“දිනන-තුරු” ගහන “මරේ මරු ගේම”
1 min read
මැයි දින වේදිකාවේ දී ටිල්වින් සිල්වා කීවේ අපූරු කතාවකි. ඔහු කීවේ ගල් අඟුරු ගැන සොයන කොමිෂම තව මාස තුණකින් තීරණය දෙනු ඇති බවත්, ඒ තීරණය මගින් තමන්ගේ ඇමති නිදොස්කොට නිදහස් වී, කලින් හිටපු ඇමතිවරයෙකු වැරදිකරු වනු ඇති බවත් ය. ටිල්වින්ගේ දේශපාලන ධාරිතාවයේ තරම හොඳටම එලියට පැන්නේ මෙතැනදීය.
මේ වන විට ටිල්වින් කළ කතාවෙන් කොමිෂමේ කලිසම ගැලැවී තිබීම ගැන බොහෝ දෙනා මත ඵල කර තිබේ. අප මේ හදන්නේ ඒ මතයම යළි සටහන් කිරීමට නොවේ. එහෙත්, එමගින් හෙළි වන වෙනත් වැදගත් කරුණක් තිබේ. ඒ ගැන කීම මේ සටහනේ එකම අරමුණ වේ.
ජනාධිපති විශේෂ විමර්ශණ කොමිෂමක් දැමූ විට, එමඟින් එන නිර්දේශ බලසම්පන්නය. සාමාන්‍ය ජනාධිපති කොමිෂමකට වඩා ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් බරපතලය. මෙවර එම කොමිෂමට පත්කර ඇත්තේ ද දැනට සක්‍රිය සේවයේ සිටින විනිසුරන්මය. එබැවින් එහි බරපතලකම තවත් වැඩිය.
එසේ වී තිබියදී ජ.වි.පෙ. අධ්‍යාත්මික නායක ටිල්වින් සිල්වා ඒ කොමිෂමේ කලිසම ගලවා ජුන්ඩා ද පෙන්වූයේය. දැන් ඉතින් ඒ කොමිෂම ඉන්නේ හෙළුවැල්ලෙන්ය. කොමිෂම අදාළ කරුණ විභාග කොට ගන්නා අවසන් තීරණයත්, එයට ගතවන කාලයත් දැන් ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්‍රකාශයට පත්කර අවසන්ය. කොමිෂම පට්ට අමාරුවකට ඇද දැමුවේ විපක්ෂය නොවේ. ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ය.
ටිල්වින් සිල්වා මේ ප්‍රකාශය කළේ ඔහු ස්වභාවයෙන්ම ලාමක ටිං ටිං නිසා ද? එනම්, අපරිණත නිසා ද? නොමැතිනම්, කොමිෂම මගින් ජනාධිපති අනුර තම ගජ මිතුරා වූ හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිව බේරන්නට දරණ වෑයම පරාජය කළ යුතු යැයි ඔහු ඇතුළු ජ.වි.පෙ. කල්ලියක් විශ්වාස කරන නිසාද? අවධානයට ලක් කළ යුතු වැදගත්ම ප්‍රශ්ණය වන්නේ මෙය නොවේද?
ටිල්වින් ගේ මේ ප්‍රකාශය මගින් රෙද්ද ගැලවුණේ කොමිෂමට පත් කළ විනිසුරුවන්ගේය. ඔවුන් තම ආත්මගරුත්වය හා වෘත්තීමය ස්වාධීනත්වය ගැන අබමල් රේණුවක තැකීමක් ඇත්තවුන්නම් ඔවුන් මෙහිදී තෝරා ගනු ඇත්තේ විකල්ප දෙකකි. එකක්නම් වහාම කොමිෂමෙන් ඉල්ලා අස්වීමය. දෙවැන්න නම්, කොමිසමේ විභාගය සිදුකර ටිල්වින් කී තීරණයට හාත්පසින්ම වෙනස්, නිවැරදි තීරණය ලබා දී තම ස්වාධීනත්වය පෙන්වීමය.
කොමිෂමට පත් කළ විනිසුරන් තවමත් ඉල්ලා අස් වී නැත. එසේ නම්, එයින් කියැවෙන්නේ ඔවුන් තම දෙවැනි විකල්පය තෝරා ගනු ඇති බවද? නොමැතිනම්, ටිල්වින් විසින් ගැලවූ ඇඳුම් රහිතව ටිල්වින් විසින්ම ප්‍රකාශයට පත් කරන ලද ජනාධිපතිවරයාගේ තීරණය, විභාගය අවසන ලබා දෙනු ඇති බවද?
