නැගෙනහිර පර්යන්තය විකුණන්න ලෑස්තියි !
1 min read
කොළඹ වරායේ වාණිජමය වශයෙන් සුවිශේෂී වැදගත්කමක් හිමිකරගෙන තිබෙන නැගෙනහිර පර්යන්තය විකිණීම සඳහා කටයුතු සූදානම් කරමින් සිටින බව කොළඹ වරාය ආරංචිමාර්ග අණාවරණය කරයි. වත්මන් සභාපති මහින්ද පරාක්‍රම දිසානායක එම තණතුර සඳහා පත්කර ඇත්තේම නැගෙනහිර පර්යන්තය විකිණීමේ පරමාර්ථයෙන් බව පැවසේ.
කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය (East Container Terminal – ECT) යනු ශ්‍රී ලංකාවේ භූ දේශපාලනික මෙන්ම ආර්ථිකමය වශයෙන් අතිශය තීරණාත්මක සහ උපායමාර්ගික වටිනාකමකින් යුත් ජාතික සම්පතකි. මෙම පර්යන්තය සතු මීටර් 18 කට වඩා වැඩි ගැඹුර හේතුවෙන්, ලොව දැනට පවතින විශාලතම මෙන්ම නවීනතම මෙගා බහාලුම් නෞකා සඳහා පහසුවෙන් සේවා සැපයීමේ හැකියාව එය සතු තිබේ. 2026 වසර වන විට එකවර විශාල නැව් 3 ක් හැසිරවීමේ හැකියාව ද එය විසින් හිමිකරගෙන තිබේ. මෙහි සම්පූර්ණ ව්‍යාපෘතිය නිම වූ පසු වසරකට බහාලුම් (TEUS) මිලියන 1.5 ක් මෙහෙයවීමේ හැකියාව මෙම නැගෙනහිර පර්යන්තය සතු වේ.
දකුණු ආසියානු කලාපයේ (විශේෂයෙන්ම ඉන්දියාව ඉලක්ක කරගත්) ප්‍රධානතම ප්‍රතිඅපනයන කේන්ද්‍රස්ථානය ලෙස කොළඹ වරාය සතු ස්ථානය තවදුරටත් ශක්තිමත් කිරීමට මෙම පර්යන්තය දායක වී තිබේ. විවිද විදේශීය බලපෑම් හමුවේ වුවද මෙම පර්යන්තය ශ්‍රී ලංකා රජය බාරයේ තබාගෙන තිබීම මෙරට සමුද්‍රීය ස්වෛරීභාවය සහ කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතා වැදගත් වේ.
එබදු, සුවිශේෂී වැදගත්කමකට උරුමකම් කියන කොළඹ වරායේ නැගෙනහිර බහාපුම් පර්යන්තය, පසුගිය ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ ද ඉන්දියානු සමාගමකට විකිණීමට සූදානම් විය. එහි දී ජ.වි.පෙ. ට, පොහොට්ටුවට හා තවත් පක්ෂවලට සම්බන්ධ වෘත්තීය සමිති විරෝධතා ආරම්භ කළ අතර, ඇතැම් අවස්ථාවන් හි වැඩවර්ජනයන් හි ද නිරිත වූහ.
එමෙන්ම, එම අවස්ථාවේ දී ආණ්ඩුවේ අමාත්‍ය තණතුර දරමින් සිටි විමල් වීරවංශ, වාසුදේව නානයක්කාර, උදය ගම්මන්පිල ඇතුළු කණ්ඩායමක් විවෘතවම එම පර්යන්තය විකිණීමට එරෙහිව පෙනී සිටියහ. ඒ සියල්ලෙහි බලපෑම හේතුකොටගෙන එම අවස්ථාවේ එම පර්යන්තය ඉන්දියාවට විකිණීම වළකුණු ලැබිණි.
- රංග ප්‍රශාන්ත එදිරිවීර
