නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම: නීතිය ක්‍රියාත්මක කිරීමක්ද?.. දේශපාලන දඩයමක්ද?..
1 min read
2013 වසරේ සිදුවූ බව කියන එයාර්බස් (Airbus) ගනුදෙනුවට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබාදීමට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැය පහක දීර්ඝ ප්‍රශ්න කිරීමකින් අනතුරුව සැප්තැම්බර් 4 වනදා අත්අඩංගුවට ගන්නා ලදී.
ඉන් පසුව ඔහුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර, නැවත සැප්තැම්බර් 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තීරණය විය.
කෙසේ වෙතත්, මෙම අත්අඩංගුවට ගැනීම නීතිය සාධාරණව ක්‍රියාත්මක කිරීමක්ද නැතහොත් දේශපාලන දඩයමක්ද යන්න පිළිබඳව නීතිමය සහ දේශපාලනමය වශයෙන් ගැටලු රැසක් මතුවෙමින් පවතින බව ප්‍රකට මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා සඳහන් කරයි.
මෙම සිද්ධියට අදාළව දැනට අධිකරණ දෙකක නඩු කටයුතු දෙකක් පවතින අතර, එයින් එකක් වන්නේ 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේ අල්ලස් කොමිසම මගින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පවත්වනු ලබන විමර්ශනයයි. අනික් නඩුව වන්නේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවත්වනු ලබන ප්‍රධාන නඩුවයි. කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවේ 4 වන සැකකරු ලෙස නාමල් රාජපක්ෂ මහතා නම් කර තිබේ.
නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ඇති ප්‍රධාන චෝදනාව වී ඇත්තේ, එයාර්බස් ගනුදෙනුවෙන් ‘සේබර්විෂන් හෝල්ඩින්ග්ස්’ (Saber Vision Holdings) සමාගමට ලැබුණු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 8කට ආසන්න මුදලක් (රුපියල් මිලියන 100ක් පමණ) නාමල් රාජපක්ෂ මහතා වෙත ලබා දුන් බවට ව්‍යාපාරික නිමල් පෙරේරා නැමැත්තා ලබා දී ඇති දිවුරුම් ප්‍රකාශයයි.
කෙසේ වෙතත්, මෙම ක්‍රියාවලියේදී නීතිය සැමට එක හා සමානව ක්‍රියාත්මක වී තිබේද යන්න පිළිබඳව ප්‍රශ්න ගණනාවක් මතු වන බව ධර්මශ්‍රී කාරියවසම් මහතා පෙන්වා දෙයි.
2019 සහ 2020 කාලයේ මූල්‍ය අපරාධ කොට්ඨාසය (FCID) මගින් අධිකරණයට වාර්තා කර තිබුණේ නිමල් පෙරේරා යනු අසත්‍ය හා නොමග යවන තොරතුරු ලබා දුන්, විශ්වාස කළ නොහැකි පුද්ගලයෙකු බවයි. එසේ තිබියදී 2026 වන විට ඔහුගේ දිවුරුම් ප්‍රකාශය පමණක් පදනම් කරගෙන නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට තරම් ස්වාධීන සාක්ෂි සොයාගත්තේ කෙසේද යන්න ගැටලුවකි.
එමෙන්ම, අදාළ ගනුදෙනුවෙන් සිය සමාගම් ගිණුමට මුදල් ලැබුණු බව පිළිගෙන ඇති නිමල් පෙරේරා අත්අඩංගුවට නොගෙන, ඔහු ලබා දුන් ප්‍රකාශයක් මත පමණක් නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගත්තේ මන්ද යන්නත්, මුදල් ලබා දුන් බව තහවුරු කිරීමට බැංකු රිසිට්පත්, විද්‍යුත් තැපැල් (Emails), දුරකථන වාර්තා හෝ වෙනත් විද්‍යාත්මක සාක්ෂි තිබේද යන්නත් අල්ලස් කොමිසම පැහැදිලි කළ යුතුව තිබේ.
මෙම කරුණු සඳහන් කරන්නේ නාමල් රාජපක්ෂ මහතා නිදොස් කොට දැක්වීම අරමුණ නොවන බවත්, යම් තැනෙක වරදක් සිදුව ඇත්නම් ඊට දඬුවම් ලැබිය යුතු බවත් සඳහන් කරන ඒ මහතා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නීතිය සැමට එක හා සමානව ක්‍රියාත්මක වන්නේද යන්න සමාජය හමුවේ තැබීම මෙහි ප්‍රධාන අරමුණ බව වැඩිදුරටත් අවධානයට යොමු කරයි.
