June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

තවත් තදින් QR කේතයේ ක්‍රියාත්මක කරන්න දෙයක් නැහැ

1 min read

මේ දිනවල ඇතැම් ඉන්ධන පිරවුම්හල්වලින් නිකුත් කරන ඉන්ධන ප්‍රමිතියෙන් තොර බවට පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතියි. එම ඉන්ධන භාවිත කිරීමෙන් වාහනවල ක්‍රියාකාරීත්වයට සහ ඉන්ධන පරිභෝජන කාර්යක්ෂමතාවයට අහිතකර බලපෑම් ඇතිවන බවටද චෝදනාවක් ඇත. මෙම චෝදනාවල සත්‍යයක් තිබේද? මේ වන විට ඉන්ධන පිරවුම්හල්වලට ලැබෙන ඉන්ධන නිසි ප්‍රමිතියෙන් යුක්තද? ආදී කාරණා පිළිබඳව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ සමග “අරුණ” කළ සාකච්ඡාවකි මේ.

මේ දවස්වල ඇතැම් ඉන්ධන පිරවුම්හල්වලින් නිකුත් කරන ඉන්ධන ප්‍රමිතියෙන් තොර බවට පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනවා. ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයට ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලැබිලා තියෙනවද ?

නැහැ. දැන් නිකුත් කරන ඉන්ධන තත්ත්වයෙන් බාලයි කියලා අපේ සංගමයට කිසිම කෙනෙක් පැමිණිලි කරලා හෝ එවැනි තොරතුරක් අපේ සංගමයට වාර්තා වෙලා නැහැ. අපි දැනටත් නිසි ප්‍රමිතියට අනුවයි ඉන්ධන නිකුත් කරන්නේ.

ඒත් දැන් තියෙන ඉන්ධන තත්ත්වයෙන් බාලයි කියලා කතාවක් පහුගිය දවසක සමාජ මාධ්‍යවලවල සංසරණය වුණා නේ?

දැන් පිරවුම්හල්වලින් නිකුත් කරන ඉන්ධන තත්ත්වයෙන් බාලයි කියන කතාව අපිට පිළිගන්න බැහැ. මොකද සාමාන්‍යයෙන් ඉන්ධන පිරවුම්හලකට බව්සරයකින් ඉන්ධන ගෙන ආ පසුව මුලින්ම ඒ ඉන්ධනවලින් සාම්පලයක් ගන්නවා. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් කියලා තියෙන ආකාරයට අපි ඒ ඉන්ධන සාම්පලය පරීක්ෂාවට ලක් කරනවා. පැහැය, ගඳ සුවඳ වෙනස් වෙලාද කියලා බලනවා. ජලය හෝ වෙනත් අපද්‍රව්‍ය ඉන්ධනවලට එකතු වෙලාද කියලත් පරීක්ෂා කරනවා. බවුසර්වල තිබෙන ඉන්ධන භූගත කරන්න අවසර දෙන්නේ ඉන්ධනවල කිසිම ප්‍රශ්නයක් නෑ, ඉන්ධන නිසි ප්‍රමිතියටම තියෙනවා කියලා ඉන්ධන පිරවුම්හලේ පාලකයාට ඒත්තු ගියොත් පමණයි. ඉන්ධනවල වර්ණයේ හෝ ගන්ධයේ පොඩි හරි වෙනසක් තිබුණොත් හෝ වෙනත් ගැටලුවක් තිබෙන බව නිරීක්ෂණය වුණොත් කිසිම හේතුවකට ඒ ඉන්ධන භූගත කරන්න ඉඩ දෙන්නෙ නැහැ. වහාම ඒ පිළිබඳව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැනුම් දීමට අපි කටයුතු කරනවා. ඒ නිසා මේ වන විට ඉන්ධනවල ප්‍රමිතියේ ප්‍රශ්නයක් තියෙනවා කියන කතාව අපිට පිළිගන්න බැහැ. බාල තෙල් ලංකාවට ඇවිත් තියෙනවා කියලා පුද්ගලයන් කිහිප දෙනෙක් මුහුණු පොතේ සටහන් කරලා තියෙනවා අපිත් දැක්කා. ඒත් ඒ සම්බන්ධයෙන් ඉන්ධන පිරවුම්හල්වලින් අපිට කිසිම පැමිණිල්ලක් ලැබිලා නෑ. එවැනි තොරතුරක් ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයට වාර්තා වෙලත් නෑ.

