October 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සතොස අලාභය රුපියල් බිලියන 22ක්.. අලෙවිසල් 212ක් පාඩුයි.. – ඇමති වසන්ත

1 min read

ලංකා සතොස සමාගමේ සමස්ත සමුච්චිත අලාභය 2025 දෙසැම්බර් මාසය වන විට රුපියල් බිලියන 22ක් දක්වා ඉහළ ගොස් ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර, පසුගිය වසරේ දෙසැම්බර් වන විට සැපයුම්කරුවන්ට ගෙවීමට ඇති ණය ප්‍රමාණය රුපියල් බිලියන 14ක් වූ නමුත් සමාගම සතුව පැවති තොගවල වටිනාකම රුපියල් බිලියන 5.8ක් පමණක් වී තිබූ බවද හෙතෙම අනාවරණය කළේය.

ආයතනය මුහුණ දී ඇති මෙම මූල්‍ය අර්බුදය හමුවේ, නගරවලින් බැහැරව අක්‍රමවත් ලෙස පිහිටුවා තිබීම හේතුවෙන් පාඩු ලබමින් පවතින අලෙවිසල් ප්‍රතිව්‍යුහගත කිරීමට පියවර ගෙන තිබේ.

ඒ යටතේ කලින් පැවති අලෙවිසල් 452න් සමහරක් වසා දමා ඇති අතර, දැනට දිවයින පුරා සක්‍රීයව පවතින අලෙවිසල් 423න් 212ක්ම තවදුරටත් පාඩු ලබන තත්ත්වයක පවතී. 2020 වසරේ සිට සෑම වසරකම සතොස අඛණ්ඩව ප්‍රාග්ධන අලාභ වාර්තා කර ඇති අතර, 2020 දී රුපියල් බිලියන 1.387ක් සහ 2025 දී රුපියල් මිලියන 721ක් ලෙස වාර්ෂික අලාභයන් සටහන් වී ඇත.

ජනප්‍රිය පුවත්  කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට නියමිතයි -ජනතාවට අවධානයෙන් සිටින ලෙස දැනුම්දෙයි

මෙම තත්ත්වය මඟහරවා ගැනීම සඳහා 2026 වසර තුළ නව සතොස අලෙවිසල් 25ක් විවෘත කිරීමට සැලසුම් කර ඇති අතර, දැනටමත් ඒ සඳහා ගිවිසුම් කිහිපයකටම අත්සන් තබා ඇත. මීට අමතරව, පවතින අලෙවිසල් 100ක් නවීකරණය කිරීමටද නියමිතය.

එසේම, පෞද්ගලික වෙළෙඳසල්වලට භාණ්ඩ සැපයීමෙන් පසු ඉතිරිවන කොටස් පමණක් සතොසට ලබාදෙන සැපයුම්කරුවන් පාලනය කිරීම සඳහා දැඩි පියවර ගෙන ඇති බවත්, පසුගිය මාස තුන ඇතුළත එවැනි සැපයුම්කරුවන් අසාදු ලේඛනගත කිරීමට කටයුතු කළ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x