September 13, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ජාතිකවාදී කඳවුර විනාශ කර පෙට්ටියෙ අවසන් ඇණයත් ගසා ඉවරයිද..? තවදුරටත් ජාතිකවාදී කඳවුරක් තියෙනවාද…?

1 min read

ඉතිහාසය විසින් අපිට උගන්වපු සදාකාලික පාඩම සහ අළු දූලි මතින් ලියැවෙන ජාතිකවාදයේ නූතන දේශපාලන යථාර්ථය මදක් කියවා බලමුද..?

කවුරු කැමති වුණත් අකමැති වුණත්, මේ රටේ දේශපාලන පොළොව උඩුයටිකුරු කරපු, ආණ්ඩු හදපු සහ ආණ්ඩු ගෙදර යවපු ප්‍රධානම සහ බලපෑම් සහගතම දේශපාලන ප්‍රවාහය තමයි ජාතිකවාදී කඳවුර.

හැබැයි ඉතිහාසය පුරාම මේ කඳවුර එකම තැනක තිබුණේ නැහැ. දරුණුම විදිහට ඇදගෙන වැටුණු අවස්ථා වගේම, හැමෝම පුදුම කරවමින් අළු දූලි මතින් නැගිටපු අවස්ථාත් මේ ඉතිහාසය ඇතුළේ ඕනෑතරම් ලියැවිලා තියෙනවා.

මුලින්ම අපි හැමෝම පටලවාගන්නා, නැත්නම් ඇතැම් පිරිස් උවමනාවෙන්ම පටලවන එක කතාවක් පැහැදිලිවම කතා කරලා ඉන්න ඕනේ. ඒ තමයි ජාතිකවාදය සහ ජාතිවාදය අතර තියෙන වෙනස.

ජාතිකවාදය කියන්නේ තමන් උපන් දේශයට, ඒකේ අනන්‍යතාවයට, දේශීය ආර්ථිකයට සහ ස්වෛරීභාවයට ආදරය කරන ප්‍රගතිශීලී, සබුද්ධික චින්තනයක්. ජාතිකවාදියා තමන්ගේ රට රැකගන්න ගමන්ම අනිත් ජාතීන්ගේ අයිතිවාසිකම්වලටත් ගරු කරනවා.

ජාතිවාදය කියන්නේ තමන්ගේ ජාතිය විතරක් උසස් කියලා හිතලා, අනිත් මිනිස්සුන්ට වෛර කරන, ක්‍රෝධය පතුරවන සහ අන්‍යයන්ව පීඩාවට පත්කරන අතිශය විනාශකාරී මානසික ව්‍යාධියක්.

හරියට දෙමල ඩයස්පෝරාව, ඉස්ලාම් අන්තවාදීන් වගේ කණ්ඩායම් වගෙ….

අපේ රටේ ජාතිකවාදය කියන්නෙ සිංහල බෞද්ධ සංස්කෘතික සංකල්පයක්. ඒක බටහිර රටවල සංස්කෘතික සංකල්පයක් වන “නැෂනලිසිම් ( Nationalism) කියන සංකල්පය සමග 100% ක්ම සමපාත වෙන්නෙ නෑ.

ලංකාවෙ විතරක් නෙවෙයි මුළු ලෝකයේම රටවල් වල Nationalism කියන එක ඒ රටවල අනන්‍යතාව යටතේ වෙනස් ..

1956 ඉදන්ම මේ රටේ චන්ද වලදි තීරණාත්මක බලවේගය උනේ ජාතිකවාදී කඳවුර…

බොහෝ අවස්ථාවලදි ජාතිකවාදී කඳවුර ගොනු උනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ වැනි අන්ත දක්ෂිණාංශිකත් නොවන අන්ත වාමාංශිකත් නොවන මැද මාවතේ පක්ෂ වටා.

පසුකාලීනව මේ ජාතිකවාදී කඳවුර අත්පත් කරගන්නට මහින්ද රාජපක්ෂ සමත් වෙනවා.

ලංකාවේ ජාතික කඳවුර කියන්නේ නිරන්තරයෙන්ම මේ රටේ දේශපාලන බල තුලනය උඩුයටිකුරු කළ අපූරු සත්ව කොට්ඨාශයක්..

1948 නිදහස ලැබුණු මුල් යුගයේදී රටේ පාලනය අයිති වුණේ බටහිර ලැදි, ඉංග්‍රීසි උගත් ප්‍රභූ පන්තියට.