ජනප්‍රිය පුවත්  ඩොලර් මිලියන 2.5 ගැන වාර්තාව මුදල් කාරක සභාවට

කිසිම දෝෂයක් නැති වාහනවලත් දහනය වන පෙට්‍රල් ප්‍රමාණයට සාපේක්ෂව ලැබෙන කාර්යක්ෂමතාවයේ වෙනසක් පෙන්නුම් කරනවා කියලත් සමහරු කියනවනේ?

යම් යම් පුද්ගලයන් මෙවැනි ප්‍රකාශ කරන්නේ තාක්ෂණික වශයෙන් තහවුරු කරගෙන හෝ නිසි පරීක්ෂණයක් කරලා නොවෙයි. අපිට එවැනි ප්‍රකාශ පිළිගන්න පුළුවන්කමක් නැහැ. සමහර විට ඒ වාහනවල හඳුනානොගත් තාක්ෂණික දෝෂ තියෙනවා වෙන්න පුළුවන්. එහෙම වුණාමත් ඉන්ධන වැඩි වශයෙන් දහනය වෙනවා. දේශගුණික විපර්යාස, අධික වේගයෙන් රිය ධාවනය, කඳුකර ප්‍රදේශවල ධාවනය කිරීම වැනි හේතු නිසාත් ඉන්ධන වැඩි වශයෙන් දහනය වෙන්න පුළුවන්. එකම වර්ගයක වාහනවලත් ඉන්ධන දහනය එකම විදිහට නොවෙන අවස්ථා තියෙන්න පුළුවන්. ඒ නිසා ඉන්ධනවල තත්ත්වය බාලයි කියලා අපිට කියන්න බැහැ.

“පුද්ගලික සමාගම්වලට අයත් පිරවුම්හල්වලින් නිකුත් කරන ඉන්ධනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නය තියෙන්නේ රාජ්‍ය අංශයට අයත් ඉන්ධන පිරවුම්හල්වලින් නිකුත් කරන ඉන්ධනවල පමණයි” කියලත් මතයක් තියෙනවා.?

ඒ අදහසත් සම්පූර්ණයෙන්ම වැරැදියි. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා පුද්ගලික සමාගම් ඉන්ධන ගෙන්වන්නේ වෙන වෙනම වුණත් ඒ ඉන්ධන ගබඩා කරන්නේ මුතුරාජවෙල සහ කොළොන්නාවේ පිහිටි ටැංකිවලනේ. එතකොට පුද්ගලික අංශයෙන් ගෙන්වන ඉන්ධන වෙනම ගබඩා කිරීමක් වෙන්නේ නැහැ. අංශ දෙකෙන්ම ගෙන්වන ඉන්ධන එකම ටැංකිවලයි ගබඩා කරන්නේ. සෑම ඉන්ධන පිරවුම්හලකටම එකම ටැංකියකිනුයි ඉන්ධන නිකුත් කරන්නේ. ඒ නිසා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ යටතේ ක්‍රියාත්මකවන පිරවුම්හල්වල ඉන්ධන තත්ත්වයෙන් බාලයි, පෞද්ගලික සමාගම්වලට අයත් පිරවුම්හල්වල ඉන්ධන ප්‍රමිතියෙන් යුක්තයි කියලා කියන්න බැහැ. මේ සියලුම එකම ප්‍රමිතියකින් යුක්ත ඉන්ධනයි.

