මිසයිල හිඟයක් හේතුවෙන් ඉරානයට එල්ල කරන ගුවන් ප්‍රහාර තාවකාලිකව නැවැත්වීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කරයි
1 min read
අමෙරිකානු ගුවන් ආරක්ෂක මිසයිල තොග (Air Defense Missile Stockpiles) ශීඝ්‍රයෙන් පහත වැටීමේ අවදානම සැලකිල්ලට ගනිමින්, ඉරානයට එල්ල කරන ගුවන් ප්‍රහාර තවත් පුළුල් කිරීමට සැලසුම් කර තිබූ යුද මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබේ. වොෂින්ටන් නුවරින් ලැබෙන ආරක්ෂක වාර්තා උපුටා දක්වමින් ‘ද නිව්යෝර්ක් ටයිම්ස්’ (The New York Times) පුවත්පත මේ බව වාර්තා කරයි.
ජනාධිපති ට්‍රම්ප් සහ ඔහුගේ ඉහළ පෙළේ ආරක්ෂක උපදෙස් මණ්ඩලය අතර 2026 ජූලි මස 26 වැනිදා පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත. මෙහිදී අමෙරිකානු ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ ප්‍රධානී ජෙනරාල් ඩෑන් කේන් පෙන්වා දී ඇත්තේ, ඉරානයට එරෙහිව මහා පරිමාණ මෙහෙයුම් දියත් කිරීමේ හැකියාව පැවතියද, මැදපෙරදිග අමෙරිකානු මධ්‍යම බලඇණිය (CENTCOM) සතු ගුවන් ආරක්ෂක මිසයිල තොග මෙමඟින් සම්පූර්ණයෙන්ම අවසන් වීමේ දැඩි අවදානමක් පවතින බවයි.
පසුගිය සති කිහිපය පුරා අමෙරිකාව විසින් ඉරාන හමුදා ඉලක්ක වෙත රාත්‍රී කාලයේදී දිගින් දිගටම ගුවන් ප්‍රහාර එල්ල කරන ලද අතර, ඉරානයද කලාපයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරගනිමින් ප්‍රතිප්‍රහාර එල්ල කළේය. කෙසේ වෙතත්, ගුවන් ආරක්ෂක මිසයිල පද්ධති සඳහා යොදාගන්නා මිසයිල (Interceptors) සීමිත මට්ටමක පැවතීම හේතුවෙන්, ප්‍රහාර තවදුරටත් දැඩි කිරීම ආරක්ෂක අතින් අවදානම් සහගත බව අමෙරිකානු ආරක්ෂක අංශ තීරණය කර ඇත.
මීට අමතරව, ඉරානයට එරෙහිව යුදමය ක්‍රියාමාර්ග තවදුරටත් දැඩි කිරීම මඟින් එරට රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා සඳහා යොමු කරවාගත නොහැකි බවත්, එයින් සිදුවන්නේ කලාපීය යුද උණුසුම තවදුරටත් ඉහළ යාම පමණක් බවත් අමෙරිකානු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පෙන්වා දී තිබේ. ඒ අනුව මේ වන විට දෙපාර්ශවය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය තාවකාලිකව සමනය වී ඇති බව වාර්තා වේ.
