July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කොල්ල කෑමේ අසිරිය

1 min read

සමහර රූප තියෙනවා, බැලූ බැල්මට එක සැරයටම අපේ හදවතට තට්ටු කරලා අපව ලොකු කල්පනාවක ගිල්වන! මේ සුවිශේෂී ඡායාරූපය දැක්කම මට හිතුණේ ඒ වගේ දෙයක්.

මේ පින්තූරයේ ඉන්නවා ලෝකයේ ආර්ථික, දේශපාලනික සහ මිලිටරි අතින් බලවත්ම සහ විශාලම රාජ්‍යයක නායකයා, ඔහු තමයි චීන ජනාධිපති ෂී ජින්පිං.

ඔහුගේ වම්පසින් පියවර තබමින් ඉතාමත් අභිමානවත්, ඒ වගේම තැන්පත් ලීලාවකින් ඇවිදගෙන එන්නේ අප්‍රිකානු මහද්වීපයේ පිහිටි කුඩා, නමුත් අතිශය ඛේදජනක සහ කටුක ඉතිහාසයකට උරුමකම් කියන නැමිබියා රාජ්‍යයේ ජනාධිපතිනිය.

චීනයේ බීජිං නුවර මහජන ශාලාවේ පැවැත්වුණු අති උත්කර්ෂවත් රාජ්‍ය පිළිගැනීමේ උත්සවයක රතු පලස මත ඔවුන් පියවර තබන මේ දර්ශනය, හුදෙක් සාමාන්‍ය රාජ්‍ය තාන්ත්‍රික හමුවීමක් විතරක් නෙවෙයි.

ලෝකයේ බලවත්ම රටක්, තමන්ට වඩා හැම අතින්ම ඉතා කුඩා රටක නායිකාවකට සම තත්ත්වයේ ලා සලකමින් පවත්වන මේ උත්තමාචාරය දකිද්දී, හිතට දැනෙන්නේ පුදුමාකාර හැඟීමක්.

මේ පින්තූරයේ ඉන්න නැමිබියානු ජනාධිපතිනිය දෙස බලද්දී අපිට වසර 120ක් අතීතයට යන්න සිද්ධ වෙනවා. දහනව වන සියවසේ අගභාගයේදී ඒ කියන්නේ 1884 විතර, අප්‍රිකාව බෙදාගැනීමේ බටහිර බලවතුන්ගේ තරඟය අතරතුර, වර්තමාන නැමිබියාව අයිති වුණේ ජර්මානු අධිරාජ්‍යයට.

ඒ කාලේ ඒ ප්‍රදේශය සුද්දො හැඳින්වූයේ “ජර්මානු නිරිතදිග අප්‍රිකාව” කියලා.. තමන්ගේ පාරම්පරික නිජබිම් කොල්ලකන, තමන්ව වහලුන් බවට පත් කරන ජර්මානු පාලනයට විරුද්ධව නැමිබියාවේ ජීවත් වුණු “හෙරෙරෝ” සහ “නමා” කියන ස්වදේශික ගෝත්‍රික ජනතාව 1904 දී දැවැන්ත කැරැල්ලක් ආරම්භ කළා.

එතැනදී ජර්මානු අධිරාජ්‍යයා වුණු දෙවන විල්හෙල්ම් රජු විසින් ලොතර් වොන් ට්‍රෝතා කියන අතිශය කෲර ජෙනරාල්වරයාව මේ කැරැල්ල මර්දනය කරන්න පිටත් කර හැරියා.

ඔහු එහේ ගිහින් නිකුත් කළේ ලෝක ඉතිහාසයේ ලියැවුණු බිහිසුණුම නියෝගයක්. ඒ තමයි “වඳ කර දැමීමේ නියෝගය.” මේ කෲර නියෝගය ක්‍රියාත්මක වුණේ කොහොමද?

ජර්මානු හමුදාව හෙරෙරෝ සහ නමා ජනතාව වට කරලා, ඔවුන්ව මාරාන්තික කාන්තාරය දෙසට පලවා හැරියා.. ඉන්පසු කාන්තාරයේ තිබුණු එකම ජල උල්පත් ටිකත් ජර්මානුවන් විසින් වස දමා විෂ කළා.

ඒ දසදහස් ගණන් අහිංසක මිනිසුන්, ගැහැණුන්, කුඩා දරුවන් වතුර උගුරක් නැතුව, කන්න කෑමක් නැතුව කාන්තාරයේ අව් රශ්මියට කරවෙලා, විලාප තියලා මිය ගියා.

විනාශය එතනින් නතර වුණේ නැහැ. ඉතිරි වුණු අයව බටහිර ලෝකය විසින් මුලින්ම නිර්මාණය කරන ලද “සිර කඳවුරු” වලට ගාල් කළා. එහිදී ඔවුන්ව දැඩි වහල් සේවයේ යෙදෙව්වා, කුසගින්නේ තිබ්බා, ලෙඩ රෝග හැදෙන්න ඇරියා.