එතනදී දේශීය අනන්‍යතාවය පසෙකට තල්ලු වෙලා ජාතිකවාදී මතවාදය දරුණු පසුබෑමකට ලක්වුණා.

ජනප්‍රිය පුවත්  මහනුවර බැංකු මාෆියාව, NDB රු. බිලියන 13.2 මංකොල්ලය, භාණ්ඩාගාර වංචාව සහ මහ බැංකු අධිපතිගේ පිළිවෙත

2002-2004 සාම ගිවිසුම් යුගයේදි ආණ්ඩුව LTTE සංවිධානය එක්ක අත්සන් කරපු සටන් විරාම ගිවිසුම නිසා රටේ ඒකීයභාවයට දැඩි තර්ජනයක් මතු වුණා.

2015 ජනවාරි 08 වෙනිදා සිරිසේනගෙ යහපාලන ආගමනයත් සමග මේ රටේ සදාතනික නායකයා වේවි කියලා බොහෝ දෙනෙක් විශ්වාස කරපු මහින්ද රාජපක්ෂව ජනතාව පරාජය කරලා ගෙදර යැව්වා.

2015 යහපාලනය විසින් ලිබරල් සහ සුළුතර දේශපාලන බලවේග එකතු වෙලා ජාතිකවාදී කඳවුර දේශපාලන පිටියේ කොන් කරලා දැම්මා.

2022 ඇති වූ අරගලය එක්කම තුනෙන් දෙකක අතිමහත් බලයක් තිබුණු ජාතිකවාදී කඳවුර සුණු විසුණු වෙලා ගියා.

ගෝඨාභය රාජපක්ෂ මේ රටෙන් පලා යාමත් සමගම ඇත්තටම දේශපාලන පිටියෙ හුදකලා උනේ, අසරණ උනේ, නන්නත්තාර උනේ වෙන කවුරුවත් නෙවෙයි මෙන්න මේ අවංක ජාතිකවාදීන් කියන කොටස.

ගෝඨාභය රාජපක්ෂ දිනුවෙ 99.99 ක්ම ජාතිකවාදී චන්ද වලින්. ඔහු ඒ බව ජනාධිපතිවරයෙක් ලෙස දිවුරුම් දෙන මොහොතේ පවා කිව්වා. ඒ ප්‍රකාශයම පසුකාලීනව ඔහුට පළවා හරින්නට පාරාවළල්ලක් බවට පත් උනා.

අද මේ සැබෑ ජාතිකවාදීන්ට තමන්ට කියලා ප්‍රබල නායකයෙක් නෑ. ජාතිකවාදි කඳවුර කෑලි කෑලි වලට කැඩිලා.

අනුර කුමාර දිසානායකගෙ ජනාධිපති ජයග්‍රහණයට සහ වර්තමාන පැවැත්මට ආශිර්වාදය වෙලා තියෙන ප්‍රධාන හේතුවත් මෙන්න මේ ජාතිකවාදී කඳවුරේ ඛණ්ඩනය….

හැබැයි මේ වැටුණු හැම වතාවකම ජාතික කඳවුර අළු දූලි මතින් නැගිට්ටේ කාටවත් හිතාගන්න බැරි විදිහට..

1956 ජනතා පෙරළිය හොඳම උදාහරණයක්…

බණ්ඩාරනායක මහතා සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු කියන “පංච මහා බලවේගය” පෙරටු කරගෙන කරපු දේශපාලන පෙරළියෙන් පළමු වතාවට ජාතිකවාදී කඳවුර රාජ්‍ය බලය අත්පත් කරගත්තා.

1972 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව සම්පාදනය කරලා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය බ්‍රිතාන්‍ය කිරීටයෙන් සම්පූර්ණයෙන්ම මිදිලා ලංකාව නිදහස් ජනරජයක් බවට පත් කරමින් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදීලා ජාතිකවාදී මතවාදය ව්‍යවස්ථාපිතවම ශක්තිමත් කළා.

2005 දි ජාතික බලවේගවල සහාය ඇතිව මහින්ද රාජපක්ෂ බලයට පැමිණ 2009 දී ත්‍රස්තවාදය පරාජය කිරීම හරහා ලංකාවේ ජාතිකවාදී කඳවුර ඉතිහාසයේ බලවත්ම සහ උපරිම නැගිටීම සනිටුහන් කළා.

