Update: ත්‍රී‘මලයට ගෙනා ආවේ ගස්සන්න ද?
1 min read
Update: 2026.03.06 9:200 AM
ආන්දෝලනයට තුඩු දී තිබෙන ඉරාන නාවික හමුදාවට අයත් ‘බ්‍රෂෙනර්“ නැමැති සේවා සහසුකම් සපයන නෞකාවේ සිටි තරුණ කැඩෙට් නිලධාරීන් කොළඹ වරාය හරහා රට තුළට ගෙන ඒමට තීරණය කරන ලද ආණ්ඩුව, පසුව තීරණය කළේ අදාළ යාත්‍රාව කොළඹ වරාය වෙත නොගෙනවිත් ත්‍රිකුණාමල වරාය වෙත රැගෙන යාමටය.
එක්සත් ජනපදයේ කොළඹ පිහිටි තානාපති කාර්යාලයේ පළමු ලේකම්වරිය ඇතුළු බලධාරීන් පළමු අවස්ථාවේ සිටම ඉල්ලා සිටියේ කොළඹ වරාය වෙත ඉරාන නැව නොගෙන ආ යුතු බවත් එසේ කළහොත් එයට ගුවන් ප්‍රහාර එල්ල කරනු ලබන බවත්ය. මෙම තර්ජනය හේතුකොටගෙන බියට පත් වූ ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා, කොළඹ සිටින ඉරාන තානාපතිවරයාට ඊයේ පෙරවරුවේ ලිඛිතව දන්වන ලද්දේ අදාළ යාත්‍රාව කොළඹ වරායට ගෙන ඒමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවය.
එහෙත් පසුව, ආණ්ඩුවට බලපාන මෙරට මුස්ලිම් ප්‍රජාව හා ආණ්ඩුව තුළ සිටින ඇතැම් මුස්ලිම් නායකයින් එම තීරණයට විරුද්ධව ජනාධිපතිවරයා හමුවේ කරුණු දක්වා තිබේ. පසුව ජනාධිපතිවරයා තුයියකොන්තා මගින් ඇමරිකානු තානාපති ප්‍රධානීන්ගෙන් විමසා ඇත්තේ, නැවේ සිටින පිරිස පමණක් මුදා ගැනීමට එකඟතාව දෙන මෙන්ය. දීර්ඝ කරුණු පැහැදිලි කිරීමකින් අනතුරුව එහි සිටි පිරිස පමණක්, තම යාත්‍රා මගින් කොළඹ වරායට රැගෙන ඒමට ඇමෙරිකානු තානාපති කාර්යාල බලධාරීන් එකඟ වී තිබේ. ඒ අනුව ආණ්ඩුව ඊයේ සවස් කාලය වන විට යාත්‍රාවේ සිටි පිරිස රැගෙන ඒමේ පියවර ගනු ලැබීය.
පසුව ප්‍රශ්නය මතු වූයේ යාත්‍රාවට කුමක් කළ යුතුද යන්නයි. කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාල බලධාරීන් දැඩි ස්ථාවරයක සිටියේ කොළඹ වරායට මෙම නැව ගෙන එන ලදහොත් තමන් පෙර කී පරිදි එම නැව විනාශ කිරීමට ගුවන් ප්‍රහාර එල්ල කරන බවයි . ඒ තත්ත්වය හමුවේ, තම මුස්ලිම් දේශපාලන ප්‍රජාවෙන් තමන්ට එල්ල වී තිබෙන පීඩනය ඉස්මතු කර පෙන්වා ආණ්ඩුවේ බලධාරීන් යෝජනා කර ඇත්තේ ඉරාන නෞකාව ගාලු වරායට රැගෙන යාමටය. එහෙත් කොළඹ පිහිටි ඇමරිකානු තානාපති බලධාරීන් එම යෝජනාවට ද එකඟ වී නැත. එහෙත් පසුව එම බලධාරීන් විසින්ම ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක ලේකම්වරයාට දන්වා ඇත්තේ ඉරාන යාත්‍රාව ත්‍රිකුරාමල වරායට රැගෙන යාමට තමන් විරුද්ධ නොවන බවය.
මෙම යෝජනාව ඉමහත් සහනයක් ලෙස භාරගත් ආණ්ඩුව ඊයේ (05) පස්වරුවේ සිට අදාල යාත්‍රාව තිබුණාමල වරායට රැගෙන යාම සඳහා පියවර ගත්තේ ය.
