ඉන්ධන මිල තීරණය කළ යුතු ආකාරය ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්
1 min read
පෞද්ගලික ඉන්ධන සමාගම් ඉන්ධන සැපයුම සීමා කරමින් පාරිභෝගික ජනතාව අපහසුතාවට පත් කිරීමට කටයුතු කරන්නේ නම්, ඔවුන්ට එරෙහිව නීත්‍යානුකූල පියවර ගැනීමට පසුබට නොවන බව බලශක්ති අමාත්‍ය අනුර කරැණාතිලක මහතා අවධාරණය කරයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, අදාළ සමාගම් ඉල්ලා සිටින අයුරින් අධික ලෙස ඉන්ධන මිල ඉහළ දමා පාරිභෝගිකයන් පීඩාවට පත් කිරීමට රජය කිසිසේත්ම සූදානම් නොමැති බවයි.
කෙසේ වෙතත්, අදාළ සමාගම්වලට එළඹ ඇති ගිවිසුම් ප්‍රකාරව පිරිවැය පාදක කරගත් මිල සූත්‍රයකට අනුව මිල නියම කර ගැනීමට අවස්ථාව පවතින බවත්, අවශ්‍ය නම් ඔවුන්ට එම ක්‍රමවේදය භාවිත කළ හැකි බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල ඉහළ දමා නොමැති බව සිහිපත් කළ අමාත්‍යවරයා, මෑතකදී ඉන්ධන මිල රුපියල් 10කින් ඉහළ ගියද, රජය රුපියල් 70ක පමණ මුදලක් සහනාධාරයක් ලෙස දරන බව ප්‍රකාශ කළේය.
පසුගිය කාලසීමාවේදී ඉන්ධන සහනාධාර වෙනුවෙන් රුපියල් බිලියන 57ක් වෙන් කළ බවත්, ඉදිරි මාස තුන සඳහා තවත් රුපියල් බිලියන 41ක් වෙන් කර ඇති බවත් ඔහු අනාවරණය කළේය.
පවතින දුෂ්කර ආර්ථික තත්ත්වය හමුවේ ඉන්ධන මිල ඉහළ යාමේ බරෙන් සැලකිය යුතු කොටසක් රජය සහනාධාර මඟින් දරාගන්නා බැවින්, ඉතිරි බරෙන් කොටසක් ඉන්ධන සමාගම් විසින්ද දරාගත යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළේය. පාරිභෝගිකයා මත පැටවීමට පියවර ගත්තේ ඉතා සුළු ප්‍රතිශතයක් පමණක් බවද ඔහු කියා සිටියේය.
සමහර පෞද්ගලික ඉන්ධන පිරවුම්හල් මඟින් ඉන්ධන සැපයුම සීමා කර ඇති බවට වාර්තා වන පසුබිමක, ආයෝජකයින් අපහසුතාවට පත් කිරීම රජයේ අරමුණ නොවුණද, පාරිභෝගික ජනතාව ප්‍රාණඇපකරුවන් බවට පත් කරගනිමින් කටයුතු කිරීමට කිසිදු පාර්ශ්වයකට ඉඩ නොතබන බවත්, එවැනි ක්‍රියාමාර්ග දිගින් දිගටම සිදුවුවහොත් බලපත්‍ර සම්බන්ධයෙන් පවා නීත්‍යානුකූල පියවර ගැනීමට සිදුවනු ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
