July 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

AI යුගයේ ගැටළු වලට මුහුණ දෙන ජගත් ප්‍රජාව විසඳුම් සඳහා චීනය දෙසට යොමුවෙයි: Global Times කතුවැකිය

1 min read

2026 ලෝක කෘත්‍රිම බුද්ධි (AI) සමුළුව සහ ගෝලීය AI පාලනය පිළිබඳ උසස් පෙළේ රැස්වීම ජූලි 17 සිට 20 දක්වා චීනයේ ෂැංහයි නගරයේදී පැවැත්වේ. එහි ප්‍රධාන දේශනය පවත්වමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අවධාරණය කළේ, සියලු රටවල් ජනතාව කේන්ද්‍ර කරගත් ප්‍රවේශයක් අනුගමනය කරමින්, කෘත්‍රිම බුද්ධිය යහපත සඳහාත් මානව වර්ගයාගේ ප්‍රයෝජනය සඳහාත් සංවර්ධනය කළ යුතු බවයි. AI තාක්ෂණය හවුල් සමෘද්ධිය සහ පොදු ආරක්ෂාව ප්‍රවර්ධනය කරන ප්‍රබල බලවේගයක් බවට පත් කළ යුතු අතර, ගෝලීය ඇඓ පාලනය සඳහා සාධාරණ හා සමානාත්මතා පදනම් වූ පද්ධතියක් එක්ව ගොඩනැගිය යුතු බවද ඔහු සඳහන් කළේය.

මානව ශිෂ්ටාචාරයේ සංවර්ධනය තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ ඇති අවස්ථාවක, චීනය “යහපත සඳහාත් මානව වර්ගයාගේ ප්‍රයෝජනය සඳහාත්” යන නිවැරදි මාර්ගය තෝරාගෙන තිබේ. එය ගෝලීය සංවර්ධන ප්‍රවණතා පිළිබඳ ගැඹුරු අවබෝධයක් පමණක් නොව, ජනතාව කේන්ද්‍ර කරගත් සංවර්ධන දර්ශනයක ප්‍රකාශනයක් ද වේ. සමුළුවේදී නැගුණු උණුසුම් අත්පොළසන් හඬ, චීන ප්‍රඥාව සහ චීන විසඳුම් පිළිබඳ ලෝකය තුළ පවතින පිළිගැනීම සහ ඉහළ අපේක්ෂාවන් මනාව පිළිබිඹු කළේය.

ජනාධිපති ෂී ජින්පිං මහතා මෙහිදී ප්‍රධාන යෝජනා හතරක් ඉදිරිපත් කළේය.

එනම්, පළමුව, විවෘතභාවය සහ ජයග්‍රාහී සහයෝගීතාව මූලධර්මයක් ලෙස පිළිපදිමින් නවෝත්පාදන මත පදනම් වූ සංවර්ධනය වේගවත් කළ යුතුය. දෙවනුව, අවදානම් පිළිබඳ අවබෝධය ශක්තිමත් කර ඇඓ ආරක්ෂිත සහ පාලනය කළ හැකි තාක්ෂණයක් බවට පත් කළ යුතුය. තෙවනුව, ඇතුළත්භාවය (Inclusiveness) ප්‍රවර්ධනය කරමින් ශිෂ්ටාචාර අතර අන්‍යෝන්‍ය ඉගෙනීම සහ හුවමාරුව වර්ධනය කළ යුතුය. සිව්වනුව, එක්සත්භාවය ශක්තිමත් කර ගෝලීය පාලන පද්ධතිය වැඩිදියුණු කළ යුතුය.

