වැරදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයම ඉල්ලන්නේ ඇයි… මල්වතු නාහිමි මාපිය සංවිධානයෙන් අසයි….!
1 min read
යම් වැරැදි සිදුව ඇති බවට අගමැතිවරිය පවා පිළිගෙන තිබියදී නැවතත් එම අධ්‍යාපන ප්‍රතිසංස්කරණම ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලන්නේ කුමන හේතුවක් නිසාදැයි මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ උන්වහන්සේ බැහැදැකීමට ආ දෙමව්පිය සංවිධානයේ පිරිසගෙන් විමසා සිටියහ.
හය වසර ඉගෙනුම ලබන දෙමව්පියන්ගේ සංවිධානය (20) මහනාහිමි බැහැදැක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වසරේම ක්‍රියාත්මක කිරීම සඳහා මැදිහත් වන්නැයි උන්වහන්සේගෙන් ඉල්ලා සන්දේශයක් භාර දුන් අවස්ථාවේ මහනාහිමියෝ ඉහත අදහස් පළ කළහ..
“මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ යම් වැරැදි තිබෙන බව රජය පිළිගෙන තිබෙනවා. මීට සම්බන්ධ බව සඳහන් වෙන කීපදෙනෙක්ගේ රාජකාරි පවා අත්හිටුවලා තිබෙනවා. ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම වසරකට කල් දාලා තිබෙනවා. ඉතින් එහෙම තිබියදී ඒකම නැවත දරුවන්ට ක්‍රියාත්මක කිරීම සඳහා ඉල්ලුම් කිරීම අපට ගැටලුවක්. එක කණ්ඩායමක් කියනවා මේ ප්‍රතිසංස්කරණ දරුවන්ට අහිතකරයි නවත්වන්න කියලා. තවත් කණ්ඩායමක් ඉල්ලනවා ක්‍රියාත්මක කරන්න කියලා. අපට වැටහෙන විදියට අධ්‍යාපන ක්ෂේත්‍රයේ විද්වතුන්, උගතුන්, ආචාර්ය මහාචාර්යවරුන් සම්බන්ධ කරගෙන මේ ප්‍රතිසංස්කරණ විධිමත් ආකාරයෙන් නියමිත පරිදි කළොත් හොඳයි නේද? ඕන තරම් ප්‍රවීණ ආචාර්ය මහාචාර්යවරු මේ රටේ ඉන්නවනේ.’’
මෙහිදී එම දෙමාපිය සංසදය මහානාහිමි හමුවේ සඳහන් කළේ ලෝකයම අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව මංමාවත් විවර කරමින් තාක්ෂණය හා එක්ව අනාගතයට උචිත දරුවන් බිහි කරනා වර්තමානයේ මේ රටේ දරුවන්ද සුපුරුදු සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයෙන් බැහැරව අනාගතයට මුහුණ දීම සඳහා සුදුසු දරුවෙක් බිහි කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවය.
ඒ සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනිවාර්ය බවත් සුළු වැරැදි කීපයක් ඉදිරිපත් කරමින් දරුවන්ගේ අනාගතය කඩාකප්පල් කිරීම පිළිගත නොහැකි බවත් ඔවුහු මහනාහිමියන් හමුවේ සඳහන් කළහ.
මෙම කණ්ඩායම අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේද බැහැ දැක සංදේශය භාරදුන් අතර එහිදී උන්වහන්සේ පවසා සිටියේ මීට සම්බන්ධ සියලු දෙනාම එක්ව සාකච්ඡා කොට දරුවන්ට උචිත නිවැරැදි තීරණයකට පැමිණිය යුතු බවය.
මාධ්‍ය හමුවේ අදහස් පළ කළ මම සංගමයේ සාමාජික ජනනි තෙල්ලමුරේ කියා සිටියේ තම දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීම සඳහා සහාය නොදෙන ලෙස සියලුම විද්‍යුත්, මුද්‍රිත හා සමාජ මාධ්‍යයන්ගෙන් ඉල්ලීමක් කරන බවය. මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කල් නොදමා මේ වසරේම ක්‍රියාත්මක කළ යුතු බවද ඇය කීවාය.
පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !
