අමෙරිකාවේ යුද උන්මාදයට පර්සියාවේ ඓතිහාසික උරුමයෙන් පිළිතුරක්!
1 min read
ඉරානය නැවත ගල් යුගය දක්වා ගෙන යාමට කටයුතු කරන බව අමෙරිකානු ජනාධිපතිවරයා පසුගිය දිනෙක ප්‍රකාශ කළේය. අමෙරිකානු යුද ලේකම් Pete Hegseth මේ ප්‍රකාශය නැවත සිය X සමාජ ජාලා ගිණුමේද පළ කළ අතර, ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශය තම X ගිණුමේ මෙයට කෙටි වුවත් අපූරු පිළිතුරක් ලබා දී තිබිණි. එහි මෙසේ සඳහන් වෙයි.
නුඹලා ගල්ගුහාවල ගින්දර සොයමින් සිටි කාලයේදී අපි සයිරස් සිලින්ඩරයේ මානව හිමිකම් සටහන් කළෙමු. මහා ඇලෙක්සැන්ඩර් හා මෝගල් අධිරාජ්‍යය විසින් එල්ල කළ කුණාටු වැනි ආක්‍රමණ හමුවේ අපි නොසැලී සිටියෙමු. ඒ මන්දයත් ඉරානය යනු හුදෙක් රාජ්‍යයක් පමණක් නොව ශිෂ්ටාචාරයක්ද වන බැවිනි.
මෙහි කියැවෙන මානව හිමිකම් ගැන ලියූ සයිරස් සිලින්ඩරය යනු කුමක්ද?
මේ කියන්නට යන්නේ සයිරස් සිලින්ඩරයේ අපූරු ඉතිහාස කතාව ගැනය.
සයිරස් සිලින්ඩරය යනු මැටියෙන් තනා පුළුස්සන ලද අකුරු ලියා ඇති සිලින්ඩරයකි. එය දිගින් අඟල් 9ක් හා පළල අඟල් හතරක් පමණ වෙයි.
මෙහි ඇති විශේෂත්වය වනුයේ මෙය ලෝකයේ මානව හිමිකම් පිළිබඳ පැරණිම ප්‍රකාශනයක් ලෙස හඳුන්වනු ලබන අපූරු ඓතිහාසික ලියවිල්ලක් වීමය.
මෙහි කොටා ඇති අකුරු Akkadian Cuneiform Script යන පැරණි අක්ෂර මාලාවට අයත් වන්නකි.
අද ලෝකයේම අවධානයට නතු වී ඇති ඉරානය කේන්ද්‍ර කරගත් මහා අධිරාජ්‍යයක් කලකට පෙර ලෝකයේ පැවති අතර ඒ පර්සියානු අධිරාජ්‍යයයි.
මෙම අධිරාජ්‍යය පළමු වරට ස්ථාපිත කරන ලද්දේ ක්‍රි. පූ. 550 දි මහා සයිරස් රජු විසිනි. වසර 220ක කාලයක් පැවති මේ පළමු පර්සියානු අධිරාජ්‍යය ඇකමෙනිඩ් අධිරාජ්‍යය ලෙස ද හැඳින්වේ.
ඇකමෙනිඩ් අධිරාජ්‍යය මහද්වීප තුනක් පුරා පැතිරී තිබුණද එහි හදවත වූයේ වර්තමාන ඉරානයයි.
මෙහි දැක්වෙන සයිරස් සිලින්ඩරය යනු සයිරස් රජු ක්‍රි.පූ. 539දී බැබිලෝනියාව යටත් කරගැනීමෙන් පසු නිකුත් කළ රාජකීය ප්‍රකාශනයකි.
බැබිලෝනියානුවන්ට කැමති ආගමක් ඇදහීමට ඇති නිදහස තහවුරු කිරීම, බැබිලෝනියාවේ වහලුන් ලෙස සිටි පිරිස් නිදහස් කිරීම, බැබිලෝනියාවේ සිරකරුවන්ව සිටි යුදෙව්වන්ට නැවත ජෙරුසමට ගොස් ඔවුන්ගේ දේවස්ථාන ගොඩනැගීමට ඉඩ ලබාදීම ආදිය පිළිබඳ කරුණු මෙහි සඳහන් වී ඇත.
සයිරස් රජු එවකට පර්සියාවේ පැවති සොරොස්ටි්‍රයානු දහම (Zoroastrianism) ඇදහූ අයෙක් වුවද ඔහු අනෙක් ආගම් කෙරේ බෙහෙවින් සහනශීලි ප්‍රතිපත්ති අනුගමනය කළ අයෙකු ලෙස ප්‍රකටය. ඔහුගේ ආගමික ප්‍රතිපත්තිය සයිරස් සිලින්ඩරයෙන් පිළිබිඹු වේ.
මෙය 1879 වසරේ වර්තමාන ඉරාකය හෙවත් පුරාණ බැබිලෝනියාවේ කළ කැණීම්වලදී බි්‍රතාන්‍ය ජාතික පුරාවිද්‍යාඥයකු වූ හෝමුස්ඩ් රසාම් විසින් සොයාගන්නා ලද්දකි.
1971 දී ඉරානය විසින් පර්සියානු අධිරාජ්‍යයේ 2500 වැනි සංවත්සරය සමරන අවස්ථාවේ එවකට ඉරාන පාලකයා වූ මොහොමඩ් රේසා පල්ලවි හෙවත් ෂා රජු සයිරස් සිලින්ඩරයේ අනුරුවක් එක්සත් ජාතීනගේ මූලස්ථානයට තෑගි කරන ලදි.
මේ අනුව මෙය ඉරානයේ අතීතයට සම්බන්ධ වැදගත් පුරාවස්තුවකි. ආර්යයන්ගේ දේශය යන අර්ථය ඇති ඉරානය යන නම පුරාණයේ සිට ව්‍යවහාරයේ පැවති එකක් වුවද අතීතයේදී බොහෝ අය මේ ප්‍රදේශය හඳුන්වන ලද්දේ පර්සියාව නමිනි. ඉරානය යන නම නිල වශයෙන් ව්‍යවහාර වන්නට වූයේ 1935 සිටය.
වර්තමානයේදි සයිරස් සිලින්ඩරය බි්‍රතාන්‍ය කෞතුකාගාරයේ තැන්පත් කර ඇති අතර ඉරාන විදේශ අමාත්‍යාංශය නිකුත් කළ පණිවිඩයේ කියැවෙනුයේ මේ සයිරස් සිලින්ඩරය ගැනය.
එය අමෙරිකාවේ යුද උන්මාදයට පර්සියාවේ ඓතිහාසික උරුමය ඇසුරෙන් ලබා දුන් අපූර්ව පිළිතුරක් වන්නේ ඒ නිසාය.
තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න