2023 වසරේ චීනය විසින් ඉදිරිපත් කළ ගෝලීය ඇඓ පාලන මුලපිරීම (Global AI Governance Initiative) ට අමතරව, මෙවර ජනාධිපති ෂී ජින්පිං මහතා ගෝලීය ඇඓ පාලනය පිළිබඳ චීනයේ ස්ථාවරය සහ යෝජනා නැවත වරක් පුළුල් හා ක්‍රමානුකූල ලෙස පැහැදිලි කළේය. සංවර්ධනය, ආරක්ෂාව, ශිෂ්ටාචාරය සහ පාලනය යන ප්‍රධාන මානයන් හතර කේන්ද්‍ර කරගනිමින්, ගෝලීය AI සංවර්ධනය හා පාලනය මුහුණ දෙන ප්‍රධාන අභියෝගයන්ට ඔහු පිළිතුරු සපයා තිබේ. එමෙන්ම, ගෝලීය පාලනය ඉදිරියට ගෙනයාමටත්,AI සහ ඩිජිටල් පරතරය අවම කිරීමටත් නව අදහස් සහ විසඳුම් ද ඔහු ඉදිරිපත් කළේය. තාක්ෂණය යනු දෙපැත්ත කැපෙන කඩුවක් වැනිය. එය නිෂ්පාදන ශක්තිය අතිවිශාල ලෙස වර්ධනය කරන අතරම, අවුල්සහගත තත්ත්වයන්, සම්පත් කොල්ලකෑම් සහ යුද්ධ පවා ඇති කළ හැකිය. බටහිර කාර්මික ශිෂ්ටාචාරය ඊට පැහැදිලි උදාහරණයකි. වාෂ්ප යන්ත්‍රය, රෙදිපිළි යන්ත්‍රෝපකරණ සහ දුම්රිය වැනි තාක්ෂණික නවෝත්පාදන මගින් පෙර නොවූ විරූ භෞතික සම්පත් නිර්මාණය වූ අතර, නාගරීකරණය සහ ගෝලීය වෙළඳාමද වේගයෙන් වර්ධනය විය.

ජනප්‍රිය පුවත්  බෙදුම්වාදීන්ට උවමනා ආකරයට පුරාවිද්‍යා බඳවා ගැනීම් පටිපාටි වෙනස් කරයි.. - ජාතික සංවිධානවලින් චෝදනා

එහෙත් එම දියුණුව සමඟම බරපතළ සමාජීය අර්බුද ද මතුවිය. ධනවත් හා දුප්පත් අතර පරතරය තවත් පුළුල් වූ අතර, පරිසර දූෂණය ඉහළ ගියේය. තවද, අමුද්‍රව්‍ය සහ වෙළඳපොළ අත්පත් කර ගැනීම සඳහා මහා බලවතුන් අතර පැවති තරගය යටත් විජිතවාදී ව්‍යාප්තිය වේගවත් කළ අතර, අවසානයේ එය ලෝක යුද්ධවලට ද මඟ පෑදීය.

ආසියාව, අප්‍රිකාව සහ ලතින් ඇමරිකාව පුරා රටවල් සම්පත් කොල්ලකෑමට, සංස්කෘතික විනාශයට සහ විදේශීය පාලනයට ගොදුරු වූහ. කාර්මික විප්ලව දෙක මගින් බිහි වූ බව කියන “සමෘද්ධිය” යට සැඟවී තිබුණේ අසමාන හා අසමතුලිත සංවර්ධනයෙන් උපන් ලේ සහ කඳුළු ඉතිහාසයකි.

ඕනෑම තාක්ෂණික විප්ලවයක් සිදු වූ විට, එහි ප්‍රතිලාභ භුක්ති විඳින්නේ කවුද? එහි නීති රීති තීරණය කරන්නේ කවුද? යන ප්‍රශ්න මානව ශිෂ්ටාචාරයේ මට්ටම මැන බැලීමේ වැදගත් මිනුම් දණ්ඩක් බවට පත්වේ.

අද කෘත්‍රිම බුද්ධිය මානව වර්ගයාට ලැබී ඇති විශාලතම සංවර්ධන අවස්ථාවක් විය හැකිය. එහෙත්, ඵලදායී ගෝලීය පාලනයක් නොමැතිව ඇඓ තාක්ෂණය නව සංවර්ධන බාධකයක් මෙන්ම ලෝක අවුල්සහගතභාවයේ මූලාශ්‍රයක් බවටද පත්විය හැකිය.

මෙවැනි පසුබිමක, චීනය තම තාක්ෂණික සංවර්ධනය හවුල් සමෘද්ධිය සහ පොදු ආරක්ෂාව යන අරමුණු සමඟ බැඳ තැබීමෙන්, සංවර්ධනයේ වසාගත් හා බැහැරකිරීමේ ආකෘති ප්‍රතික්ෂේප කරන බවත්, දේශපාලනික මතවාදී බෙදීම් සහ තාක්ෂණික අවහිර කිරීම්වලට විරුද්ධ වන බවත් පැහැදිලි කරයි. චීනය AI තාක්ෂණය සලකන්නේ “පොදු මහජන සම්පතක්” (Public Good) ලෙසය. එහි සංවර්ධනයෙන් ලැබෙන ප්‍රතිලාභ මුළු ලෝකයම සමඟ බෙදාගත යුතු අතර, එය කිසිදු රටක ආධිපත්‍යය තහවුරු කිරීමේ මෙවලමක් නොවිය යුතු බව චීනය විශ්වාස කරයි. එම ප්‍රවේශය මගින් චීනය ගෝලීය AI පාලනය සඳහා නව පූර්වාදර්ශයක් ගොඩනඟමින්, ජාත්‍යන්තර ප්‍රජාවේ පොදු අපේක්ෂාවන්ට ප්‍රතිචාර දක්වනු ලබන්නේය. ඒ අනුව, මෙය මෙය චීන ප්‍රඥාව සහ චීන විසඳුම් පිළිබඳ ප්‍රකාශයක් පමණක් නොව, චීනයේ සැබෑ තාක්ෂණික ශක්තියේ ප්‍රදර්ශනයක් ද වේ.