ජනප්‍රිය පුවත්  ජයිශංකර්ට මා තරම් කැමැති ශ්‍රී ලාංකිකයෙක් ඔබට සොයාගත නොහැක!

ලිංගික අතවර සහ වෛද්‍ය පරීක්ෂණ සඳහා මිනිසුන්ව පණ පිටින් පාවිච්චි කළා. විසිවන සියවසේ ලොව පළමු ජන සංහාරය ලෙස ඉතිහාසඥයන් හඳුන්වන්නේ මෙන්න මේ සිදුවීමයි.

මේ පොළව නොහුලන අපරාධයෙන් හෙරෙරෝ ජනගහනයෙන් 80% කට වඩා.. ආසන්න වශයෙන් 65,000 කට අධික පිරිසක් ඝාතනය කෙරුණා. “නමා” ජනගහනයෙන් 50% කට වඩා, ආසන්න වශයෙන් 10,000 කට අධික පිරිසක් සම්පූර්ණයෙන්ම විනාශ කර දැමුවා.

වඩාත්ම පිළිකුල්සහගත දේ තමයි, මියගිය නැමිබියානුවන්ගේ හිස්කබල් සිය ගණනක් ජර්මානු විද්‍යාඥයන් විසින් යුරෝපයට රැගෙන ගියා, “කළු ජාතිකයන් සුදු ජාතිකයන්ට වඩා පහත් ජාතියක්” කියලා ඔප්පු කරන්න හිස්කබල් මැනීමේ ව්‍යාජ විද්‍යාත්මක පරීක්ෂණ පවත්වන්න.

හිට්ලර් යුදෙව්වන්ට කල දේ ගැන නම් මුළු ලෝකයම කතා කරද්දී, ඔවුන් අප්‍රිකාවට කල මේ මහා අපරාධය දශක ගණනාවක් යනතුරු ලෝකයේ ඉතිහාස පොත් වලින් වහලා තිබ්බා.

ජර්මනිය එය ජන සංහාරයක් කියලා නිල වශයෙන් පිළිගන්නත්, වසර සියයකට වඩා කල් ගත්තා.. අන්න ඒ වගේ අතීතයකින්, ඒ වගේ මහා බිහිසුණු ලේ කඳුළු සාගරයකින් නැගිටලා ආපු රටක් තමයි “නැමිබියාව.”
ලාංකිකයන් විදිහට මේ කතාව දෙස බලද්දී අපිට වෙනත් රටකට වඩා මේ වේදනාව හොඳින්ම තේරෙනවා.

1818 ඌව වෙල්ලස්ස කැරැල්ල වෙලාවේ ඉංග්‍රීසි ජාතිකයන් අපේ රටේ කරපු විනාශය අහල තියෙනවද?
වයස අවුරුදු 18ට වැඩි හැම පිරිමියෙක්වම මරා දැමුවා, කුඹුරු ගිනිබත් කළා, වැව් අමුණු විනාශ කළා, ගෙවල් දොරවල්, හරකා බාන සේරම නැති කරලා මුළු ඌව පළාතම සුසාන භූමියක් කළා. බටහිර අධිරාජ්‍යවාදය ලෝකය පුරාම හැසිරුණේ එකම විදිහට.

අදටත් බටහිර රටවල් අප්‍රිකානු හෝ ආසියානු රටවල් දිහා බලන්නේ තමන්ට වඩා පහත්, තවමත් ශිෂ්ට සම්පන්න විය යුතු, තමන්ගෙන් යැපෙන පිරිසක් විදිහටයි.

ඔවුන්, ඔවුන්ගේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෙවත් “IMF” හෝ ලෝක බැංකුව වැනි මළපුඩු හරහා ණය දෙද්දී විවිධ කොන්දේසි දානවා,

අපේ රටවල් ඇතුළේ දේශපාලනය තීරණය කරන්න හදනවා. බටහිර නායකයෙක් ළඟට අපේ වගේ රටක නායකයෙක් ගියාම දකින්න ලැබෙන්නේ ස්වාමියා සේවකයා දෙස බලනවා වගේ හැඟීමක්.

නමුත් මේ පින්තූරයෙන් පෙනෙන දේ ඊට හාත්පසින්ම වෙනස්. “චීනය” කියන්නේ අද ලෝකයේ අංක එකේ බලවතා වෙන්න ඔන්න මෙන්න තියෙන, ඇමරිකාවට පවා අභියෝග කරන මහා බලවත් රාජ්‍යයක්.

