අපේ ඛණිජ සම්පත් සියල්ල ඉන්දියාවට !
1 min read
මේ වන විට, ශ්‍රී ලංකාවේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සහ ඉන්දියාවේ පතල් අමාත්‍යාංශය අතර “භූ විද්‍යාව සහ ඛණිජ සම්පත් සහයෝගිතාව” සඳහා වන අවබෝධතා ගිවිසුමක් (MOU) අත්සන් කිරීම සඳහා කෙටුම්පත් කර ඇතැයි වාර්තා වේ.
ඉන්දියාවේ “ජාතික අත්‍යාවශ්‍ය ඛනිජ මෙහෙයුම” (National Critical Mineral Mission) හරහා පුනර්ජනනීය බලශක්ති ඉලක්ක සපුරාගැනීමට අවශ්‍ය මිනිරන් (Graphite) වැනි ද්‍රව්‍ය ලබාගැනීම මෙහි එක් ප්‍රධාන අපේක්‍ෂාව වී තිබේ. ඒ අනුව, මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම හරහා ඉන්දීය භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (GSI) මගින් ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් ඇගයීම සිදු කිරීමට නියමිතව තිබේ.
මෙහිදී, ඉන්දියාවේ ඉලක්කගත ප්‍රධාන ඛනිජ සම්පත් අතර වනුයේ, වේන් මිනිරන් (Vein Graphite) ය. විද්‍යුත් වාහන (EV) බැටරි සහ අර්ධ සන්නායක (Semiconductors) කර්මාන්තයට අත්‍යවශ්‍ය ඉහළ පිරිසිදුතාවයෙන් යුතු මිනිරන් තැන්පතු අත්පත් කරගැනීම එමගින් අපේක්‍ෂා කෙරේ. එමෙන්ම, පුල්මුඩේ සහ පුත්තලම ආදී ප්‍රදේශවල පවතින ඉල්මනයිට්, රූටයිල් සහ සර්කෝන් වැනි වටිනා “බීච් සෑන්ඩ් නිධි” පරිභෝජනයට ඉන්දීය සමාගම්වලට වැඩි අවස්ථාවක් හිමිකරගැනීම මෙමගින් අපේක්‍ෂා කර තිබේ.
එයිනුදු නොනැවතී, ඉන්දියානු සාගරයේ Afanasy Nikitin Seamount (ANS) කලාපයේ පවතින, ශ්‍රී ලංකාවට පමණක් අයිතිවාසිකම් කිවහැකි කෝබෝල්ට්, නිකල් සහ මැංගනීස් වැනි උපායමාර්ගික ඛනිජ සම්බන්ධයෙන් ද ඉන්දියාව සිය අවධානය යොමු කර තිබේ.
ඉතාම ආකර්ෂණීය ලෙස පෙනෙන ආකාරයට මෙරට “නව ජාතික ඛනිජ ප්‍රතිපත්තිය” මෙම වසරේ දී හඳුන්වා දී ඇත්තේ, මෙම ඉන්දියානු අභිලාෂය සපුරාගැනීමට ඉඩ ලැබෙන පරිදිය. එමගින් අවධාරණය කොට ඇත්තේ අගය එකතු කිරීමකින් තොරව, මෙරට ඛනිජ සම්පත්, අමුද්‍රව්‍ය ලෙස පිටරට පැටවිය නොහැකි බවය. එහෙත්, අගය එකතු කිරීම කවර ප්‍රතිශතයකින් කළ යුතු ද යන්න එහි අවධාරණය කර නොමැත. ඒ අනුව, අගය එකතු කිරීම යනුවෙන් වංචාකාරී අඩු ප්‍රතිශතයක එකතු කිරීමක් කර, මෙරට වටිනා හා දුර්ලභ ඛනිජ සම්පත් සූරාගෙන කෑමට මෙමගින් ඉඩකඩ විවෘත කර ඇතැයි ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ අවධාරණය කරති.
එමෙන්ම, නිදහස් වෙළෙඳ ගිවිසුම් (ISLFTA) යටතේ දැනටමත් පතල් කර්මාන්තයට අදාළ යන්ත්‍ර සූත්‍ර සඳහා බදු සහන හිමි වේ. ඉන්දියාවට එම විශේෂ වරප්‍රසාදය මේ වන විටද හිමිව තිබේ.
අනෙක් අතට “උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති” යන ලේබලය ඇලවීම මගින් මෙම ව්‍යාජ අගය එකතුකිරීමේ ආයෝජන සඳහා විශේෂ සහන හිමිවීම සිදු වේ. එමඟින් ආයතනික ආදායම් බදු නිදහස් කිරීම (වසර 5 සිට 10 දක්වා කාලයකට), ආනයනික බදු නිදහස් කිරීම (කර්මාන්තශාලා ඉදි කිරීමට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර, ප්‍රාග්ධන භාණ්ඩ සහ අමුද්‍රව්‍ය ආනයනය කිරීමේදී රේගු බදු සහ අමුද්‍රව්‍ය ආනයනය කිරීමේදී රේගු බදු, වැට් බදු සහ වරාය හා ගුවන් තොටුපොළ සංවර්ධන බදු (PAL) වලින් නිදහස් කිරීම) සහ එම ආයතනවල රැකියා සඳහා එන විදේශීය විශේෂඥයින්ගේ පුද්ගලික ආදායම් බදු සහ මෙරට රැඳීසිටීමේ වීසා ක්‍රියාවලීන් සඳහා ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම මීට අදාළ වේ.
කොළඹ වරාය නගරය ආර්ථික කලාපය තුළ මෙම විදේශ සමාගම්වල මූල්‍ය සහ වෙළඳ කටයුතු පිහිටුවනු ලැබුවහොත්, “උපායමාර්ගික වැදගත්කමකින් යුත් ව්‍යාපාර” ගණයට වැටී වසර 15 සඳහා බදු සහන ලබාගැනීමේ හැකියාව ද මේවාට හිමි වේ.
ඉදිරියේදී, අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම හරහා ශ්‍රී ලංකාවේ සමස්ත දුර්ලභ හා වටිනා ඛනිජ සම්පත්වල ශාරය තමන් සතු කර ගැනීම ඉන්දියාවේ ප්‍රධාන අභිලාෂය වී තිබේ.
දුර්ලභ ඛනිජ සම්පත්වල ලොව ඒකාධිකාරිය චීනය සතුව පවතින තත්ත්වයක් තුළ, ඉන්දියාව එයින් ස්වාධීනව එම බලය අත්පත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ඛණිජ සම්පත් මත තම අධිකාරී බලය පිහිටුවාලීම මෙමගින් සිදුකිරීමට නියමිතව තිබේ.
- රසික දේවප්‍රිය
