අපි බලය ගත්තේ ආපහු දෙන්න නෙමෙයි.. රට හදන්න පුළුවන් අපට විතරයි.. – මාලිමා මන්ත්‍රී
1 min read
ජාතික ජන බලවේගය ආණ්ඩු බලය ලබාගත්තේ එය නැවත පරාජිත දේශපාලන කල්ලි වෙත භාර දීමට නොව, ඉතිහාසය පුරා පීඩාවට පත් වූ පොදු ජනතාව වෙනුවෙන් රට ගොඩනැගීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් බියන්විල මහතා අවධාරණය කරයි.
පසුගියදා පැවැති ජන හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, “මේ රට හදන්න පුළුවන් අපට විතරයි. අපි මේ බලය ගත්තේ ආපහු දෙන්න නෙමෙයි. අපි මේ බලය ලබා දෙන්නේ අපෙන් පස්සේ මේ රටට ආදරය කරන අපේ පන්තියේ මිනිස්සුන්ට විතරයි” යනුවෙනි.
අතීතයේදී පාර්ලිමේන්තුව සහ නගර සභා නිර්මාණය කර තිබුණේ ප්‍රභූ පන්තියේ පිය උරුමයෙන් පුතුට බලය යන ක්‍රමවේදයකට වුවද, අද වන විට සාමාන්‍ය දුප්පත් මව්පියන්ගේ දරුවන් එම ස්ථාන නියෝජනය කරමින් සිටින බව ඔහු පෙන්වා දුන්නේය.
ආණ්ඩුව මාස දෙකකින් හෝ හයකින් වැටෙනු ඇතැයි පවසමින් විපක්ෂය ගෙන යන ප්‍රචාරයන් තමන්ගේ පාක්ෂිකයන් රඳවා ගැනීම සඳහා කරන බොරු සටන් පාඨ පමණක් බවත්, මෙම ආණ්ඩුව පෙරළිය නොහැකි බව ජනතාව බිම් මට්ටමින් තේරුම් ගෙන ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිසිවෙකු පුද්ගලික වරප්‍රසාද හෝ උවමනාවන් වෙනුවෙන් පැමිණ නොමැති බවත්, ඒ අතර සිටින කීර්තිමත් රාජ්‍ය නිලධාරීන්, වෛද්‍යවරුන්, ආචාර්යවරුන් සහ මහාචාර්යවරුන් සිය ඉහළ වැටුප් සහිත රැකියාවන් පවා අත්හැර ස්වේච්ඡාවෙන් රට වෙනුවෙන් සේවය කරන බවත් බියන්විල මහතා ප්‍රකාශ කළේය. ඔවුන්ගේ එකම අරමුණ ජනතාව බලාපොරොත්තු වන ලස්සන රටක් නිර්මාණය කිරීම බව ඔහු පැවසීය.
ඕනෑම පක්ෂයක සිටින දක්ෂ, හොරකම් සහ වංචා නොකරන පිරිස් රටේ ආර්ථිකය ගොඩනැගීමේ කාර්යයට සම්බන්ධ කර ගැනීමට ආණ්ඩුව සූදානම් වුවද, පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන් වෙනත් පක්ෂවලින් තම පක්ෂයට බඳවා ගැනීමේ “පිල්මාරු සංස්කෘතියට” තමන් ඉඩ නොදෙන බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය. ඒ සඳහා ඉදිරියේදී නව පනතක් ගෙන ඒමට ද බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ක්‍රීඩාව, කලාව ඇතුළු සියලු ක්ෂේත්‍ර ශක්තිමත් කරමින් මේ රට ලෝකයේ හොඳම රට බවට පත් කිරීමට තම රජය උපරිමයෙන් කැපවන බව ද සුනිල් බියන්විල මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