ටිල්වින් විසින්ම “ට්‍රෙිලර්” දමන ලද තීන්දුවමනම් කොමිසම දෙනු ඇත්තේ, එයින් ගැලවෙන්නේ නීතියේ රෙද්දය. ඒ රෙද්ද ගැලවුණු විට යළි ඇන්දවීම ලෙහෙසි පහසු වන්නේ නැත.
කොමිසමේ විනිසුරන් තම රෙද්ද ගැන මෙන්ම නීතියේ දෙවඟනගේ රෙද්ද ගැන ද සිතන්නේනම් තෝරාගන්නේ අප ඉහත කී විකල්ප දෙකෙන් එකක් ය. ඒ දෙකෙන් කෝක තේරුවත් ගැලවෙන්නේ කොමිෂම පත් කළ ජනාධිපති අනුරගේ රෙද්දය.
ටිල්වින්ට වුවමනා වූයේ ජනාධිපති අනුරගේ රෙද්ද ගැලවීමට ද? ජනාධිපති අනුර, ජ.වි.පෙ. න් ඈත්වී තම ගජ මිතුරු රැළක් සමඟ ආණ්ඩුකරණය කිරීමේ ගමනට කෙළවන්නට ද? එසේනම් ටිල්වින් කර ඇත්තේ ලාමක ටිං ටිං වැඩක් කියා අපට කිව නොහැකිය.
එවැනි සිතුවිල්ලක් ටිල්වින්ට නොමැතිව, ඉහත කී ප්‍රකාශය ඔහු කළේනම්, එයින් කියැවෙන්නේ ටිල්වින් ලාමක ටිං ටිං බවය.
රාජ්‍ය පාලනයේදී තිබිය යුතු සංයමය හා පරිණතභාවය නොමැති ලඟ චූන් කෙටි දුර ධාවකයකු මිස, දිගු දුර ධාවකයකු ලෙස ටිල්වින්ව සැලකිය නොහැකි බවය.
රාජ්‍ය පාලනය යනු, ලඟ චූන් ක්‍රියාදාමයක් නොවේ. ලඟ චුන් ගන්නට යෑම තරම් අවධානමක් රාජ්‍ය පාලනයේ දී ඇත්තේම නැති තරම්ය. ටිල්වින් ලඟ චූන් කාරයෙක්ද? නොමැතිනම්, අනුර කුමාරගේ ගජ මිතුරු වලල්ලේ හොරාකෑමේ මෙහෙයුම වලකාලනු පිණිස බාහිරට වටහාගත නොහැකි අන්දමේ “පාවාදීමක්” සිදු කරනු ලැබූ අයෙක්ද? මේ ප්‍රශ්ණයට උත්තර දෙනු ඇත්තේ කොමිෂමය. කොමිෂමේ අවසන් උත්තරය විසින් එක්කෝ ටිල්වින් ගේ රෙද්ද ගලවනු ඇත. නොමැති නම් අනුර ගේ රෙද්ද ගලවනු ඇත. එසේත් නොවේනම් කොමිෂම තමන්ගේම ගැලවී ඇති රෙද්ද විසිකර හෙළුවෙන්ම වේදිකාවෙන් බැස යනු ඇත. එසේ බැස යනු ඇත්තේනම්, කොමිෂම බැස යනු ඇත්තේ අමුම අමු හෙළුවෙන් ය.
නීතියේ කන්‍යාවිය සිටිනුයේ දෑස් රෙදි කඩකින් වසා දමාය. ඇය මේ ගැන කිසිත් දන්නේ නැත. රෙදි කඩකින් හෝ ඇබයකින් වසා දමා ඇතැයි නොපෙනුනාට ඇයට කන් ඇසෙන්නේ ද නැත. ගඳ සුවඳ තේරෙන්නේ ද නැත. ඒ නිසා අපට ඇත්තේ වෙන දේ අනුව තීරණය කිරීමය. “දිනන-තුරු” ටිල්වින්ට කාල් මාක්ස්ගේ පිහිටමය !
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.