September 3, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ලුම්පන් බලය

1 min read

ජනතා විමුක්ති පෙරමුණ, මාලිමාව කියන වෙස් මුහුණ පැළඳගෙන ලංකාවේ බලයට පත්වීමත් එක්ක ලාංකේය සමාජයේ කවදාවත් සිදුනොවුනු සමාජීය වෙනසක් සිදුවුණා.

එනම් පළමු වරට මෙරට ලුම්පන් / පාදඩ පන්තියට රාජ්‍ය බලය සහ ඒ ආශ්‍රිත සිවිල් බලය ලැබුණා.

ලුම්පන් පන්තිය කියලා කියන්නේ සමාජයේ ආර්ථිකමය අතින් බොහොම පහළ ඉන්න, සමාජීය අතින් පහළ ඉන්න, පීඩනයට පත් වීම නිසා සලකුණු ඉතිරි වූ පිරිස.

බොහෝ වෙලාවට ඔවුන්ට ප්‍රාග්ධනයක් නැහැ. ස්ථිර ජීවිකාවක් නැහැ. ඔබ ඔය ගම් වල දකින කුලී වැඩ කරන, මාළු අල්ලන, බෝක්කු උඩ බීඩි බොන පිරිස් මේ සමාජයේ.

ඊට අමතරව ශ්‍රී ලංකාවේ නාගරික ලුම්පන් පන්තියක් ද ඉන්නවා.

ඒ දෙකටම අමතරව කුල පසුබිම, සමාජීය පීඩනය සහ පුද්ගලික ජීවිතයේ දිශානතියක් නිසා ලුම්පන් සලකුණක් ආත්මයේ තියෙන සමාජයක් ද ඉන්නවා.

ඔවුන්ගේ විශේෂත්වය නම් ලුම්පන් පුද්ගලයන්ට ස්ථිර ප්‍රතිපත්ති නැහැ. ඔය සමාජයේ ‘කොලිටීස්’ කියලා හඳුන්වන ගුණාංග ඔවුන්ට නැහැ.

එහෙම වෙන්නේ ඔවුන් ජීවිතය ගැට ගහන්න අරගලයක ඉන්නා නිසා, අනෙකා දෙස ආදරයෙන් සහ ගෞරවයෙන් බැලීමට වඩා ඔවුන් අනෙකා දෙස බලන්නේ ප්‍රයෝජ්‍යතා ඇසකින්.

ඒ වගේම සමාජයෙන් පීඩාවට ලක් වූ නිසා සමාජ වෛරයක් පපුවේ ගුලි කරගත්තු පිරිසක් ද මේ අතර ඉන්නවා.

මෙතෙක් පැවැති සෑම ආණ්ඩුවකටම අඩු වැඩි වශයෙන් ලුම්පන් බලවේග සම්බන්ධ වෙලා හිටියා. හැබැයි ඔවුන් කිසිම ආණ්ඩුවක ගාමක බලවේගයක් වුණේ නැහැ.

හුදෙක් පහළ දේශපාලනයේ සීමා සහිත චරිත වුණා පමණයි. මර්වින් සිල්වා එවැන්නෙක්. එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල වල එවැන්නන් සාමාජිකයන් වූ ඉතිහාස තිබෙනවා.

නමුත් කිසිම විටෙක මේ ලුම්පන් සාමාජිකයන් එම ආණ්ඩුවල ගාමක බලවේග වූයේ නැහැ.

මර්වින්ගේ ආතල් බලන්න. ඇමති වුනත් ඔහු සතුටු වුණේ මිනිස්සු ගස් බැඳලා. ඒ තමයි ලුම්පන් සලකුණ.

ලාංකේය ඉතිහාසයේ ඉහළ මැද පන්තිය, නාගරික සහ ග්‍රාමීය මැද පන්තිය කිසිම විටෙක ජවිපෙ දේශපාලනිකව තෝරාගත්තේ නැහැ.

මාලිමාව 2024 වන තුරුම 3% ක රැඳී සිටියේ ඒකයි.