ජනප්‍රිය පුවත්  රටේ ආර්ථිකය තත්ත්වය ගැන මහ බැංකු අධිපතිගෙන් පැහැදිලි කිරීමක්

අද වන විට චීනය කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ ලෝකයේ ඉදිරියෙන්ම සිටින රටවල් අතරට පැමිණ ඇති අතර, විවෘත මූලාශ්‍ර (Open Source ) විශාල භාෂා ආකෘති (Large Language Models) සංවර්ධනයේ වේගයෙන්ම වර්ධනය වන සහ වඩාත් ක්‍රියාකාරී මධ්‍යස්ථානයක් බවට පත්ව තිබේ. DeepSeek වැනි චීන AI ආකෘති, අඩු පිරිවැය, ඉහළ කාර්යක්ෂමතාව සහ විවෘත මූලාශ්‍ර ස්වභාවය යන වාසි හේතුවෙන්, ඇතැම් රටවල් පවත්වාගෙන ගිය තාක්ෂණික සහ දැනුම් ආධිපත්‍යයට අභියෝගයක් එල්ල කර තිබේ. කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රයේ චීනය තෝරාගෙන ඇති මාවත නිවැරදි බව ඒ අනුව පැහැදිලිවේ. චීනය තමන්ගේම සංවර්ධනය ඉදිරියට ගෙන යන අතරම, ගෝලීය දකුණේ (Global South) බොහෝ රටවලටද නව සංවර්ධන අවස්ථා නිර්මාණය කරමින් සිටී.

ඒ අනුව, නව තාක්ෂණය යනු “ධනවත් රටවලට පමණක් වෙන් වූ ක්‍රීඩාවක්” නොවන බවත්, එසේ විය යුතුද නොවන බවත් චීනයේ අත්දැකීම් මගින් තහවුරු වන බව කතුවැකිය අවධාරණය කරයි. චීනය ගෝලීය AI සහයෝගිතාව සඳහා දේශපාලන ප්‍රකාශ පමණක් නොව, ක්‍රියාකාරී වැඩපිළිවෙළ ද ඉදිරිපත් කරමින් සිටින බවද එහි සඳහන් වේ.

ඒ අනුව, කෘත්‍රිම බුද්ධි හැකියාවන් ගොඩනැගීම පිළිබඳ ජාත්‍යන්තර සහයෝගිතාව ශක්තිමත් කිරීම සඳහා වූ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල යෝජනාව එකඟතාවයෙන් සම්මත කරවා ගැනීමට චීනය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය.

එමෙන්ම, “තීරයක් සහ මාවතක් වැඩසටහන” (Belt and Road Initiative – BRI) ඔස්සේ ඩිජිටල් සහයෝගිතා වේදිකා ගොඩනඟමින්, අග්නිදිග ආසියාවේ සහ අප්‍රිකාවේ රටවලට අඩු පිරිවැයකින් ස්මාර්ට් යටිතල පහසුකම්, දේශීය භාෂා AI ආකෘති සහ ඩිජිටල් කුසලතා පුහුණු වැඩසටහන් ලබාදීමට චීනය කටයුතු කර තිබේ. මෙම සියලු ප්‍රයත්නයන් මගින්, කෘත්‍රිම බුද්ධියේ සෞඛ්‍ය සම්පන්න, ඇතුළත් සහ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය සිය ප්‍රතිඥාව ප්‍රායෝගික ක්‍රියාමාර්ගවලින් සනාථ කර ඇති බව තහවුරුවේ. තවද, ෂැංහයි නගරයේ ලෝක ඇඓ සහයෝගිතා සංවිධානය (World AI Cooperation Organization) පිහිටුවීම, ගෝලීය දකුණේ රටවල ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වන තවත් වැදගත් පියවරක් වන්නේය. එම සංවිධානය මගින්, කෘත්‍රිම බුද්ධි සංවර්ධනය සහ ගෝලීය පාලනය ඉදිරියට ගෙන යාම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව එක්රැස් වන අතර, කෘත්‍රිම බුද්ධි ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් වන බවද එම එක් රැස් වීම මගින් තහවුරු වේ. මෙවර 2026 ලෝක කෘත්‍රිම බුද්ධි (AI) සමුළුව පිළිබඳ ජාත්‍යන්තර උනන්දුව සියලු අපේක්ෂාවන් ඉක්මවා ගිය ගොස් තිබේ.

