රැඳවුවන් 1021 දෙනෙක් හිර ගෙවල් ඇතුළෙම මැරිලා
1 min read
පසුගිය වසර පහ අතුළත බන්ධනාගාර රැඳවුවන් 1021 දෙනකු මරණයට පත්ව ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන වාර්තාවක දැක්වේ.
ඒ අතරින් 552 දෙනෙක් එනම් සියයට පනස් හතරක් රිමාන්ඩ් රැඳවූවෝ බවද එහි දැක්වේ.
මරණයට පත්ව ඇති 469 දෙනෙක් සිරගත රැඳවුවන් වෙති.
එලෙස මියගිය රැඳවූවන් අතරින් 384 දෙනකු අයිස්, හෙරොයින් හෝ වෙනත් නීති විරෝධී මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම විකිණීම යන වරදවල් යටතේ බන්ධනාගාර ගත වූවන්ය.
මේ අතර රස පරීක්ෂක වාර්තා ඉදිරිපත් කිරීමේ ප්‍රමාදය නිසා පසුගිය වසර අවසානය වන විට සැකකරුවන් 15,117 දෙනකු බන්ධනාගාරගතව සිටි බවත් එම වාර්තාව පෙන්වා දෙයි.
ඇප ලැබිලත් ගිය නැති 1,431ක් හිරේ
එමෙන් ම අධිකරණයෙන් ඇප නියම වී සිටිය ද ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම, ඇප තැබීමට ඥාතීන් ඉදිරිපත් නොවීම, මුදල් නොමැතිවීම වැනි හේතු මත රැඳවුවන් 1431 දෙනෙකු බන්ධනාගාරගතව සිටින බවත්, ඉන් ඇප නියම වී මාස 5ට වැඩි කාලයක් ගතවූ රැඳවූවන් සංඛ්‍යාව 325ක් බවත් එම වාර්තාවේ සඳහන්ව තිබේ.
මේ අතර රස පරීක්ෂක වාර්තා කඩිනමින් ලබාගත හොත් බන්ධනාගාර තදබදය හරි අඩකින් පමණ අඩුකර ගැනීමට හැකි වීම පිළිබඳව ආණ්ඩුවේ අවධානය යොමුවී තිබේ.
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන වාර්තා කඩිනමින් ලබා ගැනීම තුළින් මේ වන විට අධිකරණවල ගොඩ ගැසී පවතින ලක්ෂ 11 ක් පමණ නඩු ප්‍රමාණය ද අඩුකර ගත හැකිවීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමු වී තිබේ.
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට මානව සම්පත් ඇතුළු පහසුකම් ලබා දෙමින් එහි කාර්යක්ෂමතාවය ඉහළ නංවා, රස පරීක්ෂක වාර්තා කඩිනම් ලබාගැනීම පිළිබඳව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ නිලධාරීන් සමග ජනාධිපතිවරයා සාකච්ඡාවක් ද පවත්වා තිබේ.
මේ වන විට බන්ධනාගාරවල ඇති වී තිබෙන තදබදයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින මත්ද්‍රව්‍ය සිද්ධීන්ට සම්බන්ධ 15000 කට අදාළ රැඳවූවන් සම්බන්ධයෙන් වන රස පරීක්ෂක වාර්තා ප්‍රමාදවීම හේතුවෙන් ඔවුන්ට ඇප නොලැබීම බව ද එම සාකච්ඡාවේදී අනාවරණය වී තිබේ.
‘‘රජයේ රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීමේදී ප්‍රමාදය බන්ධනාගාර තදබයට දැඩිව බලපා තිබෙනවා. බන්ධනාගාරවල රඳවා තැබිය හැකි රැඳවූවන් ගණන 10,375 ක් වුවත්, ඒ වගේ හතර ගුණයක පමණ පිරිසක් බන්ධනාගාරවල මේ වන විට ඉන්නවා. මේ හේතුවෙන් ඇතැම් කණ්ඩායම් විවිධ ගැටලු ඇතිකර ගන්නවා.
මීගමුව බන්ධනාගාර සිද්ධියත් ඒ වගේ එකක්. රස පරීක්ෂක වාර්තා කඩිනම් කිරීමෙන් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින ප්‍රමාණයෙන් භාගයක් පමණ අඩුකර ගත හැකි වෙනවා’’ යැයි අධිකරණ ඇමැති නීතිඥ හර්ෂණ නානායක්කාර පූගොඩ නව අධිකරණ සංකීර්ණය විවෘත කරමින් පෙරේදා (24) පැවැසීය.
