරන අතරතුර, නිවාස පහසුකම් නොමැති අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ රජයේ උසස් නිලධාරීන් සඳහා වෙන් කෙරෙන කොළඹ ලොරිස් පටුමගේ පිහිටි තවත් රජයේ නිල නිවසක් ලබාගෙන ඇති බවට වන චෝදනාවයි.
කතානායක නිල නිවස නඩත්තු කිරීම සඳහා අට දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් යොදවා ඇති බවත්, ඔවුන්ගේ වැටුප් හා දීමනා වෙනුවෙන් මාසිකව රුපියල් 760,000ක පමණ මුදලක් වැය වන බවත් යෝජනාවේ සඳහන් වන බව පැවසේ. ජලය, විදුලිය සහ අනෙකුත් නඩත්තු වියදම්ද පාර්ලිමේන්තු ගිණුමෙන් දරා ඇති බවට විපක්ෂය චෝදනා කිරීමට සූදානම් වේ.
කතානායකවරයාගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ මහතාටද කොළඹ 04, ලොරිස් පටුමගේ පිහිටි නිවාස සංකීර්ණයක නිවසක් ලබාදීම සම්බන්ධයෙන් රාජ්‍යයට පාඩුවක් සිදුකර ඇති බවටද යෝජනාවේ චෝදනා ඇතුළත් බව සඳහන් වේ.
නිල වාහන දෙකට අමතරව තවත් වෑන් රථයක්?
කතානායකවරයාට නිල වශයෙන් හිමිවන වාහන දෙකට අමතරව පාර්ලිමේන්තුවට අයත් WP NC-4923 දරන වෑන් රථයක්ද භාවිතයට ගෙන, ඒ සඳහාද ඉන්ධන ලබාගෙන ඇති බව තවත් චෝදනාවකි.
එමෙන්ම කතානායක නිල නිවසට අයත් උපලේඛනගත භාණ්ඩ අතර තිබූ කොට්ට උර, තුවා ඇතුළු භාණ්ඩ නිසි අවසරයකින් තොරව පිටතට ගෙන ගිය බවටත්, එමඟින් රාජ්‍ය දේපළ අවභාවිත කර ඇති බවටත් චෝදනා ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
‘කතානායක මාධ්‍ය ඒකකය’ ගැනත් චෝදනාවක්
“කතානායක මාධ්‍ය ඒකකය” නමින් වෙනම ඒකකයක් පවත්වාගෙන යමින් පාර්ලිමේන්තු සන්නිවේදන අංශයට අයත් උපකරණ නිසි ක්‍රියාපටිපාටියකින් තොරව ලබාගෙන ඇති බවටද චෝදනාවක් ඇතුළත් බව සඳහන් වේ.
කතානායකවරයාගේ පෞද්ගලික භෝජනාගාරයේදී පෞද්ගලික ලේකම්වරයා සමඟ දිවා ආහාර ලබාගැනීමේදී අමුත්තෙකු වෙනුවෙන් අයවිය යුතු මුදල් නොගෙවීමෙන් පාර්ලිමේන්තුවට මූල්‍ය පාඩුවක් සිදුකර ඇති බවටද විපක්ෂය චෝදනා කරයි.
මීට අමතරව, කතානායකවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය ඉල්ලා සිටින පහසුකම් ලබා නොදුන් පාර්ලිමේන්තු සේවකයන්ට දෝෂාරෝපණය කිරීම සහ ඔවුන් ස්ථාන මාරු කිරීම ඇතුළු ක්‍රියාමාර්ග හරහා පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර පරිපාලනයට අනිසි ලෙස මැදිහත් වූ බවටද චෝදනා ඇතුළත් කර ඇතැයි පැවසේ.
මීළඟ පාර්ලිමේන්තු සතිය තීරණාත්මකයි!
මෙම කරුණු ඇතුළු චෝදනා 46ක් සහිත විශ්වාසභංග යෝජනාව මීළඟ පාර්ලිමේන්තු සතියේදී පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය වෙත භාරදීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පවසන්නේ මෙම යෝජනාව සඳහා විපක්ෂයේ සියලු පක්ෂවල සහාය ලබාගැනීමට හැකිවනු ඇති බවයි.
කෙසේ වෙතත්, මෙහි සඳහන් කරුණු විශ්වාසභංග යෝජනාවට ඇතුළත් කිරීමට සූදානම් වන චෝදනා වන අතර ඒවා අධිකරණයකින් හෝ වෙනත් නිසි බලධාරී ආයතනයකින් තහවුරු කරන ලද වරදකාරී නිගමන ලෙස සැලකිය නොහැක. අදාළ චෝදනා සම්බන්ධයෙන් කතානායකවරයාගේ ප්‍රතිචාරයද මහජනතාවට වැදගත් වනු ඇත.
- සාලිය දික්කුඹුර