ජනප්‍රිය පුවත්  කාදිනල් අත්අඩංගුවට ගැනීම අනාගතයේ වැළැක්විය නොහැකි තත්ත්වයකි.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ රටේ ජාතික ආරක්ෂාව ගැන මතු වුණු දැඩි අවිශ්වාසයත් එක්ක, ගෝඨාභය රාජපක්ෂ මහතා වටා ලක්ෂ 69ක අතිමහත් ජනවරමක් එකතු වුණේ ජාතිකවාදී බලවේගවල දැවැන්ත පිබිදීමක් එක්කයි.

මෙන්න මේ ජාතිකවාදී කඳවුර නැවත එකතු වෙන දවසට අනුර කුමාර දිසානායකලාගෙ දේශපාලන මළගම ලියවෙනවා..

ඉතිහාසය මේ සඳහා සපයලා තියෙන උදාහරණ ඇති පදම් තියෙනවා..

අපේ රටේ විතරක් නෙවෙයි ලෝකය දිණුව බොහෝ රටවල්වල දියුණුවෙ රහස මේ ජාතිකවාදය..

තමන්ගේ රටේ ස්වාධීන ජාතිකවාදී චින්තනය සහ දේශීය ආර්ථික දැක්ම පසෙකලා, බටහිර ලිබරල්වාදී උගුල්වලට හෝ බාහිර බලවේගවල න්‍යාය පත්‍රවලට රැවටුණු රටවල් අද මුළුමනින්ම විනාශ වෙලා ඉවරයි.

මුඅම්මර් ගඩාෆිගේ දැඩි ජාතිකවාදී සහ දේශීය සම්පත් රැකගැනීමේ ප්‍රතිපත්තිය නිසා අප්‍රිකාවේ ධනවත්ම රටක් වුණු ලිබියාව, බටහිර මැදිහත්වීම් සහ අභ්‍යන්තර ලිබරල්වාදී බලවේග එකතු වෙලා ගඩාෆිව ඝාතනය කරලා ජාතික පාලනය බිඳ දැමීමෙන් පස්සේ, අද ගෝත්‍රික යුද්ධවලින් ගිලී ගිය, ආර්ථිකය සම්පූර්ණයෙන්ම විනාශ වුණු අසාර්ථක රාජ්‍යයක් (Failed State) බවට පත්වෙලා තියෙනවා.

යුක්රේනය, තමන් සතු වුණු භූදේශපාලනික බුද්ධිය සහ ස්වාධීන ජාතිකවාදී ස්ථාවරය පසෙකලා, බටහිර රටවල් සහ නේටෝ (NATO) සංවිධානයේ බොරු පොරොන්දුවලට රැවටිලා වැඩ කරපු නිසා යුක්රේනය අද ලෝක බලවතුන්ගේ යුද පිටියක් වෙලා මුළු රටම සුන්බුන් ගොඩක් වෙලා හමාරයි.

රටක ජාතික ආරක්ෂාව බාහිර බලවතුන් මත තැබීමේ ආදීනව යුක්රේනය මුළු ලෝකයටම ඔප්පු කරලා ඉවරයි.

වෙනිසියුලාව, තමන් සතු සුවිශාල තෙල් සම්පත කළමනාකරණය කරගන්න ශක්තිමත් ජාතික නිෂ්පාදන ආර්ථික ප්‍රතිපත්තියක් හදනවා වෙනුවට, ජනප්‍රියවාදී සහ බාහිර ආනයන මත විතරක් යැපෙන ආර්ථිකයකට හසුවුණු නිසා ලොව ඉහළම උද්ධමනයක් සහිත, ජනතාව රට අතහැර යන අගාධයකට ඒ රට ඇද වැටුණා.

බාහිර ණය සහ IMF කොන්දේසි මත විතරක් යැපෙන ආර්ථික රටාවකින් මිදෙන්න නම්, දේශීය කෘෂිකර්මාන්තය සහ දේශීය ව්‍යවසායකයා සුරැකීමේ “ජාතිකවාදී ආර්ථික දැක්ම” නැවත ප්‍රතිපත්ති සම්පාදනයට එක්විය යුතුමයි.

අපට මෙහිදී භූදේශපාලනික සහ ස්වෛරීභාවය අමතක කරන්නම බෑ.

