August 7, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඩෙංගු එන්නත පෞද්ගලික අංශයට පමණක් ලබා දීමට සූදානම් වීම දැඩි අසාධාරණයක් – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

1 min read

ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා කුඩා ළමුන් ඉලක්ක කර ගනිමින් හඳුන්වා දීමට නියමිත ‘Qdenga (TAK-003)’ එන්නත පෞද්ගලික අංශයට පමණක් ලබා දීමට සූදානම් වීම හරහා මෙරට නිදහස් සෞඛ්‍ය සේවය යටතේ ප්‍රතිකාර ලබන දරුවන්ට දැඩි අසාධාරණයක් සිදුවන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

එම සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙන්නේ මෙම එන්නත මෙරට භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පූර්ණ අනුමැතිය තවමත් ලැබී නොමැති පසුබිමක, එය මුලින්ම පෞද්ගලික අංශයට පමණක් ලබා දීමට අවසර දීම ගැටලුසහගත බවයි.

මෙම එන්නත සහ වුල්බැකියා බැක්ටීරියා ක්‍රමය මෙරටට හඳුන්වා දෙන ලෙස වසර කිහිපයක සිට තමන් යෝජනා කළ ද බලධාරීන් ඒ පිළිබඳව නිසි අවධානයක් යොමු නොකළ බවත්, ප්‍රමාද වී හෝ ඒ පිළිබඳ සාකච්ඡා ආරම්භ කිරීම වැදගත් බවත් ඔහු සඳහන් කළේය.

ජාත්‍යන්තර වෙළෙඳපොළේ මෙම එන්නත් කුප්පියක මිල ඇමෙරිකානු ඩොලර් 80ක් පමණ වන අතර, මාස තුනක පරතරයකින් මාත්‍රා දෙකම ලබා ගැනීමට රෝගියෙකුට රුපියල් 60,000කට ආසන්න මුදලක් වැය කිරීමට සිදුවේ.

ජනප්‍රිය පුවත්  ජනපති ආරුගම්බේ !

සාමාන්‍ය ජනතාවට මෙවැනි විශාල මුදලක් දැරීමට නොහැකි බැවින්, රජයේ රෝහල් හරහා මෙය නොමිලේ ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කළ යුතු බව වෛද්‍යවරයා අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ඩෙංගු ව්‍යාප්තිය ඉහළ ප්‍රදේශවල වයස අවුරුදු 6-16 අතර දරුවන් සඳහා මෙම එන්නත නිර්දේශ කර ඇත.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක සිදුකළ සායනික පරීක්ෂණ මගින් මෙහි සාර්ථකත්වය තහවුරු වී ඇති අතර, එන්නත ලබා දී දින 8ක් වැනි කෙටි කාලයකින් ආරක්ෂාව සැලසීම මෙහි විශේෂත්වයකි. එසේම ශ්‍රී ලංකාවේ වර්තමාන ඩෙංගු ආසාදනවලින් 80%කට පමණ හේතු වී ඇති DENV-2 ඇතුළු වෛරස් ප්‍රභේද හතරටම එරෙහිව මෙය ක්‍රියාත්මක වේ.

දැනටමත් ඉන්දියාව, බ්‍රසීලය, ආර්ජන්ටිනාව සහ යුරෝපා සංගමය ඇතුළු රටවල් 43ක මෙම එන්නත අනුමත කර ඇති අතර, රටවල් රැසක රාජ්‍ය එන්නත්කරණ වැඩසටහන් යටතේ මෙය නොමිලේ ලබා දෙන බව ද වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x