විනාශයට කියන තවත් නමක් ?
1 min read
මේ ඉන්නේ දෙමළ ඊලාම් කොටි ත්‍රස්තවාදය සහ ශ්‍රී ලංකා රාජ්‍යය අතර වූ ගැටුම සිය මතකයේ සජීවීව ඇතැයි සිතිය නොහැකි උතුරේ දෙමළ දියණියකි. ඇයගේ පෙනුම දෙස බලා වයස අවුරුදු 20 ක් යැයි සිතූවද, මානුෂීය මෙහෙයුම නිමා වන විට ඇයගේ වයස අවුරුදු 3 ක් පමණ විය යුතුය. වයස අවුරුදු 3 ක දියණියකට ඒ ගැන සජීවී කල්පනාවක් තිබීමට ඉඩක් නොවේ.
එහෙත් මේ දියණිය මේ සිටින්නේ වෙල්ලිමුල්ලි වෛක්කාල් වල ය. ඇය සහභාගි වී සිටින්නේ, “ජන සංහාරක සතිය” නමින් උතුරේ පැවැත්වෙන කොටි සමරුවටය. ආණ්ඩුවට හා සිංහල කොටි හිතවාදින්ට අනුව මෙහි පැවැත්වෙන්නේ මියගිය වුන් සැමරීමය. ඇත්තටම සිදුවන්නේ මියගිය පුද්ගලයන් ඔවුන්ගේ ඥාති හිත මිත්‍රාදින් විසින් සැමරීමනම්, එය දෙස උපේක්ෂාවෙන් බලා විඳදරා ගැනීමට කාට කාටත් හැකි විය යුතුය. එහෙත්, ඇත්තටම සිදුවන්නේ එයම ද?
තම මියගිය වුන් සැමරීමට මේ දියණියගේ බෙල්ලේ දෙමළ ඊළාම් සිතියමට අනුකූල තැල්ලක් සහිත මාලයක් පැළඳ ඇත්තේ කුමකට ද? ඇය හැඳ සිටින්නේ කොටි සංවිධානයේ වර්ණය වූ රතු සහ කහ පැහැති ඇඳුම්ය. පැළඳ සිටින්නේ දෙමළ ඊළාම් සිතියම සෑදූ තැල්ලක් සහිත මාලයක්ය. ආණ්ඩුවටත්, මෙහි සිටින සිංහල කොටියන්ටත් අනුව, ඇය සමරන්නේ මියගිය ඥාතින් ය.
මියගිය ඥාතින් සැමරීමේ මුවාවෙන් මේ කරන්නේ ශ්‍රී ලංකාව බෙදා වෙන් කිරීමේ උමතු මතවාදය යළි බලගැන්වීමය. රාජ්‍යයක තාවකාලික බාරකරුවන්, එකී රාජ්‍යය දෙකඩ කර දුබල හා විනාශකාරී ඉරණමකට ඇද හෙලන ජාතිවාදී, ෆැසිස්ට්වාදී ව්‍යාපාරයකට නිදහසේ වැඩෙන්නට ඉඩ ලබා දෙන්නේනම්, එම තාවකාලික බාරකරුවා රාජ්‍ය විරෝධීය. නොමැතිනම්, එම බාරකරුවා රාජ්‍යයට සතුරුය. රාජ්‍යයට මිතුරු බාරකරුවකු යටතේ රාජ්‍ය පවතින විට, රාජ්‍ය බෙදා වෙන්කරන බෙදුම්වාදී දේශපාලන මතය මෙලෙස ප්‍රවර්ධනය කිරීමට ඉඩ ලැබෙන්නේ නැත. වැටත් නියරත් ගොයම් කා නම්, කාට කියමුද ඒ අමාරුව ? යනුවෙන් අපේ පැරැන්නන් කියූවේ මේ අන්දමේ තත්වයකදී ය.
මේ දියණිය ප්‍රවර්ධනය කරනු ලබන මතවාදය ශ්‍රී ලංකා රාජ්‍යය ආර්ථිකමය වශයෙන් බිඳවැට්ටවීමට ඉවහල් විය. මිනිසුන් මිනිසුන් මරා ගැනීමට දායක විය. ශ්‍රී ලංකාව ජාත්‍යන්තරව කෙලෙසීමට හේතු විය. කෙටියෙන් පැවසුවහොත්, එම මතවාදය විසින් සිදුකරන ලද විනාශය තරම් විනාශයක් අන් කිසිදු මතවාදයකින් සිදු නොවීය.
දැන්, මේ නැවත පන දෙන්නේ එම අරමුණටම නොවේ ද ? නැවත නිදහස ලබා දී ඇත්තේ ඒ විනාශකාරී භාවිතාවටම නොවේ ද ? මේ ජීවය දෙන්නේ ඒ ලේ වැකි ශාපරාදී “උරුමයට”ම නොවේ ද ? සංහිඳියාව හෝ සාමය යනු, විනාශය සඳහා දෙනු ලබන බලපත්‍රයක් විය යුතු ද ? නොඑසේනම්, සංහිඳියාව හෝ සාමය යනු, මිනීමරු ජාතිවාදී ෆැසිස්ට්වාදී මතයට නිදහසේ වැඩෙන්නට දෙනු ලබන ආරාධනා පතක් ද ?
නොන්ඩි ගහන ආණ්ඩුවේ චන්ඩි උත්තර දිය යුත්තේ මේ ප්‍රශ්න වලට ය. වටේ කැරකුනාට වැඩක් නැත.