අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේදී නම වෙනස් කරලා.. ලංකාවට ගෙන්වන වැඩේ සංකීර්ණයි.. – ඇමති ආනන්ද විජේපාල
1 min read
මහ බැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධාන සැකකරුවකු වන අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා නීතිමය බාධා කිහිපයක් පවතින බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
සිරස රූපවාහිනියේ ‘දවස’ වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ අර්ජුන් මහේන්ද්‍රන් මේ වන විට සිය නම වෙනස් කර සිංගප්පූරු පුරවැසිභාවය ලබාගෙන ඇති බවත්, එම රටේ පවතින නීතිමය තත්ත්වයන් හේතුවෙන් ඔහුව මෙරටට ගෙන්වා ගැනීම සංකීර්ණ වී ඇති බවත් ය.
කෙසේ වෙතත්, පවතින නීතිමය බාධාවන් මඟහරවා ගනිමින් ඔහුව මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය විවිධ උපක්‍රමශීලී පියවර රජය විසින් ගනිමින් සිටින බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
බැඳුම්කර නඩුව මේ වන විට අධිකරණය හමුවේ ඉදිරියට යමින් පවතින බවත්, අපරාධ මගින් උපයාගත් දේපළ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශේෂ ඒකකයක් ස්ථාපිත කර ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය.
අපරාධකරුවන් සතු දේපළ රාජසන්තක කිරීමට අවශ්‍ය කටයුතු කිසිදු බාධාවකින් තොරව සිදු කරන බව ද ඔහු අවධාරණය කළේය.
විදේශගතව සිටින අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීමේ ප්‍රගතිය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මේ වන විට පුද්ගලයන් 236 දෙනෙකුට එරෙහිව රතු වරෙන්තු නිකුත් කර ඇති බවයි. ඉන් රතු වරෙන්තු 110ක්ම නිකුත් කර ඇත්තේ වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව බව ඔහු පෙන්වා දුන්නේය.
