මේක පාස්කු මහ නඩුව නෙමෙයි.. සැබෑ මහ මොළකරුවන් හෙළිදරව් කළ යුතුයි..
1 min read
2019 පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිටුපස සිටි සැබෑ කුමන්ත්‍රණකරුවන් සහ මහ මොළකරුවන් කවුරුන්ද යන්න විධිමත් පරීක්ෂණයකින් අනාවරණය කරගෙන ඔවුන් නීතිය හමුවට පැමිණවීම අත්‍යවශ්‍ය කරුණක් බව කතෝලික සභාව අවධාරණය කරයි.
මාධ්‍ය හමුවකට එක්වෙමින් කතෝලික සභාවේ ජාතික මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමන් සඳහන් කළේ, සහරාන් හෂීම් ඇතුළු කල්ලියේ 25 දෙනෙකුට එරෙහිව පැවති නඩු තීන්දුව මඟින් වින්දිතයන්ට සහ ජාතික ආරක්ෂාවට යම් සාධාරණයක් ඉටු වුවද, එය සමස්ත පාස්කු ප්‍රහාරයට අදාළ එක් නඩුවක් පමණක් බවයි.
මාධ්‍ය විසින් මෙය ‘මහ නඩුව’ ලෙස හැඳින්වුව ද සැබෑ ලෙසම ප්‍රහාරය පිටුපස වූ සමස්ත කුමන්ත්‍රණය පිළිබඳව තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක විය යුතු බව සිරිල් ගාමිණී පියතුමා පෙන්වා දුන්හ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පියතුමන් සඳහන් කළේ චැනල් 4 නාලිකාවේ හෙළිදරව් කිරීම් පදනම් කරගනිමින් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සිදුවන විමර්ශන සහ සුරේෂ් සලේ ඇතුළු පුද්ගලයන් සම්බන්ධ නීතිමය ක්‍රියාමාර්ග තවමත් පරීක්ෂණ මට්ටමේ පවතින බවයි.
එමෙන්ම ප්‍රහාරයෙන් හානියට පත් වින්දිතයන් විසින් වන්දි ඉල්ලා ගොනු කළ නඩු 100කට අධික ප්‍රමාණයක් තවමත් විවිධ අධිකරණවල විභාග වෙමින් පවතින බව සිරිල් ගාමිණී පියතුමා පෙන්වා දුන්හ.
පූර්ව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වූ නිලධාරීන් දෙදෙනෙකුට දඬුවම් නියම වී ඇති නමුත්, රාජකාරිය පැහැරහැරි අනෙකුත් නිලධාරීන්ට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක විය යුතු බව සිරිල් ගාමිණී පියතුමා අවධාරණය කළහ.
ඒ අනුව සහරාන්ට සහාය දුන් පිරිසට දඬුවම් ලැබීමට එහා ගොස්, මෙම ඛේදනීය ප්‍රහාරය සැලසුම් කළ සැබෑ මහ මොළකරුවන් කඩිනමින් නීතිය හමුවට පමුණුවනු ඇතැයි කතෝලික සභාව අපේක්ෂා කරයි.
