August 4, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

“අලින්ගේ කකුල්වල දම්වැල් දාන්න ඕනේ කියන අයගෙ කකුල්වල දම්වැල් දාලා මාසයක් දෙකක් තියන්න ඕනේ”

1 min read

“අලින්ගේ කකුල්වල දම්වැල් දාන්න ඕනේ කියන අයගෙ කකුල්වල දම්වැල් දාලා මාසයක් දෙකක් තියන්න ඕනේ” කියලා නන්දන වීරරත්න අභියෝග කරනවා. ඒ මහත්තයා මේ කියන්නේ විශේෂයෙන් පෙරහරේ යද්දී අලින්ට දම්වැල් දාන එකෙන් සත්ත්ව හිංසාවක් වෙන්නේ, ඒ නිසා එක වහාම නවත්වන්න ඕනේ, එහෙම නවත්වනවාට විරුද්ධ අයට අර දඬුවම දෙන්න ඕනේ කියලා.


මේකනම් ඒ තරම් බුද්ධිමත් තර්කයක් නෙවෙයි. එහෙමනම් ඉතින් පෝක්, චිකන්, මාළු කන හැම කෙනාවම මරල බලන්නත් වෙනවනෙ.


කොහොම නමුත් මේ තර්කෙ ඒ තරම් අතාර්කික එකක් වුණත් ගොඩක් අය අතර ඒක ජනප්‍රිය බව පේනවා. ඒකට හේතුව මේ ගොඩක් අය මසට හදන සත්තු වෙනම, කැලේ ඉන්න සත්තු වෙනම කියලා සත්තුන්ව බෙදලා තියෙන නිසා. ඒ කියන්නේ ඔය කුකුල්ලු ඌරො හරක් වගේ සත්තු මසට හදන සත්තු, අලි කියන්නේ කැලේ ඉන්න සත්තු කියලා එයාලා විසින් සත්තුන්ව වර්ගීකරණය කරලා තියෙන්නේ.


ඒ තරම් මානව ආධිපත්‍යධාරී කතාවක් මට නම් තවත් නැහැ. ඒ වර්ගීකරණය කරලා තියෙන්නෙත් මිනිස්සුනේ. එහෙම නැතිව කුකුල්ලු, ඌරො, එළුවෝ, හරක් වගේ සත්තු ඇවිල්ලා අපිට කිව්වේ නෑනේ අපි මසට හදන සත්තු, ඒ නිසා අපිව කූඩු කරලා, කොටු කරලා, හදලා මරන් කන්න කියලා. ඒ වෙනුවට ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නේ මිනිසුන්ගේ කැමැත්ත මත ඒ සත්තුන්ව මසට හදනවා.

ජනප්‍රිය පුවත්  බුද්ධි අංශ බිද වැට්ටවීම කා වෙනුවෙන් ද?


මෙතන තියෙන ලොකුම විහිළුව තමයි අපි අපේ තනි කැමැත්තට එක සත්තු කොටසක් එහෙම මැරෙන්න නියම කරලා, මරන් කන අතරේ, අපිම තෝරගත්තු තවත් සත්තු කොටසකට අබ ඇටයකවත් හානියක් වෙන්ඩ දෙන්න බෑ කියලා අපිම නියම කරගෙන ඉන්න එක. ඒකයි මම කියන්නේ මේ තරම් මානව කේන්ද්‍රීය කතාවක් තවත් නැහැ කියලා.


ඇත්තටම මේක මානව කේන්ද්‍රීය විතරක් නෙමෙයි යුරෝ කේන්ද්‍රිය කතාවක්. මොකද අලියා සියයට සියයක් කැලේ සතෙක් වෙන්නේ යුරෝපයට සාපේක්ෂව. යුරෝපය අලි නැති නිසා එයාලට අලි පිළිබඳ සම්ප්‍රදායක්, සංස්කෘතියක්, එදිනෙදා උපයෝගීතාවක් නැහැ. යුරෝපීයෙක්ට අලියෙක් කියලා කියන්නේ තමන් පිටරට යන ට්‍රිප් එකකදී සෆාරි ජීප් එකක ඉඳන් බලන්න තියෙන දර්ශනයක් විතරයි. එයාලා හරක් අශ්වයෝ බැටළුවෝ තමන්ගේ අවශ්‍යතාව අනුව දම්වැල් කරපටි දාලා, කූඩු කරලා, කොටු කරලා හදලා, අවශ්‍ය වෙලාවට මරලා කනවා හෝ අනවශ්‍ය නම් මරලා ඉවත් කරනවා. මොකද යුරෝපීය සමාජය සහ ජීවන ක්‍රමය ගොඩනැගිලා තියෙන්නේ ඒ සත්තුත් එක්කමයි.


