ඇමැතිවරු තෙල්, ගල් අඟුරු, පොහොර ඉල්ලා හඬා වැටේ!
1 min read
මතුව තිබෙන අර්බුදකාරී තත්ත්වය හමුවේ පූර්ව ක්‍රියාමාර්ග නොගෙන ඇමරිකා එක්සත් ජනපදය පවසන අන්දමට තීරණ ගත් ආණ්ඩුව අවසන් මොහොතේ දී රුසියාවේ පිහිට පතන්නට පටන් ගෙන තිබේ.
ඉන්ධන, පොහොර සහ ගල් අඟුරු ලබා දෙන ලෙස ඉල්ලමින් පසුගිය 13 වැනිදා කොළඹ සිටින රුසියානු තානාපතිවරයා මුණගැසුණේ විදේශ ඇමති විජිත හේරත්, නියෝජ්‍ය මුදල් ඇමති අනිල් ජයන්ත සහ මහ බැංකු අධිපති නන්දලාල් යන තිදෙනා ය.
මෙහිදී තමන් ශ්‍රී ලංකාවට වාසිදායකව පෙරදී කරන ලද යෝජනාව පිළිගත්තේනම් අද ශ්‍රී ලංකාව අර්බුදයකට මුහුණ නොදෙන බව රුසියානු තානාපතිවරයා පෙන්වා දී තිබේ. කුඩා පරමාණු විදුලිය බලාගාරය පිළිබඳ යෝජනාව හා ගල් අඟුරු ඉතා අඩු මිලට රුසියාවෙන් සෘජුව ලබා ගැනීම යන යෝජනාවන්ට එකඟ වූයේ නම් අද මෙවැනි සාකච්ඡාවක් වුවමනා නොවන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
ආණ්ඩුවේ ඇමතිවරු දෙදෙනා දිගින් දිගටම පිංසෙන්ඩු වීම මත රුසියානු තානාපතිවරයා සිය රාජ්‍යයේ විදේශ අමාත්‍යංශ බලධාරීන් එම අවස්ථාවේදීම මේ පිළිබඳව දැනුවත් කර තිබේ. ඔවුන් උපදෙස් දී ඇත්තේ එරට නියෝජ්‍ය බලශක්ති අමාත්‍යවරයාව සම්බන්ධ කර ගන්නා ලෙසයි. ඒ අනුව, රුසියාවේ නියෝජ්‍ය බලශක්ති අමාත්‍යවරයා දුරකථන මගින් සම්බන්ධ කරගත රුසියානු තානාපතිවරයා ශ්‍රී ලංකාවේ ඉල්ලීම් ඉදිරිපත් කර ඇත.
එහිදී, රුසියානු නියෝජ්‍ය බල ශක්ති අමාත්‍යවරයා පවසා ඇත්තේ, ඉල්ලූම ඉටු කළ හැකි බවත්, නමුත් ඊට අදාළ ගෙවීම් භාණ්ඩ හා ද්‍රව්‍ය ලැබීමට පෙර සිදු කළ යුතු බවත් ය. එමෙන්ම මුදල් ගෙවිය යුත්තේ යුවාන් මුදල් එකකයෙන් බව ද අවධාරණය කර තිබේ.
මෙම කොන්දේසි ඉදිරිපත් කිරීමෙන් පසුව විජිත හේරත් අමාත්‍යවරයා මහ බැංකු අධිපතිගෙන් විමසා ඇත්තේ යුවාන් වලින් ගෙවන්න පුළුවන්ද යනුවෙනි. එයට ප්‍රතිචාර වශයෙන් මහා බැංකු අධිපතිවරයා පවසා ඇත්තේ ‘‘බෑ කියලා බෑනේ. දැන් මේක කරන්නම වෙනවනෙ“ යනුවෙනි. රුසියානු නියෝජ්‍ය බලශක්ති අමාත්‍යවරයා පවසා ඇති මුදල් ගෙවූ දින සිට අදාළ ද්‍රව්‍ය ලබාදීමට මාසයක කාලයක් ගතවීම පිළිබඳව අමාත්‍ය විජිත හේරත් ඉල්ලා ඇත්තේ එය ඊට වඩා කෙටි කර ගැනීමට නොහැකි වේද යන්නයි. මෙරට රුසියානු තානාපතිවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.
අමාත්‍ය විජිත හේරත් මීට පෙර ඉන්දියානු විදේශ ඇමති හමුවී තෙල් ඉල්ලා ඇතත්, ඉන්දියානු විදේශ ඇමති පවසා ඇත්තේ විවෘත ටෙන්ඩර් කැඳවිය යුතු බවත්, එම නියමිත දිනයේදී ලෝක වෙළඳපොලේ පවතින තෙල් මිල ගෙවිය යුතු බවත් ය.
ඒ අනුව ඉන්දියාවෙන් අපේක්ෂා කළ අන්දමේ පිහිටක් නොලැබෙන බව හැඟී යාම නිසා රුසියාවේ පිහිට පතන්නට ආණ්ඩුව තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවට කලින් දෙන්නට බලාපොරොත්තු වූ සහනදායී ක්‍රමයට දැන් කිසිවක් ලබා නොදෙන බව රාජතාන්ත්‍රික ආරංචි මාර්ග අවධාරණය කරයි.
කස්තුරි විජේසිංහ