ත්‍රිකුණාමලය වරාය ස්වාභාවික ඉතා ගැඹුරු වරායකි. දෙවන ලෝක යුද සමයේ මෙම වරාය බ්‍රිතාන්‍යයන් විසින් යොදාගත්තේ අවශ්‍ය වුවහොත් නැවක් සැඟවීමට තරම් ගැඹුරක් එහි පවතින නිසාය. ආරක්ෂක අංශ විශ්ලේෂකයන්ට දැනට මතුව ඇති ප්‍රශ්නය වනුයේ, ත්‍රිකුණාමලය වැනි ගැඹුරු වරායකට ඉරාන නැව රැගෙන යන ලෙස කොළඹ ඇමරිකානු තානාපති බලධාරීන් නියෝග කළේ, එම නැවට සබ්මැරීන් මගින් ප්‍රහාරයක් එල්ල කිරීමේ පහසුව හේතු කොට ගෙන ද යන්නයි.
නැව නැංගුරම්ලා තිබුණේ ද ශ්‍රී ලංකාවට ආසන්න නොගැඹුරු මුහුදේ ය. කොළඹ වරායට ගෙන ඒම වළක්වන්නට ඇමෙරිකානු තානාපති බලධාරීන් තීරණය කරන්නට ඇත්තේ එය ඉමහත් කාර්යබහුල වාණිජ වරායක් වන නිසාය. අනෙක එහිදී ගුවන් ප්‍රහාර මගින් නැව විනාශ කරනු මිසක සබ්මැරීන් ප්‍රහාර මගින් නැව විනාශ කිරීමට හැකියාවක් හිමි නොවේ.
මේ හේතුව මත, ආණ්ඩුවටත් සනීපවත් යෝජනාවක් ලෙස, ගැඹුරු මුහුදක් සහිතව පිහිටා ඇති ත්‍රිකුණාමල වරාය ඇමරිකානු බලධාරීන් යෝජනා කරන ලද්දේද යන සැකය මේ වන විට ප්‍රබල ලෙස මතුවී තිබේ. එම වරාය තුළ නවතා තිබෙන නැවකට සබ්මැරීන් මගින් ප්‍රහාර එල්ල කිරීම ඉතා පහසුය.
යුද විශ්ලේෂකයන් පවසන්නේ අදාළ යාත්‍රාව ගාල්ලට හෝ වෙනත් නොගැඹුරු මුහුදු තීරයක් සහිත වරායකට නොයවා, ගැඹුරු මුහුදක් සහිත තිබුණාමලය වරායටම යොමු කරන ලද්දේ අමෙරිකානු සබ්මැරීන් ප්‍රහාරයකට ඉඩ සලසා ගනු පිණිස විය හැකි බවය.
එබැවින් ඉදිරි දින කීපය ඉතා තීරණාත්මක බවත්, යම් හෙයකින් ත්‍රිකුණාමලය වරාය තුළ දී හෝ එම වරාය වෙත රැගෙන යාමේදී හෝ මෙම නැවට ඇමෙරිකානු සබ්මැරීන් ප්‍රහාරයක් එල්ල කරන ලදහොත්, එය මෙම කලාපයේම දැඩි අනාරක්ෂිත බවක් ඇති කිරීමට හේතු වනු ඇති බව පැහැදිලි වේ. එමෙන්ම කලාපීය අර්බුදයක් ද මේ හරහා ඇතිවීම වැළකිය හැකි නොවේ.
විශේෂ විමර්ශන අංශය
Update: ඉරාන නාවික හමුදා නැවේ පිරිස පමණක් රැගෙන ඒ!
Update: 5:20 PM
ලංකාවට අයත් මුහුදු සැතැප්ම 12ක සීමාවට ආසන්නයේ, පානදුර මුහුදු ප්‍රදේශය තුළ නතර කර තිබෙන ඉරාන නාවික හමුදාවට අයත් ‘‘බ්‍රෂෙනර්“ නැමැති විශාල නාවික යාත්‍රාවේ සිටින 300කට ආසන්න පිරිසක් කොළඹට රැගෙන ඒමට ආණ්ඩුව එකඟ වී තිබේ. නැව කොළඹ වරායට ගෙන ඒමෙන් වළකින බව ද ඉරාන බලධාරීන්ව දැනුම්නුවත් කර ඇත.
