නැව් 19කම ගල්අඟුරු බාලයි
1 min read
ආණ්ඩුව නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට පසුගිය කාලයේ නෞකා 19කින් ගෙන්වූ ගල්අඟුරු ප්‍රමිතියෙන් තොර බව ජාත්‍යන්තර තත්ත්ව පරීක්ෂණයකින් හෙළිවී ඇති බව පාර්ලිමේන්තුවේදී අනාවරණය විය. ඒ, යටිතල පහසුකම් හා උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ අධීක්ෂණ කාරක සභාවේ සභාපති මන්ත්‍රි එස්.එම්. මරික්කාර් පරික්ෂණ වාර්තා ද ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී කළ කතාවකිනි.
ඔස්ට්‍රේලියාවේ බියුරෝ වෙරිටාස් ඉන්ටර්නැෂනල් සමාගම ගල්අඟුරු නැව් සම්බන්ධයෙන් තෙවන පාර්ශ්වයේ පරීක්ෂණයක් කර ඇති අතර ලංකාවට ගෙන්වූ ගල්අඟුරු නැව් දහනවයම බාල ඒවා බව එමගින් අනාවරණය වී ඇති බව මන්ත්‍රිවරයා පැවැසීය.
පළමු නැවෙහි ප්‍රමිති අගය 5420, දෙවැනි නැව 5607, තුන්වැනි නැව 4901, සිව්වැනි නැව 5398, පස්වැනි නැව 5503, හයවැනි නැව 5011, හත්වැනි නැව 4762, අටවැනි නැව 4776, නවවැනි නැව 4929, දසවැනි නැව 4959, එකොළොස්වැනි නැව 4831, දොළොස්වැනි නැව 4858, දහතුන් වැනි නැව 4959, දාහතරවැනි නැව 4897, පහළොස් වැනි නැව 5822, දහසයවැනි නැව 4871, දාහත්වැනි නැව 5789, දහඅට වැනි නැව 5340 සහ දහනව වැනි නැව 4943ක් බව මන්ත්‍රිවරයා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළේය.
බාල ගල්අඟුරු ගෙන්වීම හේතුවෙන් ජනවාරි පළමුවැනිදා සිට ජුනි 30 වැනිදා දක්වා රටේ විදුලි අවශ්‍යතාව වන මෙගා වොට් තුන්සීය නිෂ්පාදනය කළ නොහැකි වීමෙන් විදුලි අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට රුපියල් මිලියන අටදහස් පන්සීය තිස්හයක් අමතරව වියදම් කර ඇති බවට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා වාර්තාවකින් අනාවරණය වී ඇති බවද හෙතෙම පැවැසීය. මෙරටට ගෙන්වා ඇති බාල ගල්අඟුරු සැප්තැම්බර් මස 12 වැනිදා දක්වා භාවිත කිරීමට වනු ඇතැයි ද මේ හේතුවෙන් පාඩුව රුපියල් මිලියන දසදහසක් පමණ වනු ඇතැයි හෙතෙම පැවැසීය. යන්ත්‍ර සූත්‍රවලට වී ඇති හානිය ද සමගින් පාඩුව තවත් වැඩි විය හැකි බවද මන්ත්‍රිවරයා පැවැසීය.
- අනීෂා මානගේ