ජනප්‍රිය පුවත්  2019 පාස්කු ඉරිදා ප්‍රහාරයේ FBI පරීක්ෂණ සහ නොඇසූ කතා - විශ්‍රාමික විශේෂ නියෝජිත රාජ් පටෙල් හෙළි කරයි!

මෙරට ඉහළ මැද පන්තිය, මැද පන්තිය සහ ග්‍රාමීය මැද පන්තිය එජාපය සහ ශ්‍රීලනිපය වටේ ගොනුව හිටියා.

ශ්‍රීලනිපය ඉලක්ක කළ පංච මහා බලවේගයේ බහුතරය ග්‍රාමීය මැද පන්තියේ. සෙස්ස නිර් ලුම්පන් සමාජය.
ජවිපෙ අදහන කාර්ල් මාර්ක්ස් පවා ලුම්පන් සමාජයට විප්ලවය කළ නොහැකි බව කියා තිබෙනවා.

ඔවුන්ගේ තවත් මතවාදීමය නායකයෙකු වන ලෙනින් ලුම්පන් පන්තිය විප්ලවයේ හතුරන් ලෙස නම් කර තිබෙනවා.

මෙරට දේශපාලනයට ජවිපෙ බිහි වීම සනිටුවහන් වන්නේම ලුම්පන් පන්තිය විසින් දේශපාලනයේ වාමවාදී හස්ථය අල්ලා ගැනීම ලෙසයි.

එතෙක් වම නියෝජනය කළ එන්. එම් ලා , කොල්වින් ලා ප්‍රභූ සමාජයේ චරිත.

ඔවුන් ශිෂ්ඨයි. ඔවුන් චින්තකයන්. ලෝක වාම සමාජය පවා ආඩම්බර වන සටන් ඔවුන් ශිෂ්ඨව මෙහෙයවූවා.

ඔවුන්ගේ පසුබිම උසස් සමාජයේ. ඔවුන්ට ප්‍රාග්ධනයක් තිබුණා.

රෝහණ විජේවීර ලා, උපතිස්ස ගමනායක ලා පැමිණ ජවිපෙ බිහි කිරීමත් සමග මෙතෙක් ශ්‍රී ලංකාවේ පැවැති සම්භාව්‍ය වම අහෝසි වුණා.

ඒ වෙනුවට ලුම්පන් වමක් බිහි වුණා.

රෝහණ විජේවීර ආරම්භ කරන ජවිපෙ වටා මූලිකවම ගොනු වුණේ කුල පීඩිත තරුණයන්.

ඔවුන්ට එන්. එම් ලා සතුරන් වුණා. ඔවුන්ට ‘ලුම්පන්’ ක්‍රමයට බලය අතට ගැනීමට උවමනා වුණා.

ක්‍රම ක්‍රමයෙන් ජවිපෙ ශ්‍රී ලංකාවේ තුන්වන බලවේගය බවට පත්වුණා.

2022 ගාළු මුවදොර අරගලයෙන් පසුව 2024 දී සමස්ථ ශ්‍රී ලංකාවම ජවිපෙ ‘උත්සාහ’ කර බලන්නට හිත හදාගත්තා.

නිර් ලුම්පන් බහුතරයේ ඡන්දයෙන් ජවිපෙ බලයට පත් වුණා.

ජවිපෙ දේශපාලන බලය ලබා ගැනීමේ සමාජ විපර්යාසය තමයි ඉතිහාසයේ පළමු වරට ග්‍රාමීය සහ නාගරික ලුම්පන් පන්තියට දේශපාලන බලය හිමි වීම.

අද රටේ මූලිකම පාලන බලවේගය වන ජවිපෙ සහ පැලවත්ත කියලා කියන්නේ මේ ලුම්පන් පන්තියේ දේශපාලන බලකොටුව.

ටිල්වින් සිල්වා තමයි ඔවුන්ගේ නායකයා.

අද රට සහ රාජ්‍ය ආයතන පාලනය කරන්නේ ජීවත් වෙන්න කැට හොලවපු, පක්ෂ කාර්යාලයට ඇවිල්ලා ප්ලේන් ටී එකක් ගහලා, රැවුල කොණ්ඩා වවාගෙන නින්දට ගියපු මිනිස්සු.

