June 19, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ජනවරම යනු සින්නක්කර දේපොලක් නොවේ

1 min read

“ආරේ ගුණේ නෑරේ” කියලා අපේ ජනවහරේ පැරණි කියමනක් ඇත.

කාලය වෙනස් විය හැකිය. ඇඳුම් පැළඳුම් වෙනස් විය හැකිය. භාෂාව, සටන් පාඨ සහ දේශපාලන ප්‍රකාශන පවා වෙනස් විය හැකිය. එහෙත් පුද්ගලයෙකුගේ හෝ සංවිධානයක මූලික ස්වභාවය, බලය පිළිබඳ ආකල්පය සහ දේශපාලන සංස්කෘතිය එතරම් පහසුවෙන් වෙනස් නොවන බව මේ කියමන අපට සිහිපත් කරයි.

ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලනය දෙස බලන විට මේ කියමන නැවත නැවතත් මතකයට නැඟේ.

ජනතා විමුක්ති පෙරමුණට සහ ජාතික ජන බලවේගයට විරුද්ධව සිටි පිරිස් පමණක් නොව, ඔවුන්ට ඡන්දය ලබාදුන් ඇතැම් පිරිස් අතරද මේ වන විට එක් ප්‍රශ්නයක් මතු වෙමින් තිබේ. එනම්, බලය ලැබීමෙන් පසු මේ ව්‍යාපාරය සැබවින්ම වෙනස් වී තිබේද යන්නයි.

බලය නොමැති කාලයක ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කිරීම පහසුය. විරුද්ධ මතවලට ගරු කරන බව ප්‍රකාශ කිරීමද පහසුය. එහෙත් සැබෑ පරීක්ෂණය ආරම්භ වන්නේ බලය අතට පත්වූ පසුය. එවිට දේශපාලන ප්‍රතිවාදියා තරගකරුවෙකු ලෙස දකිනවාද, නැතිනම් පරාජය කළ යුතු සතුරෙකු ලෙස දකිනවාද යන්න හෙළිදරව් වෙයි.

ලාල් කාන්ත ඇතුළු ඇතැම් නායකයන්ගේ මෑත ප්‍රකාශ, සමහර ඇමතිවරුන්ගේ හැසිරීම් රටා සහ සමාජ මාධ්‍ය තුළ දක්නට පල වන ආණ්ඩු හිතවාදී ප්‍රතිචාර දෙස බැලීමේදී, භීෂණ සමයේ දක්නට ලැබුණු “එක්කෝ අපිත් එක්ක, නැත්නම් සතුරන් එක්ක” යන ද්වීතීකරණ දේශපාලන මනෝභාවයේ සෙවණැලි යළිත් දිස්වෙමින් තිබේදැයි කෙනෙකු තුළ සාධාරන සැකයක් මතු වීම නොවැළැක්විය හැක.

එහෙත් මෙය ජවිපෙට පමණක් සීමා වූ ප්‍රශ්නයක් නොවේ. බලයට පැමිණි සෑම විප්ලවවාදී හෝ පවතින ක්‍රමයට එරෙහි ව්‍යාපාරයකටම ඉතිහාසය තුළ මුහුණ දීමට සිදුවූ ගැටළුවකි.

ජනප්‍රිය පුවත්  ශානිගේ කෙරුවාව… පල්ලියේ අවබෝදය පිණිස…

උදාහරණයක් ලෙස, ඇෆ්ගනිස්ථානයේ තලේබාන් සංවිධානය ගත හැකිය. බලය යළි අත්පත් කරගත් අවස්ථාවේ ඔවුන් ලෝකයට ප්‍රකාශ කළේ තමන් අතීතයෙන් පාඩම් ඉගෙනගෙන ඇති බවත්, නව යුගයකට ගැළපෙන පාලනයක් ගෙන යන බවත්ය. එහෙත් කාලය ගතවෙත්ම ලෝකය දුටුවේ ප්‍රකාශවලට වඩා පැරණි ආකල්ප සහ පුරුදු යළිත් මතුවන ආකාරයයි. ප්‍රතිඵලය, දශ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට රටින් පළායාමට සිදුවීමය.

ඉතිහාසය අපට උගන්වන්නේ ජනතා විමුක්තිය වෙනුවෙන් පෙනී සිටින බව කියන සංවිධාන විනිශ්චය වන්නේ ඔවුන් කියන දේ මත නොව, ඔවුන් කරන දේ මත බවයි.