ජාත්‍යන්තර නීතියට අනුව, කිසියම් රටක මුහුදු සීමාව ආසන්නයේ යුද හෝ වානිජ නැවක් සදහා සහාය ඉල්ලා සිටි විට එයට සහාය වීමට අදාල රට බැඳී සිටි. ඒ අනුව, යාත්‍රාව සමඟ පිරිස කොළඹ වරාය වෙත රැගෙන ආ යුතුව තිබේ.
එසේ වුවත් ඇමෙරිකා එක්සත් ජනපද බලධාරීන් වෙතින් එල්ල වී ඇති පීඩනය හමුවේ අදාළ යාත්‍රාව ඇමෙරිකානු හමුදාවන්ගේ ප්‍රහාරයට තබා, පිරිස පමණක් ගොඩබිමට රැගෙන ඒම නිවට ක්‍රියාවක් බව බොහෝ තානාපති අංශවල මතය වී ඇත.
Update: ඉරාන නාවික යාත්‍රාව ගන්න බෑ! තුයියකොන්තා දන්වයි
එහිදී ඉරාන තානාපතිවරයා පවසා ඇත්තේ, තමන් ඊයේ (04) සවස සිට මෙම යාත්‍රාව කොළඹ වරායට ගෙන ඒමට අවසර ඉල්ලූව ද, ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා ලිඛිතව තමන්ට දන්වා ඇත්තේ අදාළ යාත්‍රාව ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුල්වීමට අවසර දිය නොහැකි බවයි.
අද (05) පෙරවරුවේ එ.ජා.ප. නායක හා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹ ඉරාන තානාපති මුණගැසී තිබේ. එහිදී, පළමුවරට අප විසින් අනාවරණය කරන ලද ප්‍රධාන පුවතේ සඳහන් ඉරාන නාවික හමුදා යාත්‍රාව පිළිබඳව කරුණු සාකච්ඡා වී ඇත.
මේ පිළිබඳව ඉතාම කනස්සල්ලෙන් අදහස දක්වා ඇති තානාපතිවරයා තම නාවික කැඩෙට් සාමාජිකයන් 300ක් එම යාත්‍රාවේ රැදී සිටින බව පවසා තිබේ.
මේ අතර, තම රටේ ආරාධනාවක් මත පැමිණි ඉරාන යාත්‍රාවට ඉන්දීය සාගර කලාපය තුළදී ඇමරිකාව විසින් පහරදීම පිළිබඳව ඉන්දියාවද කලබල වී තිබේ. පානදුර වෙරළ ආශ්‍රිත නැව බේරාගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කළ යුතු බව ඉන්දියාවේ මතය වී ඇත. ශ්‍රී ලංකා පාලනය ඇමරිකාවක එක්සත් ජනපද අභිමත පරිදි හැසිරීම පිළිබඳව ඉන්දියාව ද සිය අප්‍රසාදය පළකර තිබේ.
මේ අතර නියෝජ්‍ය කතානායක වෛද්‍ය මොහොමඩ් රිස්වි සාලි ජනාධිපතිවරයා හමුවී කෙසේ හෝ ඉරාන නැව බේරා ගැනීම සඳහා උත්සාහයක නියැලෙන බව පැවසේ. මේ වන විට මෙරට මුස්ලිම් ප්‍රජාව ද ආණ්ඩුවට තදබල පීඩනයක් එල්ල කර ඇත්තේ ඉරාන නැවට කොළඹ වරායට පැමිණිමට අවසර දිය යුතුය යන පදනමෙනි.

විශේෂ විමර්ශන අංශය
කොළඹ වරායට ඇමෙරිකන් ගුවන් ප්‍රහාරයක්? ඉලක්කය තවත් ඉරාන නැවක් !
ඉන්දියාවේ පැවති ජාත්‍යන්තර නාවික හමුදා ප්‍රදර්ශනයකට සහභාගි වී නැවත ඉරානය බලා යමින් තිබූ එරට නාවික හමුදාවට අයත් යාත්‍රාවකට ඇමෙරිකානු නාවික හමුදාව විසින් සිය සබ්මැරීන් යොදා ගනිමින් පහර දෙන ලද බව මේ වන විට ලෙවම දන්නා පුවතකි.
