මැලේසියන් තානාපතිගෙන් ලාල් කාන්තට එරෙහිව පැමිණිල්ලක් !
1 min read
කෘෂිකර්ම ව්‍යාපෘතියක් සඳහා අවශ්‍ය පහසුකම් ලබාගැනීම පිණිස මෙරට ව්‍යාපාරිකයකුගේ සම්බන්ධීකරණය ඔස්සේ මැලේසියානු ව්‍යාපාරිකයකු අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත හමු වී තිබේ. එහිදී අමාත්‍ය ලාල් කාන්ත එම හමුවීම සම්බන්ධීකරණය කරන ලද මෙරට ව්‍යාපාරිකයාට පවසා ඇත්තේ රුපියල් මිලියන 10 ක් ලබාදෙන්නේ නම් අදාළ පහසුකම ලබා දිය හැකි බවය.
මෙම හමුවීම යොදා ගැනීමට පෙර අදාළ ව්‍යාපාරිකයා “වැඩේ කලොත්” මැලේසියානු ව්‍යාපාරිකයාගෙන් පක්ෂයට උදව්වක් ගත හැකි බව අමාත්‍ය ලාල් කාන්තට පවසා තිබී ඇත. එහෙත්, එපමණ මුදලක් ලබාදිය නොහැකි බව මැලේසියානු ව්‍යාපාරිකයා මෙරට ව්‍යාපාරිකයාට පවසා තිබේ. එම මුදල නොලැබෙන්නේනම් අදාල පහසුකම නොලැබෙන බව පවසා ඇති අමාත්‍ය ලාල් සිය සමීපතමයකු වූ රියදුරුගේ දුරකථන අංකය ලබා දී පවසා ඇත්තේ “වැඩේ කෙරෙනවනම් මෙයට කතා කරන්න” යනුවෙනි.
මේ පිළිබඳව බලවත් නොසතුටට පත් වූ මැලේසියානු ව්‍යාපාරිකයා පසුව මේ බව මෙරට මැලේසියාවේ මහකොමසාරිස් බඩ්ලි හිෂාම් ආදම් මහතා හමුවී පවසා එම කරුණු දැන ගැනීමෙන් පසුව මෙරට මැලේසියානු මහකොමසාරිස් විසින් ලිඛිතව අදාළ චෝදනාව ජනාධිපති ලේකම් වෙත යොමු කර ඇත.
මේ බව දැනගත් අමාත්‍ය ලාල් කාන්ත, එම හමුවීම සම්බන්ධීකරණය කරන ලද මෙරට ව්‍යාපාරිකයාට තර්ජනය කර බැන වැදී ඇත්තේ නැවත කිසිවකු තමන් හමුවීමට රැගෙන නොඑන ලෙස අවධාරණය කරමිණි.
මැලේසියාවේ මහකොමසාරිස් කාර්යාලය තම පැමිණිල්ල සම්බන්ධව ජනාධිපති කාර්යාලය ගනු ලබන පියවර පිළිබඳව විමසිල්ලෙන් සිටින බව අප වාර්තාකරු පවසනු ලබයි.
- රසික මීගහකුඹුර
