ඇසළ පුර පසලොස්වක දා උතුරු මුහුදේ කළු කොඩි විරෝධයක්
1 min read
උතුරේ ධීවර ප්‍රජාවගේ ජීවිකාව අනතුරේ හෙලමින් තමිල්නාඩු ට්‍රෝලර් යාත්‍රා මෙරට මුහුදු සීමාවට කඩාවැදී කරන සාගර සම්පත් කොල්ලය වලක්වා ලීමට බලධාරීන් නිසි පියවර නොගන්නා බවට චෝදනා කරමින් ධීවරයන් උතුරු මුහුදේදී විරෝධයක් දියත් කර තිබේ.
ඇසල පුන් පෝය දිනයේ බෝට්ටු වලට නැගී ධිවරයන් විශාල පිරිසක් දියත් කළ කළු කොඩි විරෝධතාවයට දෙමළ ජාතික ජනතා පෙරමුණද සහයෝගය පළ කර තිබු බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.
ඩෙල්ෆ්ට් දූපතට යාපනයෙන් පිටවන කූරිකට්ටුවාන් ජැටියෙන් එපිට මුහුදේ ඇසල පුන් පෝදා දියත් කළ කළු කොඩි විරෝධයට නායකත්වය දෙමින් සිටි උතුරේ එක්සත් ධීවර සංගම් එකතුවේ අන්නලිංගම් අන්නරාසා පෙන්වා දුන්නේ මේ වන විට ඉන්දීය ධිවරයන් සතියේ දින හතම උතුරු මුහුදේ මත්ස්‍ය සම්පත කොල්ල කෑමේ නිරතවන බවයි.
“පහුගිය කාලයේදී සතියට දවස් තුනක් මාළු අල්ලන්න ආපු තමිල්නාඩු ධීවරයෝ, දැන් සතියේ දවස් හතම මුහුදු පතුල විනාශ කරන දෙපට මාදැල් පාවිච්චි කරගෙන මාළු අල්ලන නිසා අපේ ජීවිකාවට බලපෑමක් එල්ල වෙනවා. සිය ගණනක් ධීවරයින්ගේ දැල් කපලා විනාශ කරලා, ඒ ගැන ලංකාවේ පොලිසියට පැමිණිලි කරලා, පොලිස් පැමිණිලි හැම ධීවර සංවිධානයකම තිබිලත් ලංකාව පාලනය කළ ආණ්ඩුත්, දැන් පාලනය කරන ආණ්ඩුවත් කිසිම පියවරක් ගන්නේ නැති අවාසනාවන්ත තත්ත්වයක් මේ ආණ්ඩුව ඇති කරලා තියෙනවා. ”
තලෙයිමන්නාරමට උතුරු දෙසින් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ජාත්‍යන්තර මුහුදු සීමා රේඛාව උල්ලංඝනය කරමින් අනවසර මසුන් ඇල්ලීමේ නිරතව සිටි ඉන්දීය ධීවර යාත්‍රාවක් සහ එහි සිටි ඉන්දීය ධීවරයින් නවදෙනෙකු ජූලි මස 22 වන දින සන්ධ්‍යා කාලයේදී අත්අඩංගුවට ගන්නා ලද බව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිවේදනය කර තිබුණි.
විරෝධතාවට එක්ව සිටි යාපනය විශ්ව විද්‍යාලයේ උපාධිධාරි ධීවරයකු වන ඒ. පුෂ්පකුමාර් සදහන් කළේ ඉන්දිය ධිවරයන් ලංකා මුහුදේ මසුන් මැරීම නවතාලීමට ශ්‍රී ලංකා නාවික හමුදාව අසමත් වීමෙන් උතුරේ ධිවරයන්ගේ බඩ වියතට මරු පහරක් එල්ල වී ඇති බවයි.
“මීට දවස් තුනකට කලින් නෙඩුන්තීව්වල ඉඳන් කිලෝමීටර් දෙකක් විතර දුරකට ඉන්දීය ට්‍රෝලර් බෝට්ටු 40ක් 50 ක් විතර අපේ මුහුදුසීමාවට ඇවිත් මාළු අල්ලගෙන යනවා වෙරළේ ඉඳන් බලද්දී පෙනුණා. එයාලා මෙහෙම මාළු අල්ලන්න ආවාම ඇයි ලංකාවේ නාවික හමුදාව එයාලාව අත්අඩංගුවට ගන්නේ නැත්තේ. එදා ට්‍රෝලර් බෝට්ටු 40ක් 50ක් විතර ඇවිත් ගියා. ඒත් අත්අඩංගුවට ගත්තේ ට්‍රෝලර් එකක් විතරයි. එකක් අත්අඩංගුවට ගත්තා කියලා මොනවාද ලැබෙන්නේ?”
ඉන්දීය ධිවරයන් මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කරමින් සිදු කරන මසුන් මැරීම හා දේශිය ධිවරයන්ගේ දැල් ආම්පන්න වලට සිදු කරන මහා පරිමානයේ විනාශය නවතාලීම සදහා වහාම පියවර ගන්නා ලෙස බල කරමින් යාපනයේ පුංගුඩුතිව් දුපත් වාසී ධිවරයන් පිරිසක්ද ජුලි 19 වැනිදා පුංගුඩුතිව් ආලඩි හංදියේ සිට පුංගුඩුතිව් වෙරළ තීරය දක්වා විරෝධතා පා ගමණින් පැමිණි උද්ඝෝෂණයක් දියත් කර තිබුනි.
එදින එම ධිවරයන් පෙන්වා දී තිබුනේ ඔවුන් විසින් කකුළුවන් ඇල්ලීම සදහා එළා තිබු ලක්ෂ 75 ක පමණ වටිනාකමකින් යුත් දැල් ආම්පන්න ඉන්දීය ධිවරයන් විසින් විනාශ කර ඇති බවයි.
ශ්‍රී ලංකා මුහුදු පතුල සූරාගෙන යන ඉන්දීය යාත්‍රා සම්බන්ධයෙන් දේශපාලන නායක මට්ටමේ සාකච්ඡා තවදුරටත් පැවැත්වෙන්නේ නැති බව අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පළමු ඉන්දීය නිල සංචාරය නිමාවී දෙසතියක් ගත වීමටත් මත්තෙන් ශ්‍රී ලංකා රජය විසින් ප්‍රකාශයට පත් කර තිබුනි.
උතුරේ ධීවරයන් සෑහීමකට පත්වන තිරසාර විසඳුමක් නොදී දිල්ලියේදී නිමාවුනු නරේන්ද්‍ර මෝදි හා අනුර දිසානායක රාජ්‍ය නායක සාකච්ඡාවලින් අනතුරුව ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් 2024 වසරේ දෙසැම්බර් මාසයේ දී යාපනයේදී මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශයට පත් කර තිබුනේ සියළු සාකච්ඡා හමාර බවයි.
ධීවර අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ඉන්දීය නිලධාරීන් අතර සාකච්ඡා නතර නොවන නමුත් ඒ සාකච්ඡා දිගටම සිදු කෙරෙන්නේ තාක්ෂණික, වෘත්තීය ඇතුලු වෙනත් කාරණා සම්බන්ධයෙන් පමණක් බව අමාත්‍යවරයා එහිදි අවධාරණය කර තිබුනි.