අප වෙත ලැබී තිබෙන ඉතා විශ්වාස කටයුතු නවතම තොරතුර වන්නේ, ඉරාන නාවික යාත්‍රා තුනක් ඉන්දියාවේ නාවික ප්‍රදර්ශනයට සහභාගි වී සිය රට බලා යාත්‍රා කරමින් තිබූ බවයි.
මේ වන විට එම නාවික හමුදා යාත්‍රා තුනෙන් 1ක් මුහුදුබත් වී ඇති අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එහි ජීවතුන් අතර සිටි පිරිස හා මියගිය බොහෝ පිරිස් රට තුළට ගෙන ඒමට ක්‍රියා කරන ලදී. ඉතිරි නාවික යාත්‍රා 2න් 1ක් අතුරුදහන්ව තිබේ. එය පිළිබඳ කිසිදු තොරතුරක් දැන ගැනීමට නැති බව ඉරාන බලධාරීහු පවසති.
තෙවැනි නැව, මේ වනවිට පවතින්නේ පානදුර ආශ්‍රිත මුහුදේ ශ්‍රී ලංකා මුහුදු තීරයට ආසන්නයේ ය. එම මුහුදු ප්‍රදේශය නොගැඹුරු ප්‍රදේශයක් වන බැවින්, සබ්මැරීන් මගින් පහරදීමට හැකියාවක් නැති බව පැවසේ.
මේ වන විට අදාළ යාත්‍රාවේ ප්‍රධානීන් හා ඉරාන බලධාරීන් ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් අවසර ඉල්ලා ඇත්තේ කොළඹ වරායට පැමිණීම සඳහා ය. කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයේ බලධාරීන් මෙරට වරාය අධිකාරියේ බලධාරීන්ට හා නාවික හමුදාවට දන්වා ඇත්තේ කිසිසේත්ම එම ඉරාන නැව කොළඹ වරායට ගෙන ආ යුතු නැති බව ය. එලෙස ගෙන එන ලද හොත් නිසැක ලෙසම ගුවන් ප්‍රහාර මගින් නැව වනසා දැමීමට කටයුතු කරන බව ද ඇමෙරිකානු තානාපති නිලධාරීන් අනතුරු අඟවා තිබේ.
සබ්මැරීන් මගින් පහර දීමට නොහැකි නොගැඹුරු මුහුදේ ඉරාන නාවික හමුදා යාත්‍රාව පවතින බැවින් එය ගුවන් ප්‍රහාර මගින් මිස විනාශ කළ හැකි නොවේ. මෙම ප්‍රශ්නය මේ වන විට ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති අතර, ඔහුගෙන් තීරණයක් ලැබෙන තුරු වරාය බලධාරීන් නිහඬව සිටින බව ද වාර්තාවේ.
ඉරානය, කොටි ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේදී සෑම ආකාරයකින්ම ශ්‍රී ලංකාවට සහය දුන් රාජ්‍යයකි. එමෙන්ම, මෙරට සපුගස්කන්ද තෙල් පිරිපහදුව, උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය වැනි ආර්ථික සම්පත් ලබා දුන්නේ ද ඉරානය විසිනි.
එහෙත්, මේ වන විට NPP ආණ්ඩුව අත්සන් කර ඇති රහසිගත ගිවිසුම් හේතු කොට ගෙන, ජනාධිපතිවරයා ඉරානයේ මානුෂවාදී ඉල්ලීම නොසලකා හැරීමට ඇති හැකියාව වැඩි බව අපගේ විමර්ශන අංශය අවධාරණය කරයි.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා අනන්‍ය මුහුදු සීමාවට ආසන්නයේ දී හෝ කොළඹ වරායට පැමිණීමට ඉඩ දුනහොත් එවිට හෝ ඇමරිකානු ගුවන් ප්‍රහාර එම යාත්‍රාව ඉලක්ක කොටගෙන එල්ල කිරීමේ අවධානම බැහැර කළ හැකි නොවේ.
කොළඹ වරායට අදාළ නැව පැමිණියහොත් ඉරාන නාවික හමුදා බලධාරීන්ගේ හා භටයින්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට හැකි වනු ඇත.
විශේෂ විමර්ශන අංශය
පුවත් එසැනින් බලන්න අපගේ WhatsApp සමූහය සමගින් එක් වන්න!