ජනප්‍රිය පුවත්  කළු රාජ්‍යයේ පළු ඇරීම! දාර්ශනිකව සිතමු…!

කුල පීඩනය නිසා ගමෙන් කොන්වෙලා ඉඳපු මිනිස්සු.

පුද්ගලික ජීවිතයේ දිශානතියක් නිසා බුලි වෙලා, එයින් ඉතිරු වුණු සමාජීය වෛරයක් පපුවේ ඉතිරි වූ මිනිස්සු.

ඔවුන් තමයි අද රටේ ගාමක බලවේගය.

අද ඔවුන් ඇමතිලා. නියෝජ්‍ය ඇමතිලා. සංස්ථා, මණ්ඩල, ආයතන සභාපතිවරු.

ඔබට පෙනෙනවා නේද ඇතැම් විට මාලිමා ආණ්ඩුවේ තනතුරු අත්හැර යන සභාපතිවරු? ආණ්ඩුකාරයන්?

ඒ තමයි වත්මන් ආණ්ඩුවේ බහුතර ලුම්පන් සහ වඩා හොඳ රටක් බිහි කිරීමේ අපේක්ෂාවෙන් ජවිපෙ වටා ගොනු වූ නිර් ලුම්පන් පිරිසේ අභ්‍යන්තර සටන.

මේ සටන නිසා නිර් ලුම්පන් සභාපතිවරුන්, ආණ්ඩුකාරවරුන් දිනෙන් දින මාලිමා ආණ්ඩුව හැර යමින් සිටිනවා.

නොඑසේ නම් ලුම්පන් පැලවත්ත විසින් ඔවුන් බැහැර කරමින් සිටිනවා. බලය ලබා ගැනීමට ඔවුන් අවශ්‍ය වූවත් බලය ලබා ගත් පසු ඔවුන් ද ලුම්පන් සමාජයට ‘අල්ලන්නේ නැති’ , ‘වෙනස්’ ද්‍රොහීන්.

ලුම්පන් පන්තිය සමාජයේම කොටසක් නම්, ඔවුන් පීඩිතයන් නම්, ඔවුන්ට රටේ බලය හිමි වීමේ අවුල මොකක්ද ? ඔවුන්ටත් ඔවුන්ගේ කොටස හිමි විය යුතුයි, කියලා කෙනෙකුට තර්ක කරන්න පුළුවන්.

එය බැලු බැල්මට සාධාරණයි.

නමුත් ලුම්පන් පන්තියේ ඇති ප්‍රධාන ගැටළුව, කිසිම දිනෙක මේ සමාජයෙන්, රටට චින්තකයන් හෝ සැලසුම්කරුවන් බිහි වන්නේ නැහැ.

මුළු ලෝකය පුරාම චින්තකයන් බිහි වුණෙ ඉහළ සමාජයෙන්.

ඔබට චින්තකයෙක් වීමට නම් කල්පනා කරන්න, කියවන්න, හදාරන්න නිදහසක් සහ පහසුකම් තිබිය යුතුයි.

ඒ සඳහා ඔබට සැපවත් කාමරයක්, කෝෆි, ආහාර, විස්කි සහ මානසික නිදහස තිබිය යුතුයි.

බිරිඳ ‘රෑට උයන්නේ මොනවාදැයි’ අහලා කෑ ගහනවා නම් එහෙම මිනිහෙකුට කල්පනා කරන්න, හදාරන්න නිදහසක් නැහැ.

ලුම්පන් පන්තියෙන් චින්තකයන් බිහිනොවන්නේ ඒකයි.

බොහෝවිට ප්‍රාග්ධනයක් තියෙන මිනිසුන් චින්තකයන් බවට පත්වුණේ ඒකයි.

ලුම්පන් පන්තියේ තවත් එක් වෙනසක් වන්නේ ඔවුන්ට තිබෙන්නේ එදිනෙදා ප්‍රශ්න.

හෙට උදේට කන්නේ කොහොමද ?, අද රෑට කන්නේ පාන් ද, බත් ද ?, අරක්කු බෝතලයක් හොයාගන්නේ කොහොමද වගේ ප්‍රශ්න.