ජනප්‍රිය පුවත්  සුරේෂ් සලේගේ බිරිඳගෙන් ශානි අබේසේකරට ලිපි දෙකක්

මෙම සමුළුව සඳහා සමාගම් 1,100කට අධික සංඛ්‍යාවක් සහභාගි වූ අතර, AI නිෂ්පාදන 300කට වැඩි සංඛ්‍යාවක් ලෝකයට ප්‍රථම වරට එළිදක්වා තිබේ.

එමෙන්ම, ටියුරින් සම්මානලාභී සහ චීන විද්‍යා ඇකඩමියේ විදේශීය සාමාජික මහාචාර්ය ජෝන් එඩ්වඩ් හොප්ක්‍රොෆ්ට් (John Edward Hopcroft) සමුළුව අමතා දේශනයක් පැවැත්වූ අතර, රටවල් 100කට අධික සංඛ්‍යාවක සහ ජාත්‍යන්තර සංවිධානවල නිල නියෝජිතයන් මෙන්ම, විද්වත් හා කර්මාන්ත ක්ෂේත්‍ර නියෝජිතයන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. ඔවුන් චීනය වෙත ආකර්ෂණය වූයේ ආර්ථික හා තාක්ෂණික අවස්ථාවන් සඳහා පමණක් නොවේ. ලෝකය තීරණාත්මක තේරීම්වලට මුහුණ දෙන අවස්ථාවක, වගකීමෙන් යුත් ප්‍රධාන රාජ්‍යයක් ලෙස පෙරමුණ ගෙන ක්‍රියා කිරීමට චීනය දක්වන සූදානම ද එයට ප්‍රධාන හේතුවකි.

එම නිසා, “චීනය සමඟ ගමන් කිරීම යනු අනාගතය දෙසට ගමන් කිරීමයි” යන අදහස අද වන විට වඩාත් පැහැදිලි යථාර්ථයක් බවට පත්ව තිබේ.

කෘත්‍රිම බුද්ධිය යනු මානව වර්ගයාගේ සමූහ ප්‍රඥාව සංග්‍රහ කළ අගනා සම්පතකි. එබැවින් එහි සංවර්ධනය සියලු ජනතාවගේ යහපත සහ ලෝකයේ පොදු සංවර්ධනය ඉලක්ක කරගනිමින් සිදුවිය යුතු වේ.

ජනාධිපති ෂී ජින්පිං මහතා ඉදිරිපත් කළ යෝජනා සහ මුලපිරීම්, සාධාරණ සහ සමානාත්මතාව මත පදනම් වූ ගෝලීය ඇඓ පාලන පද්ධතියක් ගොඩනැගීම සඳහා පැහැදිලි මාර්ගෝපදේශයක් සපයනු ලබයි.

තාක්ෂණය අතිශය වේගයෙන් ඉදිරියට යන මෙම යුගයේ, සියලු පාර්ශ්ව එකඟතාව ශක්තිමත් කරමින් ජනතාව කේන්ද්‍ර කරගත් ප්‍රවේශයකින්, යහපත සඳහා සහ මානව වර්ගයාගේ ප්‍රයෝජනය සඳහා කෘත්‍රිම බුද්ධිය සංවර්ධනය කිරීම සඳහා චීනය සමඟ අත්වැල් බැඳ ගත යුතු බව අපි ඉල්ලා සිටිමු.

එවිට පමණක්, කෘත්‍රිම බුද්ධිය මානව සුබසාධනය ඉහළ නංවන සහ මානව ශිෂ්ටාචාරය ඉදිරියට ගෙන යන ප්‍රබල බලවේගයක් බවට සැබවින්ම පත්වනු ඇතැයි Global Times අවධාරණය කරනු ලබන්නේය.

පරිවර්තනය ජීවන්ත ජයතිස්ස

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x