අලි ඉන්න ආසියාවේ අලියා හුදෙක් කැලෑ සතෙක් නෙවෙයි. අඩුම තරමින් අවුරුදු තුන් හාරදාහක් තිස්සේ මිනිස්සු අලින්ව තමන්ගේ වැඩ කටයුතුවලට ප්‍රයෝජනයට අරන් තියෙනවා. සමහරවිට ආර්ථික වැඩවලට, සමහරවිට යුද්ධවලට, තවත් වෙලාවට සංස්කෘතික වැඩවලට. දැන් ඉතින් කාර්මික හා තාක්ෂණික දියුණුවත් එක්ක ආර්ථික හා යුද වැඩවලට අලින්ව යොදා ගන්න එක හොඳටම අඩු වෙලා. නමුත් ඉතින් සංස්කෘතිය දිගට යනවා. සංස්කෘතිය කියන්නේ අවශ්‍ය වෙලාවට විතරක් පාවිච්චි කරලා එළියට විසිකරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක මිනිස්සුන්ව අර්ථකථනය වෙන අනන්‍යතාවයේ කොටසක්.

ජනප්‍රිය පුවත්  නෛතික ලිංගිකත්වය ?


හරියට දැන් යුරෝපයේ අශ්වයා වගේ. දැන් මිනිස්සුන්ට ගමන් යන්න අශ්වය ඕනේ නැහැ. යුද්ධ කරන්න අශ්වයා පාවිච්චි කරන්නෙත් නැහැ. හැබැයි බකිංහැම් මාලිගාවේ වැඩවලට අශ්වයා යොදා ගන්නවා. රැජින හරි රජ්ජුරුවෝ හරි තමන්ගේ කිරුළු පැළඳවීමේ මංගල්‍යයට අශ්ව කරත්තෙකින් යනවා දකින්න තමයි එංගලන්තෙ මිනිස්සු කැමති. ඒ ආශ්වයො පව් තමයි, කාරෙකේ යනවට වඩා අශ්ව කරත්තේ යන එක කාර්යක්ෂමතාවයෙන් හා සුවපහසුවෙනුත් අඩුයි තමයි. ඒත් ඉතින් සංස්කෘතියෙ හැටි එහෙමයි.


ඔය අලින්ගේ දම්වැල් ගැන කතා කරන සමහරුන්ට තියෙන්නෙ සංස්කෘතිය වගේ විෂයයක් ගැන ඇති නොදැනුවත්කම. තවත් කට්ටියක් ඉන්නවා තමන් අනිත් අයට වඩා මානුෂිකයි කාරුණිකයි කියලා පෙන්නන්න උත්සාහ කරන අය. තවත් කට්ටියක් ඉන්නවා බටහිර එයාකාරයෙන්ම ෆොටෝ කොපියක් විදිහට අනුකරණය කරලා පොෂ් වෙන්න හිතන අය. ඒත් එක්කම ඉතින් ලංකාවේ බෞද්ධ සංස්කෘතියත් එක්ක සදා ඇරියස් එකක් තියෙන කණ්ඩායමත් ඉන්නවා. ඔය මොන කට්ටිය වුණත් මොන තර්කෙ දාලා ගෙනාවත් ඔය කතාව අතාර්කික එකක්.


අපිට තව කාලයක් යනතුරු සත්තුන්ව අපේ මිනිස් අවශ්‍යතා සඳහා යොදා ගන්න වෙනවා. මිනිස් අවශ්‍යතා කියලා කියන්නේ මිනිසුන්ගේ සියලුම අවශ්‍යතා. ඒ කියන්නේ ආර්ථික, සංස්කෘතික කියන සියලුම අවශ්‍යතා. ඒ නිසා පදනමක් නැති ව්‍යාජ සත්ව ප්‍රේමයක් දාලා තමන්ටවත්, ලෝකයටවත් කවදාවත් රකින්න බැරි ශීලයක් යෝජනා කරන එක නෙවෙයි අපි කරන්න ඕනේ.

ජනප්‍රිය පුවත්  යෝජිත ශ්‍රී ලාංකික දිනය හා සමූහ මිනීවලවල්


ඒ වෙනුවට අපි කරන්න ඕනේ “සතුන්ව අපේ අවශ්‍යතා සඳහා යොදා ගන්නත් ඕනේ, හැබැයි ඒක පුළුවන් තරම් මානුෂික විදියට කරන්නත් ඕනේ” කියන සාමාජයීය හා නෛතික එකඟතාවට එන එක.


බටහිර රටවල්වල සත්තු හදන විදිය අපිට හොඳ උදාහරණයක්. එතැනදී මසට හදන සතෙක් සම්බන්ධයෙන් වුණත් හැකි තරම් මානුෂික වීම සඳහා වූ දැඩි නීති තියෙනවා. හැබැයි ඒ සතාව කූඩු කරන්න ඕන තැනදි කූඩු කරනවා, කොටු කරන්න ඕන තැනදි කොටු කරනවා, දම්වැල් කරපටි දාන්න ඕනේ තැනදී ඒක කරනවා, බැරිම වුනොත් සතාට අඩුම වේදනාවක් ඇතිවන ක්‍රමයකින් මරනවා. මිනිසගේ ළඟම යලුවා කියන බල්ලා සම්බන්ධයෙන් වුණත් එච්චරයි. ප්‍රායෝගික ලෝකයේ සතුන් සම්බන්ධයෙන් යන්න පුළුවන් දුර එච්චරයි.

  • Anuruddha Pradeep Karnasuriya
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x