මහානායක හිමිවරුන්ගේ ඉල්ලීම මත ඥානසාර හිමියන්ට ලැබුණු ජනපති නිදහස යළි වෙනස් වූයේ කෙසේද? වජිර ප්‍රශ්න කරයි
1 min read
ගලගොඩඅත්තේ ඥාණසාර ස්වාමීන් වහන්සේගේ සිවුර ඉවත් කර සිරකරු ඇඳුම ඇන්දවීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය අනාවරණය කරමින් අද (08) කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී එජාප සභාපති වජිර අබේවර්ධන මහතා කළ ප්‍රකාශය.
විනය පිටකයට අනුව සංඝයා වහන්සේගේ සිවුරු ගලවන්න පුළුවන් අදාළ නිකායට පමණයි. මහනායක ස්වාමීන් වහන්සේලා එදා ජනාධිපතිතුමාට ලිපියක් යැව්වා. ඒ ගලගොඩඅත්තේ ඥාණසාර ස්වාමීන් වහන්සේට සමාව දෙන්න කියලයි.
ස්වාමීන් වහන්සේව හිරේ යවන්න හෝ සිවුරු ඉවත් කරන්න හෝ මහනායක ස්වාමීන්වහන්සේලාට එදා අවශ්‍යතාවයක් තිබුණේ නැහැ,.
අධිකරණයේ තීන්දුව අනුව නැවත උන්වහන්සේ බන්ධනාගාර ගත කල අවස්ථාවේ අධිකරණ අමාත්‍යාංශය ගලගොඩඅත්තේ ඥාණසාර ස්වාමීන් වහන්සේගේ සිවුර ගලවා ඉවත් කිරීම සම්බන්ධයෙන් මහනායක හිමිවරුන්ගේ අදහස් ලබා ගත යුතුව තිබුණා. ඉන් අනතුරුවයි, තීරණය කල යුත්තේ කරන්නේ කුමක්ද කියා.
මේ තීරණය මගින් බුද්ධාගමයි, ආගමික නිදහසයි දෙකම අභියෝගයට ලක්වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය සහ 10 වැනි වගන්තිය උල්ලංඝණය කරලා.
ඥාණසාර හිමියන්ට මේ නඩුව ගොනු වුණේ යහපාලන ආණ්ඩු සමයේදීයි. ඒ අවස්ථාවේදී මහනායක හිමිවරුන් උන්වහන්සේට සමාව ඉල්ලා එවකට සිටි ජනාධිපතිවරයාට ලිපියක් යොමු කළා.
ඉන් අනතුරුව තමයි උන්වහන්සේට සමාව දීමට එවකට රජය කටයුතු කළේ. මෙවැනි කටයුත්තකදී නීතිය මගින් ක්‍රියා කල යුතු වුණත් වර්තමානයේදී අදාළ නීති ක්‍රියාත්මක වෙලා නැහැ. මීට පෙර මහනායක හිමිවරුන්ගේ ඉල්ලීම මත උන්වහන්සේට නිදහස ලබාදුන්නා නම් නැවත වරක් එය වෙනස් වන්නේ කෙසේද?
මෙහිදී සාමාන්‍ය නඩු කටයුත්තක් ලෙස ක්‍රියා කළ නොහැකියි. මෙය රටේ මහනායක හිමිවරුන් විසින් කළ ඉල්ලීමක් වනවා. ආණ්ඩුවට මේ ප්‍රශ්නය පාර්ලිමේන්තුව සමග සාකච්ඡා කර වෙනත් ආකාරයකින් විසඳීමට පවා ඉඩකඩ තිබුණා.
මේ කරුණ සම්බන්ධයෙන් Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනට පැමිණි පසු නීතිමය පසුබිමද ඇතුළත්ව සවිස්තර ප්‍රකාශයක් කිරීමට බලාපොරොත්තු වෙනවා.
මේ සිදුවීම ජාතියක් හැටියට අපව කම්පනයට පත් කළ අවස්ථාවක්. අප යටත් විජිතයක් ලෙස ජීවත් වෙන අවස්ථාවලවත්, ඒ යටත් විජිත පාලන කාලය තුළත් මහා සංඝරත්නයට හිරිහැර තිබුණා, සිවුර සමඟ වෙඩි තබා මරා දැමුවා, නමුත් සිවුර ඉවත් කිරීම විදේශිකයන් පවා සිදු නොකළ කාරණයක් බව විශේෂයෙන් මතක් කළ යුතුයි.
මෙය අද රටේ බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙලා. මේ ප්‍රශ්නය නිසා මං හිතනවා සමස්ත ශ්‍රී ලාංකික බෞද්ධ ප්‍රජාවම බලවත් සේ කම්පනයටත්, කණගාටුවටත් පත් ව සිටින බව.
ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය හැටියට කළ හැකි සියලු දේ අප සිදු කරනවා, විශේෂයෙන් පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් ලවා මේ නඩුව සම්බන්ධ කාරණා පාර්ලිමේන්තුවේදී මතු කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මේ පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කෙසේද මීළඟ පියවර ගන්නේ කියන කාරණය සම්බන්ධයෙන් කටයුතු කරන්න එක්සත් ජාතික පක්ෂය බලාපොරොත්තු වෙනවා.
මේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න සහ ඒවාට වජිර අබේවර්ධන මහතා ලබාදුන් පිළිතුර පහත දැක්වේ.
ප්‍රශ්නය:
මේ කාරණය සම්බන්ධයෙන් මහා සංඝරත්නයෙන් දැඩි විරෝධයක් එල්ල වෙනවා මහනායක හිමිවරුන් පවා විරෝධය පල කර තිබෙනවා. ඔබතුමා හිතන්නේ වර්තමාන ආණ්ඩුව බෞද්ධ විරෝධී පිළිවෙතක් ක්‍රියාත්මක කරනවා කියලද ?
පිළිතුර:
ඇත්තටම රජය ගෙන යන බෞද්ධ විරෝධී වැඩපිළිවෙල නිසා තමයි සමස්ත බෞද්ධයන් මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් කම්පනයට පත්වෙලා සිටින්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය අනුව බුදුදහමට කරන අපහාස සම්බන්ධයෙන් මොනවාද ගෙන තිබෙන ක්‍රියාමාර්ග?
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය අනුව රජය බුදුදහම ආරක්ෂා කිරීමට බැඳී සිටිනවා. මේ දක්වා වසර දෙකක කාලය තුළ බුදුදහමට කර තිබෙන අපහාසයන් සම්බන්ධයෙන් රජය කටයුතු කළ යුතුව තිබුණා. රජය එසේ කටයුතු කර නොමැතිනම්, ඒ කියන්නේ රජය බුදුදහමට විරුද්ධව ක්‍රියා කරන බවයි.
ප්‍රශ්නය:
ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් කියනවා චීවරය ඉවත් කළේ බන්ධනාගාර නිලධාරීන් කියලා. මේ සම්බන්ධයෙන් ඔබ දරන්නේ කුමන අදහසක්ද?
පිළිතුර:
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණය සම්බන්ධයෙන් 113 සිට 144 දක්වා පිටු ගණනාවක් තිබෙනවා. එ්වායේ මෙසේ සඳහන් වී තිබෙනවා. මේ මගේ මතය නොවෙයි’ මම කියවන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මතය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණය සම්බන්ධ පිටු කිහිපයේ බුදුදහම සම්බන්ධයෙන් විශේෂ සටහනක් තිබෙනවා.
105 (4) – “භික්ෂූන් වහන්සේලාගේ විනය හා සම්බන්ධ කාරණා හෝ භික්ෂූන් වහන්සේලා අතර ඇති යම් ආරවුලක් හෝ විහාරස්ථානවල අදාළ සේවාවන් ඉටුකිරීම සම්බන්ධයෙන් විනය ආරවුලක් හෝ විනිශ්චය කොට සමථයකට පත්කිරීම සඳහා අධිකරණයේ විනිශ්චය අධිකාරිය හෝ ආයතන ඇතිකොට පිහිටුවීමට පාර්ලිමේන්තුව විසින් නීතියෙන් විධිවිධාන සැලැස්විය හැකිය.”
මේ පරිච්ඡේදය හෝ 8 වැනි පරිච්ඡේදයට හෝ පටහැණිව කවර විධිවිධාන තිබුණද, මේ අනු ව්‍යවස්ථාවේ “භික්ෂූන් වහන්සේ“ සහ “විහාරස්ථානය“ යන යෙදුම්වල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීම ආරම්භ වුණ අවස්ථාවේ බෞද්ධ විහාරගම් හා දේවාලගම් ආඥා පනතේ ඒ යෙදුම්වල තිබූ අර්ථයම ඇත්තේය.”
පාර්ලිමේන්තුව මේ පිටුවෙන් අධිකරණ ක්‍රියාවලියට ගිහින් තිබෙනවා, නීතිමය කටයුතු සකස් කර පාර්ලිමේන්තුවෙන් සම්මත කරගන්න පුළුවන් කියලා.
නමුත් එවැනි එකක් සකස් වනතුරු 1931 අංක 19 දරණ විහාර දේවාලගම් ආඥා පනතේ තිබෙන කරුණු කාරණා සහ ඒවායේ සම්ප්‍රදායන් තමයි රජය ආරක්ෂා කළ යුතුව තිබෙන්නේ. වෙන ක්‍රියාදාමයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සටහන් වෙන්නේ නැහැ. ඒ අනුව ක්‍රියා කළ යුතුයි කියන එකයි අපේ මතය.
අනෙක අධිකරණය සම්බන්ධයෙන් තවත් කාරණයක් අප මතක තබාගත යුතුයි. “සමාව” කියන වචනය ගත්තොත්, සමාව දෙනවා පාසැලේදී ගුරුවරු , සමාව දෙනවා ඒ ඒ ආගම් අනුව ආගමික නායකන් විසින්, කතෝලික ආගමේ නම් ඉරිදා පල්ලියට ගියාම ඒ සඳහා පහසුකම් තිබෙනවා තමන් කරපු වැරදි කියලා සමාව භජනය කරගන්න පුළුවන්.
