හරිනි සමග රැයක් පවුම් 25 ට !
1 min read
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය සමඟ රාත්‍රී භෝජනය ගැනීමට බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට ආරාධනාපත් යොමු කර තිබේ. එහෙත්, ඒ සඳහා එක් පුද්ගලයෙක් පවුම් 25 ක මුදලක් ගෙවිය යුතුව ඇත.
මෙම මැයි මස 26 දින සවස 7.00 ට ක්‍රිස්ටල් ග්‍රෑන්ඩ් Banqueting Hall හි දී මෙම රාත්‍රී හමුව සිදුකෙරෙන බව වාර්තා වේ. ඒ සඳහා සහභාගිවීමට කැමැත්තක් දක්වන පුද්ගලයින් මැයි 19 ට පෙර ඊට ලියාපදිංචි විය යුතුව තිබේ.
අගමැතිනිය බ්‍රිතාන්‍යයට යන්නේ රාජකාරිමය අවශ්‍යතාවකට ද යන්න පැහැදිලි නැත. කෙසේ වෙතත් මෙම රාත්‍රී හමුව සංවිධානය කරනු ලබන්නේ කුමන ආයතනයක් හෝ සංවිධානයක් මගින් දැයි ඊට අදාළ ආරාධනා පත්‍රයේ සඳහන් කර නැත. වැඩිදුර කරුණු විමසීම සඳහා දුරකථන අංක 3 ක් එහි දක්වා ඇතත්, එම දුරකථන අංක අමතා සම්බන්ධ කරගත යුතු පුද්ගලයන්ගේ නම් ද එහි දැක්වෙන්නේ නැත. එබැවින් මෙය, කිසියම් පිරිසක් අගමැතිනිය විකුණා මුදලක් ඉපැයීමට සිදුකරන වංචාසහගත ක්‍රියාවක් ද යන සැකය බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් අතර ඇති වී තිබේ.
– නන්ද විතානගේ –