July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

භීතිය පාලනයට ආදේශ වන විට

1 min read

ශ්‍රී ලංකාවේ රාජ්‍ය පරිපාලනය තුළ නිහඬවම, නමුත් අතිශය භයානක සංස්කෘතියක් වර්ධනය වෙමින් පවතී. ඒ භීතියේ සංස්කෘතියයි.

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ රාජ්‍ය ආයතන රැසක තීරණ ප්‍රමාද වෙමින්, කල් දමමින් හෝ සම්පූර්ණයෙන්ම මඟ හරිමින් තිබේ. ලිපි ගොනු සෙමින් ගමන් කරයි. මිලදී ගැනීම් නවතී. ව්‍යාපෘති අතරමග නවතී. ජනතා ගැටලු ගොඩ ගැසෙයි. මෙය සාමාන්‍ය කාර්යාලමය මන්දගාමීභාවයක් පමණක් නොවේ. මෙය තවත් ගැඹුරු හා භයානක තත්ත්වයකි – එනම්, තමන්ව ආරක්ෂා කරගැනීම මූලික කරගත් පාලනයකි.

අද බොහෝ රාජ්‍ය නිලධාරීන්ගේ අවධානය යොමුව ඇත්තේ ගැටලු විසඳීමට නොව, අනාගතයේ විමර්ශන, කොමිෂන් සභා හෝ නඩු විභාගවලින් තමන්ව ආරක්ෂා කර ගැනීමටය. ඔවුන්ගේ සිතේ ඇති විශාලම අවදානම වන්නේ වැරදි ප්‍රතිපත්තියක් නොව, යහපත් විශ්වාසයෙන් ගත් තීරණයක් සම්බන්ධයෙන් වසර කිහිපයකට පසු පුද්ගලිකව වගකිව යුතු වීමයි.

ඒ නිසා ඇතිවන්නේ පූර්ණ අක්‍රියතාවයයි.

ගල් අඟුරු මිලදී ගැනීම්, මූල්‍ය අක්‍රමිකතා සහ ආයතනික වගවීම සම්බන්ධයෙන් මෑතකදී ඇති වූ විවාද රාජ්‍ය සේවයට සීතල පණිවිඩයක් යවා ඇත: ක්‍රියා කළොත් දඬුවම් ලැබිය හැක; ප්‍රමාද කළොත් ඔබ සුරක්ෂිතය. එය රාජ්‍ය සේවය පුරා පැතිරී ඇත. දැන් සාමාන්‍ය තීරණයකට පවා බහු අනුමැතියන්, අවසන් නොවන ලිපි හුවමාරු සහ නීතිමය ආවරණ සොයනු ලබයි.

ජනප්‍රිය පුවත්  උඩුගම්පොල හා ශානිගේ නෑදෑකම ?

මෙහි හානිය මුලු රටම දැන් වෙලාගෙන ඇත.

මිලදී ගැනීම් ප්‍රමාද වන නිසා රෝහල්වල ඖෂධ හිඟයි. යටිතල පහසුකම් ව්‍යාපෘති අවසන් නොවි දිගට ඇදේ. සුබසාධන ගෙවීම් ප්‍රමාද වෙයි. ආයෝජන අනුමැතියන් කල් දමනු ලබයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එක තැන පල් වේ. සෑම අවස්ථාවකම මේ ප්‍රමාදවල මිල ගෙවන්නේ ජනතාවයි.

මෙය තවත් දරුණු වන්නේ රාජ්‍යය පිළිබඳ විශ්වාසයම බිඳ වැටීම නිසාය. ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට බාර දී ඇති නිලධාරීන් පසුවම ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කිරීම, හෝ පසුකාලීන දේශපාලන වාසි සඳහා තෝරාගත් ලෙස නීතිය ක්‍රියාත්මක කිරීම නිසා, අවදානම නොගැනීම යනු එකම සාධාරණ මාර්ගය බවට දැන් පත්වෙමින් පවතී.

නමුත් රටක් එලෙස පවත්වාගෙන යා නොහැක.

රාජ්‍ය නිලධාරියෙකු වගකිව යුතු බව ඇත්ත. දූෂණයට දඬුවම් තිබිය යුතුය. බලය අයුතු ලෙස භාවිතා කිරීම හෙළි කළ යුතුය. එහෙත් ඒ සමඟම විනිශ්චය, විචක්ෂණය සහ අවංක වැරදි සඳහාත් ඉඩ තිබිය යුතුය. සෑම වැරදි ප්‍රතිඵලයක්ම අපරාධයක් නොවේ. සෑම දුෂ්කර තීරණයක්ම දූෂණයක් නොවේ.

සෑම අත්සනක්ම අනාගතයේ චෝදනා පත්‍රයක් විය හැකි නම්, ඉක්මනින්ම අත්සන් තැබීමට කිසිවෙකු ඉතිරි නොවනු ඇත.

ජනප්‍රිය පුවත්  හරිනිගේ PHD එකෙත් කොස්සක්!

ඒ තමයි සැබෑ අනතුර.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිමත් වීම, සමාජ ස්ථාවරත්වය සහ පරිපාලන විශ්වාසනීයත්වය රඳා පවතින්නේ ප්‍රතිපත්ති ප්‍රකාශ මත පමණක් නොව, ආයතන ක්‍රියා කීරීමේ හැකියාව මතය. තීරණ ගැනීමට නොහැකි හෝ තීරණ ගැනීමට භය වන රාජ්‍යයකට පාලනය කළ නොහැක.

  • ජෝසෆ් ජී. –

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x