මොණරාගල ට උග්‍රජල හිඟයක්
1 min read
මොණරාගල දිස්ත්‍රික්කයට බලපා ඇති දැඩි නියං තත්ත්වය හේතුවෙන් මොනරාගල නගරය ඇතුළු ප්‍රදේශ රැසක උග්‍ර ජල හිඟයක් හටගෙන තිබේ. පවතින තත්ත්වය හමුවේ ජල සැපයුම දින තුනකට වරක් සීමා කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ මොනරාගල කාර්යාලය පියවර ගෙන ඇත.
මොනරාගල නගරයට ජලය සපයන ප්‍රධාන මූලාශ්‍ර දෙකම සිඳී යමින් පැවතීම මෙම අර්බුදයට ප්‍රධාන හේතුව වී තිබේ. මරගල කඳුවැටියෙන් ගලා බසින ‘ජී ලෝන්’ ජල මූලාශ්‍රය දැඩි වියළි කාලගුණය නිසා සැලකිය යුතු ලෙස සිඳී ගොස් ඇති අතර, ඉන් දිනකට පිරිසිදු කර බෙදා හරිනු ලබන ඝන මීටර් 3,500ක ජල ධාරිතාව ලබා ගැනීමට නොහැකි වී ඇත.
දෙවන ජල මූලාශ්‍රය වන කුඹුක්කන් ඔය මගින් දිනකට ජලය ඝන මීටර් 6,000ක් පමණ නිෂ්පාදනය කළද, එම ජලය බුත්තල, ඔක්කම්පිටිය, මඩුල්ල සහ මොනරාගල යන ප්‍රදේශ සියල්ලටම බෙදා හැරීමට සිදුවීම නිසා එය ප්‍රමාණවත් නොවන බව ජල සම්පාදන මණ්ඩලය පවසයි. මීට අමතරව, යාල වනෝද්‍යානය හරහා ගලා යන කුඹුක්කන් ඔය ජලය වනජීවීන්ගේ පැවැත්ම සඳහා ද අවශ්‍ය වන බැවින්, ඉන් වැඩි ජල ප්‍රමාණයක් ලබා ගැනීමට ද බාධා එල්ල වී තිබේ.
මරගල කඳුවැටිය ආශ්‍රිතව සිදුවන මානව ක්‍රියාකාරකම් හේතුවෙන් ජල මූලාශ්‍ර විනාශ වන බව පවසන ප්‍රදේශවාසීන්, එම ප්‍රදේශවල පදිංචිකරුවන් වෙනත් ස්ථානවල පදිංචි කරවා ජල පෝෂක ප්‍රදේශ සුරැකීමට කටයුතු කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
පවතින ජල අර්බුදයට විකල්පයක් ලෙස උස් බිම් ප්‍රදේශවලට බවුසර් මගින් ජලය සැපයීමටත්, අලුතින් නළ ළිං ඉදිකිරීමටත් ජල සම්පාදන මණ්ඩලය පියවර ගෙන ඇත.
ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත්, ජල කාන්දුවීම් හෝ නළ කැඩීම් පවතී නම් වහාම දැනුම් දෙන ලෙසත් මණ්ඩලය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටී.
මොනරාගල ජල ගැටලුවට ස්ථිර විසඳුමක් ලෙස 2019 වසරේදී මුල්ගල තැබූ කුඹුක්කන් ඔය ජලාශ ව්‍යාපෘතිය මෙතෙක් නිම නොවීම පිළිබඳව ද ජනතාව සිය කණගාටුව පළ කරති. මෙම ව්‍යාපෘතිය මගින් පානීය ජලය මෙන්ම වාරි ජලය සහ විදුලිය නිපදවීමට ද සැලසුම් කර තිබිණි.