ස්ට්‍රැටජිකල් , උපාය මාර්ගික ප්‍රශ්න ලුම්පන් පන්තියට නැහැ.

ජනප්‍රිය පුවත්  මාලිමා දේශපාලන කැඩපත ඉරිතලා යමින් තිබේ…විපක්ෂය ජාතියට මග කියන මාලිමාවක් බවට පත්විය යුත්තේ ඇයි?

ඔවුන් බලයට පත් වූ පසුවත් ඔවුන්ගේ මේ පුරුදු ගැටළු වෙනස් වන්නේ නැහැ.

ඔවුන්ට චින්තකයන් හෝ සැලසුම්කරුවන් වන්නට බැහැ.

ඔවුන් බලය අරන් උත්සාහ කරන්නේ මුලින්ම තමන්ට ලොකු ගෙදරක් හදාගන්න.

ඊටපස්සේ ළමයි රට යවන්න. තව සමහරු ළමයි රෝයල් එකට දාන්න. පෝනියො පිට යන්න. කෝට් අදින්න.

ඔවුන් විසඳීමට උත්සාහ කරනා මූලික ප්‍රශ්න බවට පත්වන්නේ මේවා.

එහෙම නැතුව නිදහසේ කල්පනා කරලා රට වෙනුවෙන් සැලසුමක් ගොඩනගන්න චින්තන ධාරිතාවයක් හෝ උපාය මාර්ගික චින්තනයක් ඔවුන්ට නැහැ.

ලුම්පන් රාජ්‍යයක් වූ සිංගප්පූරුව ගොඩනැගුවේ එරට ප්‍රභූ පන්තියෙන් පැමිණි, විදේශයන් හි ඉගෙනුම ලැබූ ලී ක්වාන් යූ.

ඔහුට ලුම්පන් සිහින වලට එහා ගිය සිහිනයක්, දැක්මක් රට වෙනුවෙන් තිබුණා.

ඔහුට බලය ලබා ගත් පසු අවශ්‍ය වූයේ සැප වාහනයක් ගන්න, විවිධ විස්කි බොන්න, අපාර්ට්මන්ට් එකක් ගන්න, ළමයි ඉස්කෝල වලට දාන්න නෙවෙයි.

ඔහුට ඊට එහා ගිය උපායමාර්ගික චින්තනයක් තිබුණා.

ශ්‍රී ලංකාව සමස්ථයක් ලෙස අසමත් රාජ්‍යයක් නොවෙයි. අප ලෝකයේ ප්‍රධාන සුබ සාධක රාජ්‍යයක්.

අපිට ගැටළු තිබුණා. නමුත් ඒ ගැටළු උපායමාර්ගික චින්තනයෙන් විසඳිය යුතු ගැටළු මිසෙක ලුම්පන් චින්තනයෙන් විසඳිය හැකි ගැටළු නොවෙයි.

එම නිසා අද ලාල්කාන්තලාගේ ගෙවල්, සුනිල් හඳුන්නත්තිගේ ගොඩනැගිලි මිසෙක රටට ජාතික දැක්මක්, වැඩපිළිවෙලක් අහිමිව තිබෙනවා.

එමෙන්ම සියළුම ආකාරයේ සිවිල් බලයන් විනාශ කරමින්, එකම බල කේන්ද්‍රය බවට පත්වීමට ලුම්පන් පැලවත්ත උත්සාහ කරමින් සිටිනවා.

ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරන්නේ නැහැ. ‘හිංසාව’ සහ ‘මර්ධනය’ ඔවුන්ට විනෝදයක් මිසෙක ඔවුන්ට සහකම්පනයක් නැහැ.

අද ඔබ ශ්‍රී ලංකාවේ දකිමින් සිටිනා සමාජීය සහ දේශපාලනික අර්බුධයම ගොඩනැගී ඇත්තේ ඉතිහාසයේ මුල්ම වරට ලුම්පනුන් රාජ්‍ය සහ සිවිල් බලය අත්කර ගැනීම වටායි.

  • Sachin Rathwatte
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x