ඉතින් හිතන්න ඒ වගේ රටක රාජ්‍ය නායකයා, මිලියන 03කටත් වඩා අඩු ජනගහනයක් ඉන්න නැමිබියාවේ නායිකාව පිළිගන්නේ තමන්ට සමාන, ස්වාධීන, අභිමානවත් රාජ්‍ය නායකයෙක් විදිහටයි. ඒ ගෞරවය, ඒ ශිෂ්ටසම්පන්න බව තමයි සැබෑ මානවවාදය කියන්නේ!

ජනප්‍රිය පුවත්  ඩිජිටල් නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්නගෙ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහෝසියි…?

බොහෝ දෙනෙක් අහන්න පුළුවන් “චීනය” ඇයි අප්‍රිකාවට මේ තරම් ලොකු සැලකිල්ලක් දක්වන්නේ කියලා. මේක පිටුපස තියෙන්නේ හුදෙක් අද ඊයේ පටන් ගත්තු දේශපාලනයක් නෙවෙයි. ඒ කතාවත් මම ඉතා කෙටියෙන් කියන්නම්.

චීනය සහ අප්‍රිකානු මහද්වීපය අතර තියෙන්නේ බටහිර විරෝධී හා අධිරාජ්‍ය විරෝධී පොදු අතීත අරගලයක බැඳීමක්.

1950, 60 සහ 70 දශකවල අප්‍රිකානු රටවල් බටහිර යටත්විජිතවාදයෙන් නිදහස් වෙන්න අරගල කරද්දී, ඇමරිකාව හෝ යුරෝපය ඒ නිදහස් සටන් හැඳින්වූයේ “ත්‍රස්තවාදය” නමින්

නමුත් ඒ කාලේ තමන්ම අන්ත දරිද්‍රතාවයෙන් පෙළුණු චීනය, අප්‍රිකානු නිදහස් සටන්කාමීන්ට ආයුධ, සල්ලි සහ සදාචාරාත්මක සහයෝගය ලබා දුන්නා.

නැමිබියාවේ නිදහස් සටන මෙහෙයවපු “SWAPO පක්ෂය”ට එදා ඉඳන්ම චීනය උදව් කළා.

ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තායිවානය වෙනුවට මහජන චීන සමූහාණ්ඩුවට නිල සාමාජිකත්වය ලබාගැනීමේ ඓතිහාසික ඡන්ද විමසීමේදී චීනයට පක්ෂව ඡන්දය දුන්නේ මේ අප්‍රිකානු රටවල්. එදා චීන නායක මාඕ සේතුං ප්‍රකාශ කළේ, “අපව එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ඔසවා තැබුවේ අපේ අප්‍රිකානු සහෝදරයන් විසින්” කියලා.

අද චීනය ක්‍රියාත්මක කරන “එක් තීරයක් – එක් මාවතක්” ව්‍යාපෘතිය හරහා අප්‍රිකාව පුරා දැවැන්ත මහා මාර්ග, දුම්රිය මාර්ග, වරායවල්, ගුවන් තොටුපළවල් සහ රෝහල් ඉදිවෙනවා.

බටහිර රටවල් වසර සියයක් තිස්සේ අප්‍රිකාවේ සම්පත් (රත්තරන්, දියමන්ති, තඹ) කොල්ලකා ගෙන ගියා මිසක් එකම එක ස්ථිර යටිතල පහසුකමක් හැදුවේ නැහැ.

ඔව්, චීනය කරන්නේ ව්‍යාපාරයක් වෙන්න පුළුවන්, හැබැයි ඒ ව්‍යාපාරය ඇතුළේ දෙපාර්ශවයටම වාසිදායක සංවර්ධනයක් සහ අන්‍යෝන්‍ය ගෞරවයක් තියෙනවා.

මේ පින්තූරය දිහා බලලා අපිට නිකන්ම ඉන්න බැහැ. ශ්‍රී ලංකාව කියන්නෙත් මේ ගෝලීය දකුණේම ප්‍රධාන කොටස්කරුවෙක්. ඉහත මම කියපු 1971 ඔක්තෝබර් 25 වැනිදා එක්සත් ජාතීන්ගේ ඒ ඓතිහාසික යෝජනා සම්මතයේදී අප්‍රිකානු රටවල් වගේම ලංකාවත් (එදා සිලෝන්) ඡන්දය දුන්නේ මහජන චීන සමූහාණ්ඩුවට පක්ෂවයි.

​එහිදී ලංකාව, තායිවානය වෙනුවට, බීජිං පාලනය මුළු මහත් චීනයේම එකම නීත්‍යානුකූල නියෝජිතයා ලෙස පිළිගැනීමට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා පමණක් නොවෙයි, චීනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබා දීම සඳහා, මුල් පෙළේ සිටම දැඩි ලෙස පෙනී සිටිමින් සහයෝගය පළ කළ රටක් ද වෙනවා.