අධිකරණ ක්‍රියාවලිය තුළ මහේස්ත්‍රාත්වරු සමාව දෙනවා, දිසා විනිසුරුවරු සමාව දෙනවා, මහාධිකරණ විනිසුරුවරු සමාව දෙනවා, අභියාචනාධිකරණය සමාව දෙනවා, ශ්‍රේෂ්ඨාධිකරණය සමාව දෙනවා, ජනාධිපතිවරයා සමාව දෙනවා.
මේ ජනාධිපතිවරයා සමාව දෙන එක ගැන මා දුටුවා සමහර අය කියනවා, මෙය ඉවත් කළ යුතුයි කියලා. මුළු ලෝකය තුළම ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල මේ නිදහස තිබෙනවා. මං කියනවා ඒ අයට ඒවා අරගෙන කියවගන්න කියලා.
වැරදිකරුවෙක් ඒ වැරදිවලින් මුදාගෙන නිවැරදිකරුවෙක් බවට පත් කරන්නයි නීති සකස්කර තිබෙන්නේ. වැරදිකරුවෙක් සදාකල් වැරදිකරුවෙක් කරන්න නොවෙයි නීති තිබෙන්නේ. යම් අවස්ථාවල සදාකල් වැරදිකරුවන් කරන චෝදනා තිබෙනවා, නමුත් වැරදිකරුවෙක්, නිවැරදිකරුවෙක් කිරීමටයි නීතියෙන් සහ ආගමික පරිසරයෙන් අවස්ථාව සකස් කොට තිබෙන්නේ.
බුදුදහමේ කියලා තිබෙනවා පානාතිපාතා වේරමණි සික්ඛාපදං සමාදියාමි කියන පන්සිල් පදවල මුල් පදය මගින් පණ ඇති සත්ත්වයින් මරන්න එපා කියලා. ඒකයි බෞද්ධයින් ලෙස අපි මරණීය දණ්ඩනයට විරුද්ධ වෙන්නේ. මරණීය දණ්ඩනය කියන්නේ ඔහුගේ දඬුවම අවසන් වීමයි, නමුත් දඬුවම ඔහු භුක්ති විඳින්න නම් ඔහු ජීවත් විය යුතුයි, ඒ තමයි බුදුදහමේ ස්වභාවය.
ජනාධිපතිවරයාගේ සමාවදීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි වගන්තිය යටතේ මේ ආකාරයට සඳහන් කර තිබෙනවා, “ජනාධිපතිවරයාට බලය ඇත්තේය.“ මොනවාටද? සමාවදීමට. එහෙම කියලා මෙන්න මෙහෙමත් කියනවා,
“එසේ වුවද, යම් වරදකරුවෙකුට අධිකරණයෙන් මරණ දණ්ඩනය නියම වූ විටක (සමාවදෙන අය අතරින් මරණ දණ්ඩනය නියම වූ විටක) ජනාධිපතිවරයා විසින් ඒ නඩුව විභාග කළ විනිශ්චයකාරවරයාගෙන් වාර්තාවක් ලබා ගැනීමට සැලැස්විය යුත්තේය. එම වාර්තාව ජනාධිපතිවරයා වෙත ලැබුණු විට ඒ පිළිබඳව නීතිපතිවරයා උපදෙස් දීමෙන් පසුව, නීතිපතිවරයාගේ උපදෙස් සමඟ ඒ අධිකරණ විෂයභාර අමාත්‍යවරයා වෙත යැවිය යුතු බව නියම කොට, ජනාධිපතිවරයා විසින් ඒ නීතිපතිවරයා වෙත යැවිය යුත්තේය. ඉන්පසුව ඒ අමාත්‍යවරයා විසින් සිය නිර්දේශය සමඟ එම වාර්තාව ජනාධිපතිවරයා වෙත එවිය යුත්තේය.”
කුමන අවස්ථාවකද? මරණීය දණ්ඩනය නියම වූ අවස්ථාවක.
35 (1) යටතේ සමාවදීම සම්බන්ධයෙන් තවදුරටත් මෙහෙම කියනවා කියනවා.
“එසේම තවදුරටත් ජනාධිපතිවරයා විසින් 33 වැන ව්‍යවස්ථාවේ (ඌ) අනු ව්‍යවස්ථාව යටතේ, (අර සමාව සම්බන්ධයෙන් වන වගන්තිය යටතේ) බලතල ක්‍රියාත්මක කිරීම පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට අධිකරණ බලයක් නොතිබිය යුත්තේ ය.“ කියලා.
මේ කිසිවක් මගේ වචන නොවෙයි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙන වචන. මේ කරුණු සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ VIII වැනි විධායක ජනාධිපතිතුමා මහජන නියෝජිතයන් සමග සාකච්ඡා කරමින් තිබෙනවා පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ අර්ථකතන ගත යුත්තේ කෙසේද යන ක්‍රියාදාමය පිළිබඳව.
වජිර අබේවර්ධන
සභාපති – එක්සත් ජාතික පක්ෂය
2026 ඔක්තෝබර් 08