ඉන්දියානු සාගරයේ පවතින ලෝක බලවතුන්ගේ බිහිසුණු තරඟකාරිත්වය හමුවේ ලංකාවේ වරායවල්, ගුවන් තොටුපළවල් සහ බලශක්ති පද්ධතීන් බාහිර බලවතුන් සතු වීම වැළැක්වීමට සහ රටේ ස්වාධීනත්වය රැකගැනීමට ශක්තිමත් ජාතිකවාදී පවුරක් අවශ්‍යයි.

ජනප්‍රිය පුවත්  දෙමාපියනි, ගුරුවරුනි, දැන් සැපද?

සංස්කෘතික අනන්‍යතාවය රැකගැනීමට එනම් ගෝලීයකරණ රැල්ල හමුවේ මෙරට සාම්ප්‍රදායික පවුල් සංස්ථාව, සංස්කෘතික සාරධර්ම සහ ඓතිහාසික උරුමයන් වේගයෙන් දියවෙමින් පවතිනවා.

නවීන තාක්ෂණයට ගැළපෙන, උගත් වෘත්තිකයන්ගෙන් සැදුම්ලත් “නව ජාතිකවාදී බලවේගයක්” බිහිවීම වර්තමානයේ රට මුහුණ දෙන දේශපාලන හා ආර්ථික අස්ථාවරත්වයට තියෙන එකම ස්ථිරසාර විසඳුමයි
ජාතියක ආත්මය බඳු මේ අනන්‍යතාවයන් රැකගත හැක්කේ සබුද්ධික ජාතිකවාදී අවදිවීමකින් විතරයි
අද ලෝකයේ බලවත්ම රටවල් පාලනය වෙන්නෙත් ජාතිකවාදී මතවාදයන් මත.

ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ “America First” ප්‍රතිපත්තිය, ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදිගේ “Make in India” දේශපාලනය මෙන්ම යුරෝපය පුරා (ප්‍රංශය, ඉතාලිය, හංගේරියාව) දැනට ශක්තිමත් වන දක්ෂිණාංශික ජාතිකවාදී බලවේග මීට කදිම නිදසුන්.

ඉන්දියාවෙ චිත්‍රපටයක් ගත්තත් ක්‍රිකට් මැච් එකක් ගත්තත් හැම තැනකදිම ඔවුන් මුල් තැන දෙන්නෙ ඔවුන්ගෙ ජාතික කොඩියට. ඒ තමයි ඔවුන්ගෙ ජාතිකවාදයෙ සලකුණ.

මාවෝ සේතුංලා, පුටින් ලා වැනි අන්ත වාමාංශික නායකයින් පවා අනුගමනය කරේ මෙන්න මේ ජාතිකවාදී චින්තනය.

ඒ නිසා මේ ජාතිකවාදී කඳවුර කියන එක කවදාවත් මරන්න බෑ. ජාතිකවාදී කඳවුර නැතුව කවුරු හරි මේ රටේ මැතිවරණයක් දිනන්න හිතනවා නම් ඒක හිතළුවක් විතරයි.

අනාගත මැතිවරණ වලදිත් තීරණාත්මක සාධකය වන්නෙ ජාතිකවාදී කඳවුරේ චන්ද ටික.
ජාතිකවාදී කඳවුර විනාශ කරන්න උත්සාහ කල හැමෝටම ඉතිහාසය විසින් උරුම කර දුන්නේ අතිශය භයානක ඛේදාන්තයක්..

හැබැයි, රටේ සංස්කෘතියට, අනන්‍යතාවයට හෝ ස්වෛරීභාවයට තර්ජනයක් එල්ල වන සෑම අවස්ථාවකදීම, ජාතිකවාදී කඳවුර නැවතත් විශ්මිතව නැගිටිනවා.

සාම්ප්‍රදායික ජාතිකවාදී පක්ෂ බිඳවැටීම නිසා අද දේශපාලන පොළොවේ දැවැන්ත මතවාදී හිස්තැනක් නිර්මාණය වෙලා.

අන්න ඒ නිසාම, වර්තමාන දේශපාලන සන්දර්භය ඇතුළේ ප්‍රගතිශීලී, සබුද්ධික ජාතිකවාදී කඳවුරක පුනරාගමනය රටට අත්‍යවශ්‍යම සාධකයක් වෙලා තියෙනවා

ජාතිකවාදීන්ගෙ මේ තාවකාලික නිහඬතාවය පරාජයක් නම් නෙවේ. ඔවුන් අනිවාර්යයෙන්ම නැගිටිනවා.

  • නිලන්ත සත්සර ගමගේ ✍️

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x