අධි අවදානම් ස්ථානවල 16,737ක් පදිංචියි
1 min read
අධි අවදානම් ස්ථානවල පවුල් 16,737 ක් පදිංචිව සිටින බව හඳුනාගෙන තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර පැවසීය. පවතින ආපදා තත්ත්වය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (03 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කියා සිටියේය.
අධික වැසි තත්ත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, ගඟ ඉහළ කෝරළය සහ පස්බාගේ කෝරළය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව කෝරළය සහ නෝර්වුඩ් යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ඉවත් වීමේ රතු නිවේදනය නිකුත් කර තිබෙන බවද ඔහු පැවසීය.
අනතුරුදායක ස්ථානවල පදිංචි ජනතාව මේ සම්බන්ධයෙන් සැලකිලිමත් වියයුතු බවත්, කණ්ඩි ආශ්‍රිතව ගල් පෙරළෙන ස්ථාන, ඇළ මාර්ග දෙපස සහ මාර්ග දෙපස වෙළෙඳ සැල ඉදිකරගෙන සිටින ජනතාව මේ සම්බන්ධව සැලකිලිමත් විය යුතු බවද ආචාර්ය වසන්ත සේනාධීර කියා සිටියේය.
දිට්වා සුළි කුණාටුවත් සමග නායයෑම් සක්‍රීය වූ ස්ථාන නැවත මෙම වර්ෂාපතන තත්ත්වය සමග එම ස්ථාන නැවත සක්‍රීය වීමේ හැකියාවක් පවතින බවද ඔහු පැවසීය.
අධි අවදානම් ස්ථානවල පදිංචි ජනතාව අවදානම් තත්ත්වයත් සමග ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරන ලෙස ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.