ඉතින්, අද අපේ රට මුහුණ දීලා තියෙන ආර්ථික අර්බුදය, ණය බර සහ ජාත්‍යන්තර බලපෑම් හමුවේ අපිට මේ දර්ශනයෙන් ඉගෙන ගන්න ලොකු පාඩම් කිහිපයක් තියෙනවා.

ජනප්‍රිය පුවත්  ජීවත්වීමේ අයිතිය අහිමි කරන ඇසිඩ් වැසි ගෙනදෙන නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය!

ඌව වෙල්ලස්ස කැරැල්ලේ භීෂණය හා වතු වගාව සදහා ඉඩම් කොල්ලකෑම නිසා අපේ මිනිස්සුන්ට සිදුවූ හානිය ගැන හොයන්න අද වෙන තුරු අඩු තරමින් කොමිසමක්වත් පත්කරලා නැහැ.

ජර්මනිය වසර සියයකට වඩා කල් අරන් හරි තමන් ජන සංහාරයක් කියලා නිල වශයෙන් පිළිගන්න තත්ත්වයට ගේන්න, නැම්බියාව කටයුතු කළාට අපිට එංගලන්තයට එහෙම කියන්නවත් තවම කොන්දක් නැහැ.

සමහර විට ඒ තවමත් “ඉංග්‍රීසි” වලට වදින දීනකම නිසා වෙන්න ඇති. එත් නැමිබියාව නම් අදටත්, ජර්මනියෙන් තමන්ට සිදුවූ හානියට වන්දි ඉල්ලනවා.. මොකද තමන්ගේ මුතුන්මිත්තන්ට කළ අපරාධය ඔවුන් නම් ලේසියෙන් අමතක කරන්නේ නැහැ.

මතක තියාගන්න, “ඉතිහාසය” අමතක කරන ජාතීන්ට අනාගතයක් නැහැ.. බටහිර රටවල් අද අපිට මානව හිමිකම් ගැන ජිනීවා වලදී ඇඟිල්ල දිගු කරද්දී, අපිත් ඔවුන්ට මතක් කර දිය යුතුයි, අපේ මුතුන්මිත්තන්ට ඔවුන් කළ අපරාධ සහ ජන සංහාර.

අවසාන වශයෙන්, අපි ආයෙමත් මේ අපූරු ඡායාරූපය දෙසට හැරෙමු. මේ පින්තූරය අපිට කියා දෙන්නේ දේශපාලනයට වඩා එහා ගිය ගැඹුරු මානුෂීය දර්ශනයක්.

මිනිසෙක් තවත් මිනිසෙකුට ගරු කළ යුත්තේ ඔහුගේ ධනය, බලය හෝ ශරීර ප්‍රමාණය දෙස බලාගෙන නෙවෙයි. ඔහුත් තමන් වගේම ලේ, මස්, කඳුළු සහ හදවතක් තියෙන මනුෂ්‍යයෙක් කියන හැඟීමෙන්!
රාජ්‍යයන් අතර සබඳතාවයත් අන්න ඒ වගේ විය යුතුයි. රටක් කුඩා වූ පමණින්, දුප්පත් වූ පමණින්, නැත්නම් අතීතයේ දරුණු ලෙස බැටකා තිබූ පමණින් ඔවුන්ව කොන් කළ යුතු නැහැ.

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා චීනයේ මහා ප්‍රාකාරයේ සිතුවම පසුබිම් කරගෙන, සිය ගණනක් වන හමුදා උත්තමාචාර මධ්‍යයේ, නැමිබියානු ජනාධිපතිනිය සමඟ රතු පලස මත පියවර තබන මේ මොහොත, බටහිර අධිරාජ්‍යවාදී මානසිකත්වයේ මරණ වරෙන්තුව ලියන දර්ශනයක් හා සමානයි!

එයින් කියාපාන්නේ ලෝකයේ හැම මනුෂ්‍යයෙකුටම, හැම සංස්කෘතියකටම හා හැම ස්වෛරී රාජ්‍යයකටම සමාන අයිතිවාසිකම් සහ ගෞරවය හිමිවිය යුතු නව යුගයක උදාව ගැන නේද? මෙවැනි දර්ශන අපිට අනාගතය ගැන ලොකු බලාපොරොත්තුවක් දෙනවා.

බටහිර අධිරාජ්‍යවාදය නමැති මාරාන්තික පිළිකාවෙන් ක්‍රමයෙන් මිදෙමින්, මිනිස්කම, අන්‍යෝන්‍ය ගෞරවය සහ සහයෝගීතාවය රජයන වඩාත් සාධාරණ සහ සුන්දර ලෝකයක් නිර්මාණය වෙමින් පවතින බවට මේ ඡායාරූපය ජීවමාන සාක්ෂියක්.

  • Sagara Diyagama

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x