කැම්බෝජයේ ඛෙමර් රූජ් ව්‍යාපාරයද තවත් කටුක උදාහරණයකි. ජනතාවගේ නාමයෙන් බලය අත්පත් කරගත් එම ව්‍යාපාරය අවසානයේදී තමන්ගේම ජනතාවට අසීමිත විනාශයක් උරුම කර දුන්නේ ය. ආරම්භයේදී ලබාදුන් පොරොන්දු සහ අවසානයේදී බිහිවූ යථාර්ථය අතර තිබුණේ අතිමහත් පරතරයකි.

උගන්ඩාවේ ඉඩී අමීන් බලයට පැමිණි අවස්ථාවේද බොහෝ දෙනා ඔහුව දුටුවේ රට ගලවා ගැනීමට පැමිණි නායකයෙකු ලෙසය. එහෙත් බලය යනු පුද්ගලයන් පරීක්ෂාවට ලක් කරන අතිශය භයානක මෙවලමක් බව ලෝකය කඩිනමින් වටහා ගත්තේය.

එසේ වුව, සෑම කතාවක්ම එසේ අවසන් නොවූ බවද අප පිළිගත යුතුය. අයර්ලන්තයේ සින් ෆේන් ව්‍යාපාරය හෝ දකුණු අප්‍රිකාවේ අප්‍රිකානු ජාතික කොංග්‍රසය වැනි සංවිධාන, අතීත අරගලවලින් පැමිණියද අවසානයේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන රාමුවට අනුගත වීමට සමත් විය.

එබැවින් අද අප විසින් ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ ජවිපෙ මීට දශක තුනකට හෝ හතරකට පෙර කළේ කුමක්ද යන්නට වඩා, බලය ලැබුණු පසු ඔවුන් හැසිරෙන්නේ කෙසේද යන්නයි.

විරුද්ධ මත දරන අයට ප්‍රකාශනයේ නිදහස ලබා දෙනවාද?

මාධ්‍ය විවේචන ඉවසනවාද?

ස්වාධීන ආයතනවලට ගරු කරනවාද?

ජනප්‍රිය පුවත්  ඉරාන ප්‍රහාරයෙන් පස්සෙ නෙතන්යාහුට ඇඟිල්ලක් වැඩිවෙලා!

තමන්ට එකඟ නොවන පුද්ගලයා දේශද්‍රෝහියෙකු ලෙස දකිනවාද, නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සාමාන්‍ය පුරවැසියෙකු ලෙස දකිනවාද?

මෙම ප්‍රශ්නවලට ලැබෙන පිළිතුරු තුළින්ම ඕනෑම පාලනයක සැබෑ ස්වභාවය හෙළිවේ.

අනෙක් අතට, ජවිපෙ හෝ මාලිමාව බලයට පැමිණියේ 1917 රුසියානු විප්ලවය මෙන් විප්ලවයකින් නොවේ. 1949 චීන විප්ලවය මෙන් සන්නද්ධ අරගලයකින් නොවේ. 1979 ඉරාන විප්ලවය මෙන් පැරණි පාලන ක්‍රමයක් පෙරළා දමා නොවේ.

ඔවුන් බලයට පැමිණියේ ඡන්ද පෙට්ටිය හරහාය.

එබැවින් ඔවුන් සතු ජනවරම විප්ලවීය ජනවරමක් නොව, ප්‍රජාතන්ත්‍රවාදී ජනවරමකි.

එමෙන්ම, මෙම ඡන්ද ප්‍රතිඵලය සම්පූර්ණයෙන්ම ජවිපෙ කෙරෙහි තිබූ ආදරය හෝ විශ්වාසය පමණක් නිසා ඇතිවූවක් නොවන බවද රහසක් නොවේ.

රාජපක්ෂ පාලනය පිළිබඳ ඇතිවූ කලකිරීම,

දූෂණය පිළිබඳ කෝපය,

ආර්ථික කඩාවැටීම සහ

පැරණි දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කිරීම අරමුණු කරගත් “76 වසරක ශාපය” වැනි කෘත්‍රීම ලෙස උද්ගත කරන ලද මහජන මනෝභාවයන්ද මෙම ජයග්‍රහණය පිටුපස ප්‍රබල සාධක බවට පත් විය.