පසුගිය මාර්තු මාසයේ සිට මේ දක්වාම පාරිභෝගිකයන්ට ඉන්ධන නිකුත් කිරීමේදී QR කේතය අනිවාර්යෙන්ම සලකා බැලුවා. ඒ වැඩසටහන ගැනත් ඔබෙන් යම් අදහසක් දැනගන්න කැමැතියි?

ජනප්‍රිය පුවත්  ගනේමුල්ලේ සංජීව ඝාතනයට ගම්පහ ඔස්මන් අත්අඩංගුවට

QR කේතයට අනුව ඉන්ධන නිකුත් කිරීමේ වැඩපිළිවෙළ ඉතා සාර්ථකව ක්‍රියාත්මක කරමින් තිබෙනවා. මේ වෙලාවේ QR කේතයකට අනුව ඉන්ධන නිකුත් කිරීම අත්‍යවශ්‍යයි. මොකද ඉන්ධන ඇණවුම් කිරීමේ මිල පවා කියලා ගිහින් තියෙන්නේ. ඒ නිසා ඉන්ධන පරිභෝජනය කළමනාකරණය කිරීම අත්‍යවශ්‍යයි.

මේ වෙලාවේ ලංකාවේ ආර්ථිකය පාලනය කිරීමට නම් ඉන්ධන පරිභෝජනය අඩු කළ යුතුයි. ඒ නිසා QR කේත ක්‍රමයකට ඉන්ධන නිකුත් කිරීම නිසා මේ වන විට ඉන්ධන අධිපරිභෝජනය යම් ආකාරයකට පාලනය වෙලා තියෙනවා.

ධීවරයන්ට සහ සුළු කර්මාන්තකරුවන්ට අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීම සඳහාත් QR කේත ක්‍රමයක් හඳුන්වලා දීලා තියෙනවද?

ධීවරයන්ට, කර්මාන්තකරුවන්ට සහ සුළු කර්මාන්තකරුවන්ට තවම QR කේත ක්‍රමයක් හඳුන්වලා දීලා නැහැ. දැනට QR කේතයක් හරහා ඉන්ධන නිකුත් කරන්නේ වාහනවලට පමණයි. මේ ක්ෂේත්‍ර සඳහාත් QR කේතයකට අනුව ඉන්ධන නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු කරනවා කියලා බලශක්ති අමාත්‍යාංශය කිව්වා. නමුත් තවම ඒ වෙනුවෙන් යම් ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ.

මේ වන විට කර්මාන්තකරුවන්ට අවශ්‍ය ඉන්ධන නිකුත් කරන්නේ කොහොමද?

කර්මාන්තකරුවන්ට සහ සුළු කර්මාන්තකරුවන්ට අදාළ ප්‍රාදේශීය ලේකම් සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා අවශ්‍ය ඉන්ධන නිකුත් කිරීමක් කරනවා. ධීවර සංස්ථාවේ නිර්දේශ මත ධීවරයන්ට ඉන්ධන නිකුත් කරන්න කටයුතු කරනවා.

කර්මාන්තකරුවන්ට හා ධීවරයන්ට අවශ්‍ය ඉන්ධන නිකුත් කිරීම සඳහාත් QR කේත ක්‍රමයක් හඳුන්වා දුන්නොත් නරකද ?

මේ පාර්ශ්ව සඳහාත් ඉන්ධන නිකුත් කිරීම සඳහා QR කේත ක්‍රමයක් හඳුන්වාදීම අත්‍යවශ්‍යයි. එහෙම නැත්නම් මේ කර්මාන්තකරුවන් විශාල අසීරුතාවලට මුහුණ දෙනවා. ඇතැම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් අවසර ගැනීමත් අසීරුයි කියලා පිරිසක් කියනවා. කර්මාන්තකරුවන් සහ ධීවරයෙන් කියන්නෙත් රටේ ආර්ථිකයට දායකවන පිරිසක්. ඒ නිසා ඔවුන්ට අවශ්‍ය ඉන්ධන ලබාදීම සඳහා QR කේතයක් හඳුන්වා දීම අවශ්‍ය යි කියලා මමත් හිතනවා.

