විමල්ව ඇතුළට දාන්න රංග බරටම රඟයි !
1 min read
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක පසුගිය දිනවල එම කොමිෂමේ විමර්ශණ නිලධාරින් සමග ප්‍රකාශ කර ඇත්තේ, දැනට විශේෂ අධිකරණය හමුවේ විභාගයට ගැනෙන අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිෂම මගින් 2016 වසරේ දී අධිකරණය හමුවේ ගොනු කළ නඩුව දැන් කඩිනමින් විභාගයට ගෙන ඇති බවත්, එම නඩුව කෙළවර විමල් වීරවංශ නියත වශයෙන්ම වැරදිකරු වනු ඇති බවත් ය.
අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිෂමේ අභ්‍යන්තරයෙන් ලද එම තොරතුර හේතුකොටගෙන, අපගේ ගවේෂණශීලී මාධ්‍ය කණ්ඩායම මෙම නඩු විභාගය පිළිබඳ විශේෂ විමර්ශණයක නියැලුණි. එහිදී අණාවරණය වූයේ අතිශය අපුල දනවන තොරතුරු රැසකි.
අදාළ නඩු විභාගය සිදුවන්නේ අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිෂම පැමිණිලි ගොනු ඇති නඩු පමණක් කඩිනමින් විභාග කිරීම සඳහා පිහිටුවන ලද අංක 6 දරණ මහාධිකරණයේ ය. එහි මහාධිකරණ විනිසුරුවරයා වන්නේ මොහොමඩ් මිහාල් ය. නඩු කඩිනම් කිරීම පිණිසයැයි සඳහන් කර අගවිනිසුරුවරයා අධිකරණ සේවා කොමිෂන් සභාවට දෙන ලද නියෝගයකට අනුව කොළඹ මහාධිකරණ 15 ක් විවිධ විෂයන් පිළිබඳ නඩු විභාග කිරීම සඳහා වෙන් කෙරුණේ 2025 සැප්තැම්බර් අගය. ඒ අනුව මහාධිකරණ 9 ක් හා අපරාධ නඩු විභාග කරන අතර, අධිකරණ 3 ක් වාණිජ නඩු සහ සිවිල් නඩු විභාග කිරීමට වෙන් කළේය.
ඒ අනුව, මහාධිකරණ 6 හි විනිසුරු මොහොමඩ් මිහාල් එම අධිකරණයට සුදුසු යැයි අගවිනිසුරුවරයාට හා අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයාට යෝජනා කර ඇත්තේ රංග දිසානායකය. තම මිතුරන් පිරිසක් සමඟ පැවති සාදයක දී ඒ බව ආඩම්බරයෙන් පවසා ඇත්තේ රංග දිසානායකම ය.
මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මේ වන විට නීතිය උපරිම නවමින්, අතුරු අපබ්‍රංශ තීන්දු දෙමින් උත්සාහ දරමින් සිටින්නේ රංග දිසානායකට වූ පොරොන්දුව ප්‍රකාරව කෙසේ හෝ විමල් වීරවංශව අදාළ නඩුවෙන් වැරදිකරුවකු කර දඬුවම් ලබා දීම සඳහා ය.
මෙම නඩු විභාගයේ ප්‍රගතිය හා ගැටළු ගැන සාකච්ඡා කිරීමට මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක හා පැමිණිල්ලේ පාර්ශවයෙන් නඩුව මෙහෙයවන නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් නවාස් යන අය, සතියකට වරක් සති අන්තයේ දී කොළඹ පිහිටි නිවසක දී මුණ ගැසෙන බව අපගේ ගවේෂණශීලී මාධ්‍ය කණ්ඩායම අණාවරණය කරගෙන තිබේ. එහිදී ඔවුන් සාකච්ඡා කරනුයේ නඩු විභාගය වඩා කාර්යක්ෂමව අවසන් කර ගැනීම පිළිබඳව හා විත්තිය පාර්ශවයෙන් මතු වී තිබෙන අභියෝග දුරලන්නට නීතිමය රාමුව තුළ ගත හැකි පියවර පිළිබඳවය.
පසුගිය සති අන්තයට පෙර හමුවී ඇති මේ කණ්ඩායම, අදාළ නඩුව විභාගය චූදිතයාට එරෙහිව නඩු පවරන ලද පැරණි අල්ලස් පණතට හා ඒ සමග බැඳුණු අපරාධ පණත මෙන්ම සාක්ෂි ආඥා පණතට පමණක් සීමා වී සිදු කරනු වෙනුවට 2023 දී ගෙන එන ලද දූෂණ විරෝධී පනත ද අදාළ කරගෙන සිදු කළ යුතු බවට තීරණය කර තිබේ. මෙම සාකච්ඡාවේ දී ගනු ලැබූ එම තීරණය පසුගිය 21 වැනි දා පැවති අදාළ නඩු විභාගයේ දී විනිසුරුවරයාගේ තීන්දුවක් ලෙස වලංගු තත්වයට පත් කර තිබේ.
අපගේ විමර්ශන කණ්ඩායම පෙන්වා දෙන්නේ, රංග දිසානායක දෙනු ලබන උපදෙස්වලට පිටින් කිසිදු තීරණයක් නොගන්නා තත්වයකට මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් පත්ව ඇති බවයි. මේ පිළිබඳව තවත් විශේෂිත තොරතුරු රැසක් ඉදිරියේ දී අණාවරණය කිරීමට අපි සූදානමින් සිටිමු.
- සඳුන් ශාරද ගුණතිලක –