ඒ නිසා ජනවරමක් යනු හිස් චෙක්පතක් නොවේ. එය කාලයෙන් කාලයට අලුත් කරගත යුතු සමාජ ගිවිසුමකි. ජනතාව විශ්වාසය ලබාදෙයි. පාලකයන්ගේ වගකීම වන්නේ එම විශ්වාසය ආරක්ෂා කිරීමයි.

එහෙත් මෙහිදී මාලිමාව මුහුණ දෙන විශේෂ අභියෝගයක් ද තිබේ. එනම්, තමන් බලයට පත් කළ සාමාන්‍ය ජනතාවගේ අපේක්ෂාවන් සහ ජනමතය වෙනස් කිරීමට දායක වූ විවිධ කණ්ඩායම්වල දේශපාලන න්‍යායපත්‍ර අතර පවතින පරස්පරතාවයයි. පාලනයේ ජනප්‍රියත්වය පහළ යන බවක් පෙනෙන සෑම අවස්ථාවකදීම, විවිධ කණ්ඩායම් තම තමන්ගේ අරමුණු කඩිනමින් ඉටු කර ගැනීමට උත්සාහ කිරීමෙන් මහජන විශ්වාසය තවදුරටත් පළුදුවීමේ අවදානමක් පවතී.

තවත් වැදගත් කාරණයක් වන්නේ ජාත්‍යන්තර පරිසරයේ සිදුවන වෙනස්කම්ය. ඉරාන-අමෙරිකා ගැටුමෙන් පසු යුරේෂියානු කලාපයේ බල තුලනය නව ආකාරයකින් ප්‍රතිසංවිධානය වෙමින් තිබේ. එවැනි තත්ත්වයක් තුළ කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ රටවල අභ්‍යන්තර දේශපාලනය පවා කලාපීය සහ ගෝලීය බල අරගලවල බලපෑමට ලක්විය හැකිය. ඉදිරි මැතිවරණ දේශීය දේශපාලන තරගයක් පමණක් නොව, විශාල භූදේශපාලනික බලපෑම් සහිත තරග ඉසව්වක් බවටද පත්විය හැකිය.

ජනප්‍රිය පුවත්  විගණකාධිපති දෙපාර්තමේන්තුව සහ ව්‍යවස්ථාදායක සභාව කැළණිය හරහා පැලවත්තට කඩා වැටීම

අනෙක් කාරණය නම්, මාලිමාවට ඡන්දය ලබාදුන් ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක්, මීට පෙරද “වෙනස” බලාපොරොත්තුවෙන් වෙනත් නායකයන් සහ ව්‍යාපාර කෙරෙහි බලාපොරොත්තු තබා සිටි පිරිස් වීමයි. ඔවුන්ගේ මූලික අපේක්ෂාව පක්ෂයක් නොව වෙනසකි. එබැවින් එම අපේක්ෂාවන් බිඳ වැටුණහොත්, ඔවුන් යළිත් වෙනත් විකල්පයක් සොයා යාම දේශපාලන වශයෙන් අසාමාන්‍ය දෙයක් නොවේ.

අවසානයේදී මේ ප්‍රශ්නය ජවිපෙට හෝ මාලිමාවට පමණක් අදාළ වූවක් නොවේ. බලය අතට ගත් සෑම දේශපාලන ව්‍යාපාරයකින්ම ඉතිහාසය විසින් අසන ලද ප්‍රශ්නය මෙයමය.

ජනවරම යනු සින්නක්කර දේපොලක්ද, නැත්නම් කාලයෙන් කාලයට අලුත් කරගත යුතු ජනතා විශ්වාසයේ ගිවිසුමක්ද?

අද ශ්‍රී ලංකාවේ දේශපාලනය ඉදිරියේ තිබෙන්නේද එම ප්‍රශ්නයමය.

“ආරේ ගුණේ නෑරේ” යන පැරණි ජනවහර යළිත් සනාථ වනු ඇත්ද, නැත්නම් අතීතයේ අඳුරු සෙවණැලි පසුකර නව දේශපාලන සංස්කෘතියක් බිහිවනු ඇත්ද?

ඊට පිළිතුර ඇත්තේ දේශපාලන නායකයන්ගේ කතාවල නොව, ඔවුන් බලය භාවිත කරන ආකාරය තුළය.

මන්ද, ඉතිහාසය මතක තබා ගන්නේ ජනවරම ලැබුණු ආකාරය නොව, එය භාවිත කළ ආකාරය පිළිබඳවයි.

  • විජය දිසානායක –

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x