ඉදිරි කාලසීමාව තුළ QR කේත ක්‍රමය තවත් තදින් ක්‍රියාත්මක කරන්න වෙනවා කියලත් කතාවක් තියෙනවා නේද?

ජනප්‍රිය පුවත්  බලශක්ති මධ්‍යස්ථාන 44කට බරපතළ හානි! දරුණු තෙල් අර්බුදයක ඇතිවීමේ අවධානමක්!

මේ වන විටත් ජනතාවට අවශ්‍ය ඉන්ධන නිකුත් කිරීමේදී QR කේතය අනිවාර්යෙන් සලකලා බලනවා. එක් එක් වාහන වර්ගය සඳහා සතියකට නිකුත් කළ යුතු ඉන්ධන කෝටාවක් තිබෙනවා. ඒ ඉන්ධන කෝටාවෙන් පරිබාහිරව කිසිම පාරිභෝගිකයෙක්ට ඉන්ධන නිකුත් කරන්නේ නැහැ. දැන් රටේ ජනතාව ඒ නියමිත ඉන්ධන කෝටාව මිලදී ගන්නේ QR කේතය හරහායි. ඒ නිසා ඉදිරියේදී තවත් තදින් QR කේතය ක්‍රියාත්මක කරන්න දෙයක් නැහැ.

අනෙක දැන් ඉන්ධනවල මිල දිහා බලද්දි ජනතාවට ඉන්ධන සඳහා දෛනිකව හෝ මාසිකව කළ හැකි මුදල් ප්‍රමාණයක් තියෙනවා. ඒ මුදල් ප්‍රමාණයෙන් එහාට බොහෝ දෙනෙක්ට ඉන්ධන සඳහා මුදල් වැය කරන්න හැකියාවක් නැහැ. මොකද මාසික වැටුපෙන් ඉන්ධන ගන්නවා වගේම තවත් බොහෝ දේවල් කරගන්න තියෙනවනේ. ඒ නිසා QR කේත ක්‍රමය ක්‍රියාත්මක වීමෙන් ඉන්ධන පරිභෝජනය වැළකෙනවා වගේම මිල වැඩිවී තිබීම නිසා ඉන්ධන පරිභෝජනය යම් ආකාරයකට අඩුවෙනවා. එහෙම තියෙද්දිත් ඉදිරියට තවත් තදින් QR කේත ක්‍රමය ක්‍රියාත්මක කරන්න වෙනවා කියන කතාවට පදනමක් නැහැ.

මේ වන විටත් ආණ්ඩුව ජනතාවට අවශ්‍ය ඉන්ධන සපයන්නේ යම්කිසි ආකාරයක පාඩුවක් දරා ගනිමින් කියලා පහුගිය දවසක ජනාධිපතිවරයා කිව්වා. එතකොට ඉන්ධන බෙදා හරින පුද්ගලික සමාගම්වලට ඔය කියන පාඩුව වෙන්නේ නැද්ද?

පුද්ගලික සමාගම්වලටත් ඒ පාඩුව ඉතාම තදින් දැනෙනවා කියලා ඒ සමාගම් කියලා තියෙනවා. ඒ නිසා පුද්ගලික සමාගම් ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන නිකුත් කරන්නේ සීමා සහිතවයි. නමුත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් පිරවුම්හල්වලට අඛණ්ඩව ඉන්ධන නිකුත් කිරීම කරනවා. එයින් ඇතිවන පාඩුව වැඩි වශයෙන් රජය දරාගන්නවා. කොහොම වුණත් ඔබ ඇසූ ප්‍රශ්නයට උත්තර දෙනවානම් පුද්ගලික සමාගම්වලට අයත් ඉන්ධන පිරවුම්හල්වලට ඒ සමාගම් ඉන්ධන නිකුත් කරන්නේ සීමා සහිතවයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x