ජූලි වන විට හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත නොකළහොත්, හමුදාව යෙදවීම පිළිබඳව නේටෝ සංවිධානයේ සාකච්ඡා
1 min read
එළැඹෙන ජූලි මස මුල වන විට හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත නොකළහොත්, අවහිර වී ඇති එම ජල මාර්ගය හරහා නැව්වලට ගමන් කිරීමට උපකාර කිරීමේ හැකියාව පිළිබඳ නේටෝ සංවිධානය සාකච්ඡා කරමින් සිටින බව එම හමුදා සන්ධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු උපුටා දක්වමින් විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
නේටෝ සාමාජික රටක රාජ්‍ය තාන්ත්‍රිකයකු ද උපුටා දක්වමින් විදෙස් ජනමාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම අදහස සඳහා උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ (NATO) සාමාජිකයන් කිහිප දෙනකුගේ සහය ලැබී ඇති නමුත්, ඒ සඳහා තවමත් අවශ්‍ය සියලුම සාමාජිකයන්ගේ ඒකමතික සහය ලැබී නොමැති බවයි.
මෙම නිලධාරීන් දෙදෙනාම අදහස් දක්වා ඇත්තේ නිර්නාමිකව සිටීමේ කොන්දේසිය මතය.
නේටෝ රටවල නායකයන් ජූලි 7-8 යන දිනවල තුර්කියේ අන්කාරා නුවරදී රැස්වීමට නියමිතය.
එවැනි පියවරක් ගැනීම, ඉරානය තුළ සිදුවන ඇමරිකානු-ඊශ්‍රායල යුද්ධය කෙරෙහි මෙම හමුදා සන්ධානය මෙතෙක් අනුගමනය කළ උපායමාර්ගයේ වෙනසක් පෙන්නුම් කරනු ඇත.
මේ වන තෙක් සන්ධානගත රටවල් තරයේ කියා සිටියේ, තමන් මෙම සමුද්‍ර සන්ධියේ කටයුතු සඳහා මැදිහත් වන්නේ සටන් සම්පූර්ණයෙන්ම නැවතීමෙන් පසුව සහ නේටෝ නොවන රටවල් රැසක් ඇතුළත් පුළුල් සන්ධානයක් ගොඩනැගීමට හැකි වූ විට පමණක් බවයි.
නමුත් සමුද්‍ර සන්ධිය වසා දැමීම හේතුවෙන් බලශක්ති මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමග ආර්ථික වර්ධන පුරෝකතන පහත වැටෙමින් පවතින අතර, ආර්ථික අර්බුදයන් ද තවදුරටත් දැඩි වෙමින් පවතී.
මේ පිළිබඳව අදහස් දක්වන ලෙස කළ ඉල්ලීමට උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ (NATO) ප්‍රකාශකයකු වහාම ප්‍රතිචාර දක්වා නොමැති බව එන් ඩී ටී වී පුවත් සේවය වාර්තා කළේය.
ඉකුත් පෙබරවාරි මස අගභාගයේදී ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට බෝම්බ හෙලීම ආරම්භ කිරීමෙන් පසුව, ගෝලීය තෙල් සහ ද්‍රව ස්වභාවික වායු සැපයුමෙන් පහෙන් එකක් පමණ ප්‍රවාහනය කෙරෙන හෝමුස් සමුද්‍ර සන්ධිය ඉරානය විසින් මුලින්ම අවහිර කළේය.
එම අවස්ථාවේ සිට මෙම ජල මාර්ගය ඇමරිකාව සහ නේටෝ සංවිධානයේ සිටින එහි යුරෝපීය සන්ධානගත රටවල් අතර නොසන්සුන්තාවයට හේතුවක් වී ඇති අතර, සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට උදව් කරන ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ඉල්ලීම්වලට අවනත වීම එම යුරෝපීය රටවල් ප්‍රතික්ෂේප කර තිබිණි.
මෙම ප්‍රතිචාරය පිළිබඳව ට්‍රම්ප් නැවත නැවතත් සිය දැඩි අප්‍රසාදය පළ කර ඇති අතර, වොෂින්ටනය මෑතකදී නිවේදනය කළේ තමන් ජර්මනියෙන් සෙබළුන් 5,000ක් ඉවත් කරගන්නා බවයි.
කෙසේවෙතත් එම සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සඳහා මැදිහත් වීම සම්බන්ධයෙන් තොරතුරු ලබා දී ඇති නේටෝ හි ජ්‍යෙෂ්ඨ නිලධාරියා පවසා ඇත්තේ ඇතැම් සාමාජික රටවල් මෙම සමුද්‍ර සන්ධිය සඳහා වන නේටෝ මෙහෙයුමකට අනුමැතිය දීමට තවමත් විරුද්ධ වුවද, මෙම අවහිරතාවය දිගින් දිගටම පැවතුණහොත් ඔවුන් එම අදහස වටා එකතු වනු ඇති බවයි.
නේටෝ රාජ්‍ය තාන්ත්‍රිකයා ප්‍රකාශ කර ඇත්තේ සන්ධානගත රටවල් කිහිපයක්ම සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට මැදිහත් වීම සඳහා සහයෝගය දක්වන නමුත්, අනෙක් රටවල් මෙම ගැටුමට මැදිහත් වීමට තවමත් මැළි කමක් දක්වන බවයි.
ස්පාඤ්ඤය වැනි ඇතැම් නේටෝ සාමාජිකයන් මෙම යුද්ධයට සිය විරෝධය පැහැදිලිවම ප්‍රකාශ කර ඇත.
ස්පාඤ්ඤ රජය විසින් ඉරානයට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඇමරිකාවට තම ගුවන් සීමාව සහ හමුදා කඳවුරු භාවිත කිරීම පවා තහනම් කරන ලදී.
කෙසේ වෙතත් සන්ධානයේ සාමාජික රටවල් බහුතරයක් ප්‍රවාහන හා සැපයුම් සහාය ලබා දීම සඳහා ඔවුන්ගේ හමුදා කඳවුරු වෙත ප්‍රවේශ වීමට රහසිගතව අවසර ලබා දී ඇත.
ප්‍රංශය සහ එක්සත් රාජධානිය ප්‍රමුඛ සන්ධානයක්, සටන් අවසන් වූ වහාම හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනා ගමනයේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ද සැලසුමක් සකස් කරමින් සිටින බව වාර්තා වේ. සමහර රටවල් ඒ සඳහා සූදානමක් ලෙස සිය යුදමය සම්පත් පවා එම ප්‍රදේශයේ ස්ථානගත කර තිබේ.
කෙසේ වෙතත්, බ්ලූම්බර්ග් පුවත් සේවය මීට පෙර වාර්තා කළ පරිදි, මෙම සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් නේටෝ සංවිධානයේ මැදිහත්වීම සඳහා ඇමරිකාව මෙතෙක් නිල ඉල්ලීමක් කර නොමැත.
