August 7, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මෙටා සමාගමට තවත් ඩොලර් මිලියන 567ක දැවැන්ත දඩයක්

1 min read

එක්සත් ජනපදයේ නව මෙක්සිකෝ ප්‍රාන්ත දිස්ත්‍රික් අධිකරණය විසින් සමාජ මාධ්‍ය දැවැන්තයෙකු වන මෙටා (Meta) සමාගමට ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට අපොහොසත් වීම ඇතුළු චෝදනා කිහිපයක් මුල් කරගනිමින් අමතර ඩොලර් මිලියන 567ක වන්දියක් ගෙවන ලෙස නියෝග කර ඇත.

2023 වසරේදී නව මෙක්සිකෝ ප්‍රාන්තය විසින් ගොනු කරන ලද මෙම නඩුවේදී මීට පෙරද ඩොලර් මිලියන 375ක දඩයක් නියම කර තිබූ අතර, ඒ අනුව මෙටා සමාගමට ගෙවීමට සිදුවන සමස්ත දඩ මුදල ඩොලර් මිලියන 942ක් දක්වා ඉහළ යයි. විනිසුරු Bryan Biedscheid සිය තීන්දුව දෙමින් මෙටා සමාගම පරිසරයට හානිකර “මහජන පීඩාවක්” (public nuisance) ලෙස හඳුන්වා දුන් අතර, කර්මාන්ත ශාලාවකින් පිටවන දුමෙන් වායු දූෂණය වන්නාක් මෙන් එහි ක්‍රියාකාරීත්වය නිසා ළමුන්ට මානසික හානි සහ ලිංගික හිංසනයන් සිදු වන බව පෙන්වා දුන්නේය.

විශේෂයෙන්ම මෙටා හි තොරතුරු නිර්දේශිත ඇල්ගොරිතම (recommendations algorithms) මඟින් තරුණ පරිශීලකයන් හානිකර අන්තර්ගතයන් සහ ලිංගික අපරාධකරුවන් වෙත යොමු කරන බවට අධිකරණයේදී තහවුරු විය.

මෙම තීන්දුවත් සමඟ අනාගත හානි අවම කරගැනීම උදෙසා විශේෂ අරමුදලක් පිහිටුවීමට නියෝග කර ඇති අතර, එම අරමුදලෙන් ඩොලර් මිලියන 420ක්ම වෙන් කෙරෙන්නේ මෙටා පද්ධති නිසා දැනටමත් පීඩාවට පත් දරුවන්ගේ මානසික සෞඛ්‍ය ප්‍රතිකාර, උපදේශන සහ පුනරුත්ථාපන කටයුතු වෙනුවෙනි. සමාජ මාධ්‍ය සමාගමක් නිල වශයෙන් “මහජන පීඩාවක්” ලෙස අධිකරණයක් හමුවේ නම් කළ පළමු අවස්ථාව මෙය වන අතර, එය ළමා ආරක්ෂාව වෙනුවෙන් මෙටා සමාගමට නියම වූ විශාලතම මූල්‍ය දඩය ලෙසද ඉතිහාසයට එක්වේ.

ජනප්‍රිය පුවත්  බන්ධනාගාර තුළ වෙඩි තැබීමේ නියෝග නිකුත් කිරීම සම්බන්ධයෙන් නීත්‍යානුකූල බලයක් නෑ | ගෙදර ගිහින් හොයා බලන්න ඕන.- හර්ෂණ නානායක්කාර

කෙසේ වෙතත්, තම වේදිකාවන්හි පරිශීලක ආරක්ෂාව තහවුරු කිරීමට සහ හානිකර අන්තර්ගතයන් ඉවත් කිරීමට අඛණ්ඩව කැපවී සිටින බව පවසන මෙටා සමාගම, අධිකරණයේ මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ප්‍රකාශ කර ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x